සමාජ ආරක්ෂණය සලසමින් ජනතාවට සහන දෙන්න ජනපති හැම පියවරක්ම ගත්තා…

ඉතාම අමාරු මට්ටමක සිට සමාජ ආරක්ෂණය සලසමින් ජනතාවට සහන ලබා දෙමින් මෙවර අය වැය ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (21) පැවසීය.
අය වැය දෙවැනිවර කියවීමේ හත්වැනි දින විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.
ඇමැතිවරයා මෙසේද පැවසුවේය.

වසර ගණනාවක් දුන් සහන නිසා තමයි අද රට මේ තත්ත්වයට පැමිණ තිබෙන්නේ. ඕනෑම ආණ්ඩුවක මධ්‍යස්ථානය තමයි මහ බැංකුව. ඒකටත් බෝම්බ ගැහුවා. දින දෙක තුනක් රටේ ආර්ථිකය නැවතිලා තිබුණා. ඒවා දැන් මිනිස්සුන්ට මතක නැහැ.

බෝම්බ ගහන එක නැවැත්තුවේ නැත්නම් අද තත්ත්වය මොකද්ද. මේක මේ අයට මතක නැහැ. 1983 වසරේ සිට 2009 වසර දක්වා වසර 26ක් තිස්සේ අපි ණයට යුද්ධයත් කළා. ණය අරගෙන තමයි ආයුධ ගෙනාවේ. දැන් ඒ ගැන කවුරුත් කතා කරන්නේ නෑනේ. අනිත් එක සහරාන් ප්‍රහාරය.

දේවස්ථානවලට ගහන ගමන් හෝටල්වලට ගැහුවා. ඉන් සංචාරක කර්මාන්තය වැටුණා. ඒවා ආර්ථිකයට බලපෑවේ නැද්ද. කොවිඩ් නිසාත් රටේ ආර්ථිකය නැවතුණා. 88 – 89 කාලයේ උසාවි වැහුවේ චිට් එකෙන්. රජයේ කාර්යාල පැවැත්වුණේ නැහැ. තේ ෆැක්ටරි ගිනි ගත්තා. ට්‍රාන්ස්ෆෝමර් පිපිරුවා. ඒ ගැන කවුරුත් කතා කරන්නේ නෑ. ඒ තමයි කාලීනව රටේ ඇති වූ තත්ත්වය.

කොවිඩ් ප්‍රශ්නය නිසා රට වසා තිබුණා. ඒ නිසා රටේ නිෂ්පාදනය බිඳ වැටුණා. එහෙම වුණාට රජයේ සේවකයින්ගේ වැටුප් නැවැත්තුවේ නැහැ. රටේ ආර්ථික සංචිතයක් තිබුණේ නැහැ. විදුලිය විසන්ධි කරන්න වුණා. විදේශ ප්‍රේෂණ නැවතුණා. අඩියෙන් අඩිය රටේ ආර්ථිකය පසුබෑමට ලක් වුණා.
රටේ තත්ත්වය හොඳට තිබෙන අවස්ථාවක නෙමෙයි මේ අය වැය ඉදිරිපත් කරන්නේ. යුද්ධය අවසන් කිරීමත් ප්‍රශ්නයක් ඇතැමුන්ට. තීන්දු ගන්න වෙලා තිබුණේ අවස්ථානුකූල ප්‍රශ්නයක් මතයි. ජාත්‍යන්තර ප්‍රශ්න අපට කළමනාකරණය කරන්න බැහැ.

ඒත් දේශීය වශයෙන් කළමනාකරණයේ දී යම් යම් තීන්දු ගන්න වෙනවා. සාමාන්‍ය අධ්‍යාපනය සියයට 60කට වඩා තිබෙන්නේ පළාත් සභා නවයක. දුෂ්කර අවස්ථාවක ආර්ථිකයේ ඉදිරි දැක්මක් මත මේ කරුණු ඉදිරිපත් කර තිබෙනවා. මෙය කවුරු හරි පීලි පැන්නවීමට ගියොත් කොහෙන් නතර වෙයිද කියලා හිතා ගන්න බැහැ. කවුරු බලයේ සිටියත් මෙය ඉදිරියට ගෙනියන්න ඕනෑ.

2024 වර්ෂය සඳහා අය වැයේ සම්පිණ්ඩනය ගෙන සාකච්ඡා කළොත් අය වැය ඉදිරිපත් කිරීමේ දී විශාල වෙහෙසක් දරා තිබෙනවා. ජනතාවට සහන, සමාජ ආරක්ෂණය යනාදී කාරණා ගැන අවධානය යොමු කරමින් රාජ්‍ය සේවක දීමනා ලබා දී තිබෙනවා.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුරක්ෂා රක්ෂණය නැවත ආරම්භ කරනවා. ජනවාරි මාසය වන විට පාසල් පෙළ පොත් බෙදා අවසන් කරනවා. පාසල්වල ප්‍රාථමික පන්තිවල දිවා ආහාරයට රුපියල් බිලියන 16ක් වෙන්කර තිබෙනවා. මුළු ප්‍රාථමිකයටම ලබන වසරේදී දිවා ආහාරය ලබා දීමට සැලසුම් කර තිබෙනවා. හැකි වුණොත් හය, හත පන්තිවලටත් දිවා ආහාර ලබා දීමට පියවර ගන්නවා. පාසල් නිල ඇඳුම් ලබා දීමට කටයුතු කර තිබෙනවා.

Social Sharing
ආර්ථික නවතම පුවත්