වාමාංශිකයන් ආණ්ඩු පිහිටුවාත් විසඳුම් නොලැබුණු ග්‍රීක ආර්ථික අර්බුදය.

ග්‍රීසියේ අනුර

අජිත් පැරකුම් ජයසිංහ

ග්‍රීසිය යුරෝපා සංගමයට අයත් රටක්. ශ්‍රී ලංකාවට වඩා මඳක් ලොකු වර්ග කිලෝමීටර් 50,949ක භූමි ප්‍ර‍මාණයක් හිමි ග්‍රීසියේ ජනගහණය ලංකාවට වඩා බෙහෙවින් අඩුයි. එනම් මිලියන 11.4ක්. ග්‍රීසිය ශ්‍රී ලංකාවට වඩා හාත්පසින් ම වෙනස් භූ දේශපාලනික කලාපයක පිහිටි රටක් වුණත්, එරට සමාජ හා ආර්ථික වශයෙන් ලංකාවට යම් සමානත්වයක් ද තිබෙනවා. ඒ රටත් ශ්‍රී ලංකාව වගේ ම දීර්ඝ කාලයක් තිස්සේ කෑදර ලෙස ණය ගනිමින්, ආපසු ගෙවන ආකාරය ගැන පවා සිතන්නේ නැතිව ඒ ණයෙන් සුවපහසු ලෙස පැවතුණ රටක්. ගත් ණය ගෙවන්නටත් නැවත නැවත ණය ගත්තා. අවසානයේදී ග්‍රීසියටත් අපට වගේ ම ණය ගෙවාගන්නට බැරි තත්වයක් ඇති වුණා. ග්‍රීසිය යුරෝ මුල්‍ය කලාපයට අයත් රටක් නිසා එය යුරෝවටත් දැවැන්ත ගැටලු‍වක් වුණා. ඒ නිසා ග්‍රීක ආර්ථිකය ගලවාගන්නට උපකාර කරන්නට යුරෝපා සංගමය තිබුණා. ඒත්, එවැනි ගලවාගැනීමේ ණය ලැබෙන්නේ දැඩි කොන්දේසි මතයි. හැබැයි, ග්‍රීසියට ණය ගන්නට වෙන ක්‍ර‍මයක් තිබුණෙත් නැහැ. ඒ නිසා දැඩි ලෙස සකසුරුවම් ක්‍රියාමාර්ග ගන්නට සිදු වුණා. ඒවාට එරෙහිව දැවැන්ත විරෝධතා පැනනැගුණා. අවසානයේදී ගතානුගතික ධනේශ්වර දේශපාලන පක්ෂ ප්‍ර‍තික්ෂේප වුණා. රැඩිකල් වාමාංශික සිරිසා සන්ධානය නායකත්වය දෙන හවුල් ආණ්ඩුවක් පත් වුණා. එයින් කිසිදු වෙනසක් වුණේ නැහැ. ඒ ආණ්ඩුවට වුණත් කරන්නට සිදු වුණේ දැඩි ලෙස ආර්ථිකය පාලනය කරන එක හා වියදම් සීමා කරන එකම තමයි. ඊළඟ ඡන්දෙදි ඔවුන් පරාජයට පත් වුණා.

තාක්‍ෂණිකව, ග්‍රීසිය කිසිවිටෙක බංකොලොත්භාවය ප්‍රකාශ කළේ නැහැ. කෙසේ වෙතත්, එය 2015 දී යුරෝ බිලියන 1.6 ක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (ෂඵත්‍) ගෙවීම පැහැර හැරියා. සංවර්ධිත රටක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගෙවීමක් පැහැර හරින ලද පළමු අවස්ථාව ලෙස මෙය සැලකේ. ග්‍රීසිය සම්පූර්ණ බංකොලොත් භාවයකට වඩා ආසන්න බංකොලොත් භාවයකට හෝ ස්වෛරී ණය අර්බුදයකට මුහුණ දුන් රාජ්‍යයක් බව පැවසීම වඩාත් නිවැරදියි.

ග්‍රීසිය ගොඩගන්නට විවිධ යුරෝපා බලධාරීන් හා මුල්‍ය ආයෝජකයන් 2015 සිට ලබාදුන් යුරෝ බිලියන 300කට අධික ණය කන්දරාව වසර 2060 පමණ වන තෙක් ග්‍රීසිය ආපසු ගෙවිය යුතුයි.

ග්‍රීසියේ ආර්ථික අර්බුදයට අභ්‍යන්තර හා බාහිර හේතු රැසක් බලපා තිබෙනවා.

