මැතිවරණ ප්‍රතිසංස්කරණ ගැන සමීකරණ, කතන්දර වලට රැවටෙන්න එපා – ආචාර්ය සුජාතා ගමගේ

මැතිවරණ ප්‍රතිසංස්කරණ කියන්නේ, සංකීර්ණ විෂයයක්. අපේ රටේ ඒ ගැන අද්දැකීම් රාශියක් තියෙනවා.  ලෝකයේ 200කට ආසන්න රටවල් තියෙනවා. ඒ හැම රටකම පාර්ලිමේන්තුවක් තියෙනවා. චීනයෙත් පාර්ලිමේන්තුවක් තියෙනවා. ඒ අය අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමයේ සාමාජිකයන්. අපේ රටේ ඡන්ද තියෙනව අපි ප්‍රජාතන්ත්‍රවාදී කියල අපි හිතුවත් , චීනයෙත් ඒ අයගේ ක්‍රමය යටතේ ඡන්ද පැවැත්වෙනවා.

මැතිවරණ ක්‍රම පරාසයක් තියෙනව. එකක් පූර්ණ කේවල ක්‍රමය, කී දෙනෙක් කේවල ක්‍රමය යටතේ ඡන්දය දීල තියෙනවද? අපේ රටේ මේ ක්‍රමයට අවසන් මැතිවරණය පැවැත්වුණේ 1977 දි. කේවල ක්‍රමය යටතේ ඡන්ද කොට්ඨාසයකට තරග කරන පිරිසෙන් කෙනෙක් අනෙක් අයට වඩා එක වැඩි ඡන්දයක් ගත්තත් එයා දිනුම්.

1978 ව්‍යවස්ථාවෙන් අපේ රටට ආසියාවෙ පළමු වතාවට සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දුන්නා. ඒ අනුව අපි කේවල සහ සමානුපාතික ඡන්ද ක්‍රම දෙකම අත්හදා බලල තියෙනවා. අපි දන්නව, සමානුපාතික ක්‍රමයෙදි පක්ෂයෙන් අපේක්ෂක ලැයිස්තුවක් ඉදිරිපත් කරනව. අපි ඡන්දය දෙන්නෙ පක්ෂයට. පක්ෂයෙ ලැයිස්තුවෙ අනුපිළිවෙළට තමයි නියෝජිතයන් පත් වෙන්නෙ. මේ කිව්ව සංවෘත  ලැයිස්තු ක්‍රමයට මුලින්ම පැවැත්තුවෙ යාපනය සංවර්ධන සභා මැතිවරණය. මේක නෑදෑ හිතවතුන්ට සලකන ක්‍රමයක්.

අපේ රටේ දේශපාලන පක්ෂ දියුණු නැහැ. සමානුපාතික ක්‍රමය හදල තියෙන්නෙ දියුණු දේශපාලනයක් තියෙන රටවලට. ඒ නිසා සංවෘත ක්‍රමය වෙනුවට 1988 පළමු වරට විවෘත ලැයිස්තු ක්‍රමය  පළාත් සභා ඡන්දයකට අත්හදා බැලුවා. 1989දි මහ මැතිවරණයකට මනාප ක්‍රමය භාවිත කළා.

දේශපාලන වේදිකාවල මේ මනාප ක්‍රමය හොඳ නැහැ කියන මතය හැමදාම තිබුණා. මේ ක්‍රමය නිසා දිස්ත්‍රික්කය පුරාම ප්‍රචාරක වැඩ කරල ඡන්ද එකතු කරන්න වෙනව. වියදම වැඩියි, මැතිවරණ ප්‍රදේශ සීමාව ලොකුයි. පක්ෂය ඇතුළෙත් තරග ඇතිවෙනවා. ” මනාප ක්‍රමයෙ ප්‍රශ්නය තියෙන්නෙ දේශපාලනඥයන්ට, එයාලට තමයි ලොකු වියදමක් දරන්න වෙන්නෙ,” කියල දේශපාලනඥයෙක් කීවා.

විශ්ලේෂකයෝ හැටියට අපටත්, මේකෙ ප්‍රතිවිපාක පෙනෙනව. ලොකු මුදලක් වියදම් කරන්න  වෙන නිසා, ඒ මුදල හම්බ කරන්න බලනව. පවතින දූෂණයේ පදනම මනාප ක්‍රමයේ එක් කොටසක් බව අපට පැහැදිලිව පෙනෙනව.

