සංක්‍රාන්තික යුක්තිය සඳහා ස්වාධීන කොමිසමක්.

Independent Commission for Transitional Justice.

සංක්‍රාන්තික යුක්තිය සහ පශ්චාත් ගැටුම් ප්‍රතිසන්ධානය සඳහා  වූ වැදගත් පියවරක් ලෙස සත්‍යය, සමඟිය සහ සංහිඳියාව සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ.

යෝජිත කොමිෂන් සභාව පාර්ලිමේන්තු පනතක් මඟින් පිහිටුවනු ලබන අතර, ඊට අදාළ පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කරමින් ඒ පනත් කෙටුම්පත මේ වන විට සකස් කෙරෙමින් පවතී. මේ පනත් කෙටුම්පතට ඉදිරියේදී මහජනතාවගෙන්ද අදහස් ගැනීමට නියමිතය.

ගැටුම් සමයෙන් පසු ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ පැමිණිලි සම්බන්ධයෙන් සත්‍යය තහවුරු කරගැනීමට හැකි වන සහ සංහිඳියාව, වන්දි ගෙවීම සහ තිරසර සාමය සඳහා අවශ්‍ය වන පහසුකම් සැලසීම යෝජිත ක්‍රියාවලියේ ප්‍රධාන අරමුණයි. ජනතාව අතීතයේ මුහුණ දුන් ගැටුම්කාරි තත්ත්වයන්ගෙන් මිදීමට අවැසි ප්‍රධාන අංගයක් වන සත්‍යය සොයාගැනීමට සෑම ශ්‍රී ලාංකිකයකුටම ඇති අනුල්ලංඝනීය අයිතිය, පිළිගනිමින් මෙම යෝජිත කොමිෂන් සභාව කටයුතු කරනු ඇත.

එසේම, ජාතික සමඟිය, සාමය, නීතියේ ආධිපත්‍යය, සහජීවනය, සමානාත්මතාව, ඉවසීම, විවිධත්වයට ගරු කිරීම සහ ශ්‍රී ලංකික ජනතාව අතර සංහිඳියාව තහවුරු කර, ශක්තිමත් කිරීමට මේ කොමිසම ක්‍රියා කරනු ඇත. ශ්‍රී ලංකාවේ බහු වාර්ගික සහ විවිධ ප්‍රජාවන් අතර ඇති නොගැළපීම් සහ අනාගතයේ නැවත ගැටුම් ඇති වීම වැළැක්වීම සඳහා දැඩි අධිෂ්ඨානයකින් යුතුව කටයුතු කිරීමට යෝජිත කොමිෂන් සභාව මඟින් අපේක්ෂා කෙරේ.

උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව (LLRC) ඇතුළු ශ්‍රී ලංකාවේ පශ්චාත් ගැටුම් ප්‍රතිසන්ධාන ප්‍රයත්නයට අදාළව පත් කර තිබූ පසුගිය කොමිෂන් සභා කිහිපයක් විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ සමාලෝචනය, සලකා බැලීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සැලසීමටද මේ කොමිෂන් සභාව අපේක්ෂා කරයි. රජය විසින් 2006දී පිහිටුවන ලද සංහිඳියා යන්ත්‍රණ පිළිබඳ උපදේශන කාර්ය සාධක බළකාය විසින් සම්පාදනය කරන ලද සොයාගැනීම්ද මේ කොමිෂන් සභාව විසින් සැලකිල්ලට ගනු ලැබේ.

යෝජිත ස්වාධීන කොමිෂන් සභාව කිසිදු දේශපාලන බලපෑමකින් තොරව අපක්ෂපාතිව කටයුතු කරන බව සහතික කිරීම සඳහා රජය කැප වී සිටියි. යෝජිත නව නීතිය බලාත්මක වන තෙක් සත්‍යය සහ ප්‍රතිසන්ධාන යන්ත්‍රණය සඳහා වූ අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) නමින් අන්තර්වාර ආයතනයක් පිහිටුවීමටද රජය පියවර ගෙන තිබේ. මේ යෝජිත කොමිෂන් සභාව සඳහා අවශ්‍ය නෛතික සහ ප්‍රතිපත්ති රාමුව, මෙහෙයුම් ක්‍රියා පටිපාටි සහ මාර්ගෝපදේශ සම්පාදනය කිරීම සඳහා සත්‍යය සහ ප්‍රතිසන්ධාන යන්ත්‍රණය සඳහා වූ අන්තර්වාර ලේකම් කාර්යාලය දැනටමත් කටයුතු කරමින් සිටියි.

ස්වාධීන දේශීය කොමිසමක් පිහිටුවීමට පහසුකම් සැලසීම, අනෙකුත් අධිකරණ බල ප්‍රදේශවල සාර්ථක යන්ත්‍රණයන්ගෙන් ආභාසයන් සහ මගපෙන්වීම් අධ්‍යයනය මඟින් සත්‍යය, සංහිඳියාව සහ ජාතික සමඟිය ඇති කිරීම වෙනුවෙන් දේශීය විසඳුමක් සඳහා අවශ්‍ය පදනම ගොඩනැඟීම සත්‍යය සහ ප්‍රතිසන්ධාන යන්ත්‍රණය සඳහා වූ අන්තර්වාර ලේකම් කාර්යාලයේ අරමුණයි.

මේ පරිවර්තනීය යන්ත්‍රණය හැඩගස්වාගැනීමට සහ අවසානයේ තිරසර සාමයට සහ ජාතික සමඟියට මඟ පාදාගැනීමට උපකාර වන, අදාළ පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වයෙන් සහ උපදේශනයෙන් කොමිෂන් සභාව ගොඩනඟා ඇති බව සහතික කිරීම සඳහා සත්‍යය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය සඳහා වූ අන්තර්වාර ලේකම් කාර්යාලය විසින් දැනට මහජනතාව සහ පාර්ශවකරුවන්ගේ සහභාගිත්වයෙන් වැඩසටහන් පවත්වයි.

www.dinamina.lk

Social Sharing
අවකාශය නවතම