■            අධික රාජ්‍ය වියදම්: ග්‍රීසිය වසර ගණනාවක් තිස්සේ සැලකිය යුතු අයවැය හිඟයක් පවත්වා ගෙන ගිය අතර, බදු වශයෙන් එකතු කරන ලද මුදලට වඩා වැඩි මුදලක් වැය කළේය. මෙය වේගයෙන් ණය සමුච්චය වීමට හේතු විය.

■            දුර්වල ආර්ථික ප්‍රතිපත්ති: ග්‍රීසියේ ආර්ථික ප්‍රතිපත්ති බොහෝ විට අකාර්යක්ෂම සහ තිරසාර නොවන අතර මන්දගාමී ආර්ථික වර්ධනයට සහ ඉහළ විරැකියාවට දායක විය.

■            බදු පැහැර හැරීම: ග්‍රීක ආර්ථිකයේ සැලකිය යුතු කොටසක් අවිධිමත් අංශය තුළ ක්‍රියාත්මක වූ අතර, පුළුල්ව පැතිරුනු බදු පැහැර හැරීම් හේතුවෙන් රජයේ ආදායම අඩු විය.

■            දූෂණය: ග්‍රීක ආණ්ඩුවේ සහ රාජ්‍ය අංශය තුළ දූෂණය නිසා ණය අඩු කිරීමට හෝ ආර්ථිකයේ ආයෝජනය කිරීමට යොදා ගත හැකිව තිබූ අරමුදල් සීමා විය.

■            යුරෝ කලාපයේ සාමාජිකත්වය: යුරෝ කලාපයට සම්බන්ධ වීම මුලින් ආර්ථික ප්‍රතිලාභ ගෙන දුන් අතර, එය ග්‍රීසියේ මුදල් ඒකකය අවප්‍රමාණය කිරීමට සහ එහි මූල්‍ය ප්‍රතිපත්තිය පාලනය කිරීමට ඇති හැකියාව සීමා කළේය. මේ නිසා ආර්ථික කම්පනවලට හැඩගැසීමට සහ එහි ණය ආපසු ගෙවීමට අපහසු විය.

බාහිර සාධක:

■            2008 ගෝලීය මූල්‍ය අර්බුදය: ගෝලීය මූල්‍ය අර්බුදය ග්‍රීසියේ දැඩි අවපාතයක් ඇති කළ අතර, එහි ආර්ථිකය තවදුරටත් දුර්වල කරමින් එහි ණය කළමනාකරණය කිරීම වඩාත් අපහසු විය.

■            මූල්‍ය වෙලඳපොළ හැසිරීම්: මූල්‍ය ආයතන විසින් ග්‍රීක බැඳුම්කර සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය හේතුවෙන් අර්බුදය වූ අතර ග්‍රීක ආණ්ඩුවට ණය ගැනීම සඳහා ඉහළ පොළියක් ගෙවීමට සිදු විය.

■            ජාත්‍යන්තර සහයෝගය නොමැතිකම: මුලදී, යුරෝපා සංගමය සහ අනෙකුත් ජාත්‍යන්තර ආයතන ග්‍රීසියට මූල්‍ය ආධාර සැපයූ නමුත්, මෙම සහයෝගය දැඩි කප්පාදු පියවරයන් සමඟ සම්බන්ධ විය. ඒ හේතුවෙන් සමාජ නොසන්සුන්තාව ඉහළ ගියේය.

ග්‍රීක අර්බුදය එරට මෑත ඉතිහාසයත් එක්ක සම්බන්ධ නිසා වැදගත් ඓතිහාසික සන්ධිස්ථාන කීපයක් ගැන අවබෝධය වැදගත් වෙනවා.

1975 – නාමික ජනාධිපතිවරයකු සිටින පාර්ලිමේන්තු විධායකයක් සහිත ව්‍යවස්ථාවක් හඳුන්වා දීම

1981 – ග්‍රීසිය යුරෝපා සංගමයට එක්වීම හා ඇන්ඩ්‍රියස් පපැන්ඩ්‍රියෝගේ සමාජවාදී පක්ෂය මැතිවරණය ජයගැනීම

2008 – දිගින් දිගට ම ණය ලබා ගනිමින්, ණය ගෙවීමට ද නැවත ණය ලබා ගනිමින් සිටි ග්‍රීසිය දරුණු ණය අර්බුදයකට ගොදුරු වීම, රජය දැඩි සකසුරුවම් නීති හඳුන්වා දීම සහ ජීවන ප්‍ර‍මිතීන් වේගයෙන් කඩාබිඳවැටීම. ඒවාට එරෙහිව රට පුරා විරෝධතා පැනනැගීම.