මැතිවරණ ප්‍රතිසංස්කරණවල එක කොටසක් තමයි, මනාප ක්‍රමය නැති කරන, සමානුපාතික ක්‍රමයටත් තැනක් ලැබෙන ක්‍රමයක් සකස් කිරීම. මැතිවරණ ප්‍රතිසංස්කරණවලදි ජනතා සහය අවශ්‍යයි.

2016 පවත්වන්න තිබුණු පළාත් සභා මැතිවරණය පැවැත්තුවෙ අදියර තුනකට. එ් පළාත් සභාවල කාලය අවසන් වුණත් මෙතෙක් මැතිවරණ පවත්වල නැහැ. 2022 පළාත් පාලන මැතිවරණය පවත්වන්න නියමිතව තිබුණත් පළාත් පාලන ඇමැතිවරයාගෙ බලතල මගින් අවුරුද්දක් කල් දාල, ආණ්ඩුවට සල්ලි නැහැ වගේ විවිධ හේතු නිසා පවත්වන්න බැරි වුණා. පවතින ආණ්ඩුවක් හැම තිස්සෙම බලන්නෙ මැතිවරණ නොතිය ඉන්න. නමුත් අපි හැම තිස්සෙම  මැතිවරණ ඉල්ලනව අපට මැතිවරණ අවශ්‍යයි. කටහඬ තියෙන අය, විපක්ෂය කියන්නෙ අපට මැතිවරණ අවශ්‍යයි කියල. නමුත් කිසි කෙනෙක් ප්‍රතිසංස්කරණ ගැන කතා කරන්නෙ නැහැ. හැම තිස්සෙම මැතිවරණයක් කට උඩ තියාගෙන ප්‍රතිසංස්කරණවලට ඉඩක් නැහැ කියල පවතින ක්‍රමයටම මැතිවරණ පවත්වනව.

සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරය ඡන්ද ක්‍රමය වෙනස් කරන්න විශේෂ උත්සාහයක් ගන්නෙ ඒ නිසයි. මැතිවරණ  අවශ්‍යයි කියන අය මැතිවරණ ඉල්ලන්න. නමුත් අපි උත්සාහ කරන්නේ ඡන්ද ක්‍රමය වෙනස් කරන්න. ඒ සඳහා අපි සක්‍රියව වැඩ කරනවා.  පූර්ණ කේවල ක්‍රමය එක පැත්තකින් තියෙනව, අනෙක් පැත්තෙන් පූර්ණ සමානුපාතික ක්‍රමය තියෙනව, අපි යෝජනා කරන්නෙ මිශ්‍ර ක්‍රමයක්. පළාත් පාලන මැතිවරණයෙන් අපි ඒක අත්දැක්ක. දැන් කී දෙනෙකුට කොට්ඨාසයට සභිකයෙක්, මන්ත්‍රීවරයෙක් ලැබිල තියෙනවද?  කී දෙනෙක් තමන්ගෙ කොට්ඨාසයෙ සභිකය අඳුනනවද?  කොළඹ මහ නගර සභා මැතිවරණය අවසන් වුණු ගමන් මම අපේ කොට්ඨාසයෙන් පත්වුණු තරුණයාට කතා කරල වට්ස්ඇප් ගෲප් එකක් හදාන කොවිඩ් කාලෙ ඒක හරහා  ලොකු වැඩකොටසක් කරගත්ත. ඒ නිසා මැතිවරණ ප්‍රතිසංස්කරණ ගැන ලොකු විස්තරයක් කරන්න නොගියත් ඒ සඳහා ජනතාවගෙ සහභාගිත්වය දැනුවත් බව තියෙන්න ඕන.

මැතිවරණ ප්‍රතිසංස්කරණ කොටස් දෙකයි: එක, මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය කිරීම, දෙක මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම. මැතිවරණ නීතිවල ඉතාම වැදගත් කොටස් කීපයක් තියෙනව. එකක් වත්කම් බැරකම් ප්‍රකාශය; වංචා දූෂණ මැඩලන්න ඒක ඉතාම වැදගත්. වත්කම් බැරකම් ප්‍රකාශ ගන්න දැනට පනතක් තියෙනවා. ඒක දුර්වලයි. වත්කම් බැරකම් පාර්ලිමේන්තුවේ තියෙනව, ඒව ඉල්ලන්න පුළුවන්, නමුත්, දුන්නට පස්සෙ ඒවා ගෙදර තියා ගන්න විතරයි, බෙදා ගන්න බැහැ. ඒ නිසා තේරුමක් නැහැ. ඒක අපට සම්පූර්ණයෙන් විවෘත වෙන්න ඕන. අයි එම් එෆ් එකේ යෝජනාවෙත් තියෙන්නෙ, වත්කම් බැරකම් ප්‍රකාශය ප්‍රසිද්ධ කරන්න ඕන කියල. ඉන්දියාවෙ ගත්තොත් හැම  අපේක්ෂකයෙක්ම, පළාත් පාලන ආයතන අපේක්ෂකයන් පවා වත්කම් බැරකම් ජීවදත්ත සහිතව ඉදිරිපත් කරනවා. අපේක්ෂකයා තෝර ගන්න පුළුවන් ආකාරයට පක්ෂය , පළාත් පාලන ආයතනය, ආදි එයාලගෙ සම්පූර්ණ විස්තර තියෙනවා.