2009 – ග්‍රීක් රජයේ අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 15.4% දක්වා ඉහළ යාම

2009 දෙසැම්බර් – ජාත්‍යන්තර ණය දර්ශක විසින් ග්‍රීසියේ ණය ශ්‍රේණිගත කිරීම පහළ දමන්නට පටන් ගැනීම

2010 – තවදුරටත් රාජ්‍ය වියදම් කපාහැරීම, විරෝධතා මැද ග්‍රීසිය ණය ගෙවීමට අසමත් වනු ඇතැයි බිය හේතුවෙන් යුරෝපා මුල්‍ය කලාපය විසින් යුරෝ බිලියන 110ක ආර්ථිකය ගලවාගැනීමේ ණයක් අනුමත කිරීම. එහි කොන්දේසි ලෙස තවදුරටත් සකසුරුවම් ක්‍රියාමාර්ග යෝජනා කිරීම. වෘත්තීය සමිති මහා වැඩවර්ජනයක් කැඳවීම

වසර 2011දී එවකට ශ්‍රී ලංකාවේ බලයේ සිටි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ග්‍රීක් බැඳුම්කරවල කරන ලද ආයෝජන හේතුවෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පාඩුවක් සිදු වන්නේ ද මේ කාලයේයි.

2011 ජුලි – රට පුරා විරෝධතා, වැඩ වර්ජන මැද යුරෝපා සංගමය යුරෝ බිලියන 109ක් වන ආර්ථිකය ගලවාගැනීමේ ණය ප්‍ර‍දානය කිරීම. ඒ සමග දැඩි සකසුරුවම් කොන්දේසි පැනවීම. ප්‍ර‍ධාන ණය දර්ශක තුන විසින් ම ග්‍රීසිය ණය ගෙවීම පැහැරහැරීමේ අවදානම ඇති රටක් ලෙස ශ්‍රේණියෙන් පහළ දැමීම

2011 ඔක්තෝබර් – ග්‍රීසිය තවදුරටත් සකසුරුවම් ක්‍රියාමාර්ග අනුගමනය කරන්නේ නම් ආර්ථිකය ගලවාගැනීම සඳහා දුන් ණයෙන් 50%ක් කපාහැරීමට යුරෝපා සංගමය යෝජනා කිරීම. අගමැති පපැන්ඩ්‍රියෝ ඒ පිළිබඳ ජනමතවිචාරණයක් යෝජනා කිරීම

2011 දෙසැම්බර් – විරෝධතා මැද අගමැති පපැන්ඩ්‍රියෝ ඉල්ලා අස් වීම. මහ බැංකුවේ හිටපු අධිපතිවරයකු වූ ලූකස් පැපඩිමෝස් අගමැති ධුරයට පත් වීම

2012 පෙබරවාරි – දරුණු වීදි සටන් මැද, යුරෝපා සංගමයේ ණය කොන්දේසිවලට අනුකූලව දැඩි සකසුරුවම් ක්‍රියාමාර්ග ගැනීමට ග්‍රීක් රජය තීරණය කිරීම

2012 මැයි – මහමැතිවරණයෙන් වාමාංශික කොටස්වල බලය වර්ධනය වීම. කිසිදු පක්ෂයක් ආණ්ඩු සන්ධානයක් බිහිකරගැනීමට අසමත් වීම. නැවත මැතිවරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයා තීරණය කිරීම

2012 ජුනි – නව ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී නායක ඇන්ටෝනිස් සැමරාස් කලින් බලයේ සිට මේ වන විට තුන්වන තැනට වැටී සිටි සමාජවාදී පක්ෂය සහ තවත් කුඩා කණ්ඩායම් සමග සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම. ආණ්ඩුවේ අරමුණ තවදුරටත් සකසුරුවම් ක්‍රියාමාර්ග ගැනීමයි.

2012 සැප්තැම්බර් – රජයේ සකසුරුවම් ක්‍රියාමාර්ගවලට එරෙහිව වෘත්තීය සමිති පැය 24ක සමස්ත මහා වැඩවර්ජනයක් කැඳවද්දී පාර්ලිමේන්තුව ඉදිරිපිට අරාජිකවාදීන් රැළියක් පැවැත්වීම

2012 ඔක්තෝබර් – යුරෝපා සංගමයේ හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආර්ථිකය ගලවා ගැනීමේ ණය වෙනුවෙන් ආණ්ඩුව තවදුරටත් සකසුරුවම් ක්‍රියාමාර්ග ගැනීම. ඒ අතර විශ්‍රාම වැටුප් කප්පාදුව සහ බදු ඉහළ නැංවීම තිබේ.