මැතිවරණ ප්‍රතිසංස්කරණ දෙකක් තියෙනවා  අපි හැම වෙලාවෙම, මැතිවරණ ක්‍රමය ගැන පාර්ලිමේන්තුවේ නියෝජිතයන් 160 ද 140 ද වගේ සමීකරණවල එල්ලිල හිටියට, මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය ඉතාම වැදගත්.

දෙවනි කාරණය තමයි, මැතිවරණ වියදම් සීමා කිරීම.  දැනට තියෙන පනතෙ හැටියට එක් එක් මැතිවරණය අනුව කළ හැකි උපරිම වියදම් නම් කරල තියෙනව. ඒකත් ඉතාම වැදගත් ප්‍රතිසංස්කරණයක්.

මැතිවරණ ක්‍රමය ගත්තම ඉතාම වැදගත් කාරණයක් තමයි, යම් මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවට හෝ වෙනත් ආයතනයකට ගියාට පස්සෙ එයා වරදක් කළොත්, අයින් කරන්න පුළුවන් ක්‍රමයක් තියෙන්න ඕන. දැන් වෙන්නෙ, මැතිවරණ වරදක් කළොත් ඒ පක්ෂයෙම ඊළඟ මනාප ගත් කෙනාට අවස්ථාව ලැබෙනව. මැතිවරණ නඩුවක් ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කරන්න ඒ නිසා කවුරුත් උනන්දු වෙන්නෙ නැහැ. මැතිවරණ නීති, වත්කම් බැරකම් , මැතිවරණ වියදම් සීමා කිරීම ගැන අපි අවදියෙන් ඉන්න ඕන, ඒව ගැන තවදුරටත් වෙනම සාකච්ඡා කරන්න ඕන. මැතිවරණ ක්‍රමය ගත්තත් අපේක්ෂකයන්ගෙ මැතිවරණ වියදම් අඩු කරන්න ඕන. වංචා දූෂණවල පදනම ඒක.

මැතිවරණ ප්‍රචාරණය කළ යුතු ප්‍රදේශයේ ප්‍රමාණය අඩු කරන්න ඕන. කුඩා ප්‍රදේශවලින් නියෝජිතයන් පත්වන ක්‍රමයක් සකස් වෙන්න ඕන. අතුරු මැතිවරණ තියන්න පුළුවන් වෙන්න ඕන.  කුඩා කොට්ඨාසවලින් පත්කර ගත්තොත් අතුරු මැතිවරණ තියන්න පුළුවන්. එතකොට ඡන්ද පෙත්සම් දාන්න විරුද්ධ පක්ෂයට ඉන්සෙන්ටිව් එකක් එනව. මැතිවරණ පෙත්සමක් දාල කෙනෙක් අස් කළාම නැවත මැතිවරණයක් තියන්න ඕන. ඔය වගේ කරුණු කාරණා ගැන අපි සැලකිලිමත් වෙන්නෙ, කුඩා කණ්ඩායම් වලින් මේ කරුණු වඩාත් සවිස්තරව කතා කරන්න පුළුවන්. මැතිවරණ, මැතිවරණ කියල ඉල්ලනව වගේම මැතිවරණ මොන විදිහටද පවත්වන්නෙ, කවුරු මොන විදිහටද පත් කරන්නෙ කියල අපි කල්පනා කරන්න ඕන.

මේ දවස්වල පළාත් පාලන මැතිවරණය ඕන , පළාත් සභා මැතිවරණය ඕන කියල ලොකු රාවයක් යනව. නමුත්, සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරය වශයෙන් අපි ඉදිරි මාස හය තුළ ලොකු වැඩ කොටසක් කරන්න බලාපොරොත්තු වෙනව. මැතිවරණය කවද තිබ්බත් මාස හයක් ඇතුළත පළාත් පාලන , පළාත් සභා , සහ පාර්ලිමේන්තු  මැතිවරණ ප්‍රතිසංස්කරණ කර ගන්න ඕන.