2013 ජනවාරි – විරැකියාව 26.8% දක්වා ඉහළ යමින් යුරෝපා සංගමයේ වැඩි ම විරැකියාව ඇති රට බවට ග්‍රීසිය පත්වීම හා තරුණ විරැකියාව 60% දක්වා ඉහළ යාම.

2013 දෙසැම්බර් – ආර්ථිකය ගලවාගැනීමේ ණයවලින් නිදහස් වී, සය වසරක ආර්ථික අවපාතයෙන් පසු වර්ධනයක් අපේක්ෂාවෙන් අයවැය යෝජනාවලියක් සම්මත කරගැනීම

2014 පෙබරවාරි – විරැකියාව 28% දක්වා ඉහළ යාම

2014 මාර්තු – ණය කොන්දේසි සැපිරීම සඳහා නිදහස් වෙළඳපොළ පුළුල් කරන ප්‍ර‍තිසංස්කරණ යෝජනාවලියක් පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීම

2014 අප්‍රේල් – යුරෝ බිලියන අටක ආර්ථිකය ගලවාගැනීමේ ණය ග්‍රීසියට ලබාදීමට යුරෝපා සංගම් මුදල් ඇමතිවරුන් එකඟ වීම. ආර්ථිකය යථා තත්වයට පත් කරගැනීම සඳහා සිව් වාර්ෂික බැඳුම්කර හරහා ග්‍රීසිය ඩොලර් බිලියන හතරක ණය ජාත්‍යන්තර මුල්‍ය වෙළඳපොළෙන් ලබාගැනීම.

2014 මැයි – සකසුරුවම් ක්‍රියාමාර්ගවලට එරෙහි රැඩිකල් වාමාංශික සිරිසා සන්ධානය 26.6%ක ඡන්ද ප්‍ර‍තිශතයක් ලබාගනිමින් යුරෝපා මැතිවරණය ජයගැනීම

2014 දෙසැම්බර් – නව ජනාධිපතිවරයකු පත්කරගැනීමට පාර්ලිමේන්තුව අසමත් වීම නිසා දේශපාලන අර්බුදයක් ඇති වීම. නියමිත කලට කලින් මහමැතිවරණය කැඳවීම

2015 ජනවාරි – සිරිසා සන්ධානයේ ඇලෙක්සිස් සිප්‍රාස් මහ මැතිවරණය ජයගනිමින් අගමැති පදවියට පත් වීම. සිරිසා සහ ජාතික ස්වාධීනතා ග්‍රීක් පක්ෂය එක්ව ආණ්ඩුවක් පිහිටුවීම

රැඩිකල් වාම සන්ධානය ‍සිරිසා කියන නම ලබන්නේ ග්‍රීක් බසින් එන ීහබ්ිචසිපමීි ඍස‘දිච්ිඑසනබ්ි ්රසිඑැරටිි වචනවලිනුයි. එය සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්, ප්‍රජාතාන්ත්‍රික සමාජවාදීන්, වාම ජනප්‍රියවාදීන්, හරිත වාමවාදීන්, මාඕවාදීන්, ට්‍රොස්කිවාදීන්, යුරෝ කොමියුනිස්ට්වාදීන් මෙන් ම යුරෝපා විරෝධීන් ආදීන්ගෙන් ද සමන්විත දේදුනු සන්ධානයක්. ඒ අතරින් විශාල ම කණ්ඩායමේ නායකයා වන ඇලෙක්සිස් සිප්‍රාස් තමයි සිරිසා පක්ෂයේ පාර්ලිමේන්තු නායකයා. සිරිසා පක්ෂය නිල වශයෙන් දියත් වුණේ 2004දීයි. 2012 වන විට එය රටේ ප්‍රධාන විපක්ෂය බවට පත් වුණා.

2015 ජනවාරි 25දා පැවති මහ මැතිවරණයේදී සිරිසා පක්ෂය ඡන්දවලින් සියයට 36.34ක් ලබාගෙන ආසන 300ක් සහිත පාර්ලිමේන්තුවේ ආසන 149ක් දිනා ගත්තා. කලින් බලයේ සිටි අගමැති අන්තෝනියෝ සමරාස් නායකත්වය දුන් නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට දිනා ගත හැකි වුණේ ආසන 76ක් පමණයි.

සිරිසා පක්ෂය ජනප්‍රිය වුණේ මේ කොන්දේසිවලට එරෙහි උද්ඝෝෂණ සමගයි.

2015 ජුනි – යුරෝපා මහ බැංකුව ග්‍රීසියට දුන් හදිසි ආධාර අවසන් කරයි. ග්‍රීසිය බැංකු වසා ප්‍රාග්ධන පාලනයක් පනවයි.