අපි කියන දේවල් නෙමෙයි පළාත් පාලන ආයතනවල කෙරෙන්නෙ. එතන ලොකු ප්‍රශ්නයක් තියෙනව. 2018 පළාත් පාලන මැතිවරණය කළේ වෙනස් ආකාරයකට. ඒක මිශ්‍ර මන්ත්‍රී මැතිවරණයක්. කොට්ඨාසයට මන්ත්‍රීවරයෙක් පත් කළාට, ඉතුරු ප්‍රතිසංස්කරණ කළේ නැහැ.

වැදගත්ම දේ තමයි කොට්ඨාස කමිටු. කොට්ඨාස කියල ගාල්ල නගරය බෙදුව නම් ,ඒ කොට්ඨාසවලට මන්ත්‍රීවරයෙක් පත් කළා නම්, පනතත් එක්ක අනිවාර්යයෙන් කොට්ඨාස කමිටු හැදෙන්න ඕන. කොට්ඨාසයකට ග්‍රාම සේවා වසම් දෙකක් හෝ තුනක් තියෙනව. කොට්ඨාසයෙ උනන්දුවක් තියෙන  අයට කොට්ඨාස කමිටුවෙ සාමාජිකයන් වෙන්න පුළුවන් . එතකොට මන්ත්‍රීවරයා තවදුරටත් තමන්ගේ බලය තනියම පාවිච්චි කරන කෙනෙක් නෙමෙයි. කොට්ඨාස කමිටුවේ අනුදැනුම ඇතිවයි වැඩ කරන්න වෙන්නෙ. කොට්ඨාස කමිටුවත් පොඩි පාර්ලිමේන්තුවක් වගේ.

ඒ වගේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයකට යන්න මැතිවරණ ක්‍රමය විතරක් වෙනස් කරල මදි. මම කිව්ව අනුශාංගික කාරණාත් වෙනස් වෙන්න ඕන. කොට්ඨාස කමිටු ඇති වෙන්න ඕන. නගර සභා ගත්තත්, ඒකෙත් කමිටු ක්‍රමයක් තියෙනව. සභාපති අත්තනෝමතිකව වැඩ කරනව කියල හැමෝම කියනව. හේතුව අපි අවශ්‍ය ව්‍යුහයන් හදල නැහැ. පළාත් පාලන ආයතනයේ කමිටු තියෙනව. ඒ කමිටුවල ජනතා සහභාගිත්වය ඇති වෙන්න ඕන. පළාත් පාලන ආයතනවල කමිටු ක්‍රමය ස්ථාපිත කරන්න සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරයෙන් දැන් කෙටුම්පත් වගේ අවශ්‍ය දේවල් සකස් කරල තියෙන්නෙ. ඒ කියන්නේ අවුරුදු හතරකට සැරයක් පත් කරල ඊළඟ වාරයේ අයින් කරන්න නෙමෙයි. නිරන්තර ජනතා සහභාගිත්වය එන යාන්ත්‍රණ තියෙනව ඒව හදන්න ඕන.

මැතිවරණ ප්‍රතිසංස්කරණ කියන්නේ මේ හැම දෙයක්ම. ආසන 140ද 160ද කියන අර සමීකරණවලට, දැන් ඇහෙන කතන්දරවලට රැවටෙන්න එපා. මේක ඊට වඩා ගැඹුරුයි. ඊට වඩා ගොඩක් අනුශාංගික කරුණු තියෙනවා. මම කීවේ ඉන් කීපයක් පමණයි. පාර්ලිමේන්තුවේ අයට හදිස්සිය තියෙන්නේ පනතක් අනුමත කර ගන්න. ඒ අයට ඕන ඡන්ද තියල තමන්ගේ ඡන්ද කරන්න බැලයො ටිකක් හදා ගන්න.  නැවත අවස්ථාවක් ලැබුණොත් විස්තරාත්මකව කතා කරමු.

ආචාර්ය සුජාතා ගමගේ

( අපට සිහිනයක් තිබේ ව්‍යාපාරය ඔක්තෝබර 27 දා ගාල්ලේ සංවිධානය කළ ගාලු පුරවැසි සභාව හමුවේ කළ කතාව )

Social Sharing
නවතම පුවත්