2015 ජුලි – යුරෝපා සංගමය විසින් ආර්ථිකය ගලවාගැනීම සඳහා දෙනු ලබන ණය පිළිබඳ පැවැත්වුණු ජනමතවිචාරණයේදී බහුතරය එයට එරෙහිව ඡන්දය ප්‍ර‍කාශ කරයි.

2015 අගෝස්තු – ග්‍රීසිය හා එරටට ණය දෙන ආයතන යුරෝ බිලියන 86ක ආර්ථිකය ගලවාගැනීමේ ණයක් සඳහා එකඟ වෙති. රට බංකොලොත් වීම හා යුරෝ මුල්‍ය කලාපයෙන් ඉවත් කිරීම වළක්වාගැනීම සඳහා තවදුරටත් වියදම් කප්පාදු කරනු ලැබේ.

2016 මැයි – යුරෝපා මුල්‍ය කලාපයේ මුදල් ඇමතිවරු ග්‍රීසියට යුරෝ බිලියන 10.3ක ණය ලබාදීමට එකඟ වෙති. එයින් කොටසක් අවශ්‍ය වන්නේ ජුලි මාසයේ ගෙවීමට තිබෙන ණය සඳහා ය. ඔවුහු ග්‍රීසියට තවදුරටත් සහන ලබාදීමටත්, ණය ආපසු ගෙවීමට ඇති කාලය දීර්ඝ කිරීමටත් පොළී සීමා ලබාදීමටත් එකඟ වෙති.

2018 පෙබරවාරි – ෆිච් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය ග්‍රීසියේ ණය ශ්‍රේණි ඉහළ නංවයි. ආර්ථික වර්ධනය සහ දේශපාලන ස්ථාවරත්වය එයට හේතුවයි.

2018 ජුනි – ග්‍රීසිය හා මැසිඩෝනියාව අතර පැවති දශක තුනක මතභේදය නිරාකරණය කරගැනීමට ග්‍රීසිය ඓතිහාසික ගිවිසුමක් අත්සන් කරයි.

කෙසේ වෙතත්, 2019 මහ මැතිවරණයෙන් සිරිසා පක්ෂය පරාජය වී මධ්‍ය දක්ෂිණාංශිකිනව ප්‍රජාතන්ත්‍රවාදය’ ජයග්‍රහණය කරනවා. 2023 මහ මැතිවරණය ජය ගන්නේ ද ඔවුන්මයි. සිරිසා පක්ෂය ප්‍රබලම විපක්ෂය ලෙස පවතිනවා. මෑතදී එහි නායකයා ඉවත් වුණා. සිරිසා සන්ධානය නිසා ග්‍රීසියේ ආර්ථික ප්‍රතිසංස්කරණ ප්‍රමාද වුණා. එහෙත්, ඔවුන් පීඩාවට පත් ජනයා වෙනුවෙන් සමාජ සුබසාධන ක්‍රම ක්‍රියාත්මක කළා.

2023 දී 2.4% ක ප්‍රක්ෂේපිත වර්ධනයක් සමඟ ග්‍රීසියේ ආර්ථික තත්ත්වය වැඩිදියුණු වීමේ ලකුණු පෙන්නුම් කරයි. රැකියා උත්පාදනය වැඩි වෙමින් විරැකියාව අඩුවෙමින් පවතී. යුරෝපා සංගම් අරමුදල් තීරණාත්මක ක්ෂේත්‍රවල ආයෝජන සඳහා සහාය වේ. කෙසේ වෙතත්, අභියෝග තවමත් පවතී. උද්ධමනය ඉහළ ය, බලශක්ති පිරිවැය වැඩිවීම ව්‍යාපාර සහ පාරිභෝගිකයින්ට බරක් වන අතර ගෝලීය අවපාතයක් වර්ධනයට තර්ජනයක් විය හැකිය. රජය ණය කළමනාකරණයේ ප්‍රගතියක් ලබා ඇති මුත්, එම හේතුවෙන් ආයෝජන හැකියාවන් සීමා වී තිබේ. සමස්තයක් වශයෙන්, ග්‍රීසියේ ආර්ථික තත්ත්වය වැඩිදියුණු වෙමින් පවතින නමුත් බිf​ඳනසුලු‍ය.බාහිර කම්පනවලට ගොදුරු විය හැකි අතර තිරසාර වර්ධනයක් සඳහා තවදුරටත් ප්‍රතිසංස්කරණ අවශ්‍ය වේ.

Social Sharing
අවකාශය නවතම විශේෂාංග