රාජ්‍ය පාසල් පෝෂණ ආධාර අරමුදලක්…

ලබන වසරේ දී මෙරට සියලු‍ ම ප්‍රාථමික සිසුන් ආවරණය වන පරිදි නොමිලේ පාසල් දිවා ආහාර වැඩසටහන ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන බවත් ඒ අනුව රාජ්‍ය පාසල් පෝෂණ ආධාර අරමුදලක් ස්ථාපිත කරන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ඇමතිවරයා මේ බව කියා සිටියේ ප්‍රංශයේ පැරිස් නුවර දී පැවැත්වෙන ලෝක පාසල් ආහාර වැඩසටහනේ ප්‍රථම ගෝලීය සමුළුව අමතමින් ය.

ලෝක ආහාර වැඩසටහන මගින් සංවිධාන කර ඇති මෙම සමුළුව ඔක්තෝබර් 18 සහ 19 දෙදින පුරා පැවැත්වේ.

පසුගිය වසර 76ක කාලය පුරා ශ්‍රී ලංකා රජය එක ශ්‍රේණියේ සිට ප්‍රථම උපාධිය තෙක් දරුවන්ට නොමිලේ අධ්‍යාපනය ලබා දීම ජාත්‍යන්තර වශයෙන් කැපී පෙනෙන ලක්ෂණයක් බවත් මෙරට ස්ථාපිත ජාත්‍යන්තර පාසල් 300ක් හා පෞද්ගලික පාසල් 110ක් හරුණු විට 10,135ක් වන රජයේ පාසල්වල නිදහස් අධ්‍යාපන අවස්ථා හිමි මිලියන 4.1ක් වූ සිසුන්ට නොමිලේ පෙළපොත් සහ පාසල් නිල අඳුම් ද ලබා දෙන බවත් අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා කියා සිටියේ ලාංකික පාසල් සිසුන් විශාල සංඛ්‍යාවකට පාසල් දිවා ආහාරය සැපයීමට ද රජය ක්‍රියා කරන අතර 2024 වර්ෂයේ දී එම පාසල් පෝෂණ වැඩසටහන යටතේ දිවා ආහාර ප්‍රතිලාභ ලබන මෙරට සිසුන් සංඛ්‍යාව තව දුරටත් වැඩි කරගැනීමට අදාළ ප්‍රතිපාදන සම්පාදනය කරගැනීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කර ඇති බවයි.

ඒ අනුව 2024 වර්ෂයේ දි 1.6ක් වූ සියලු‍ ම ප්‍රාථමික සිසුන් ආවරණය වන පරිදි පාසල් දිවා ආහාර වැඩසටහන ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන අතර 2030 වර්ෂයේ දී මිලියන 4.1ක් වූ සමස්ත ශිෂ්‍ය ගහනය ම ආවරණය කරමින් නොමිලේ පාසල් දිවා ආහාරය ලබා දෙන බවත් ඊට අවශ්‍ය අය-වැය ප්‍රතිපාදන ඩොලර් මිලියන 204 දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය. ඒ අනුව ලබන වසරේ දී රාජ්‍ය පාසල් පෝෂණ ආධාර අරමුදලක් ස්ථාපිත කරන අතර ඊට අදාළ පනත හඳුන්වා දීමට ගෙන ඇති ප්‍රතිපත්ති තීරණය කෙටුම්පත් කිරීම දැනටමත් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් සිදු කර ඇති බව ද හෙතෙම පැවසී ය. ලෝක ආහාර වැඩසටහන, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනය (USAID) මෙන් ම දේශීය ව්‍යාපාරික අංශය සහ රාජ්‍ය නොවන සංවිධානවල ද සහාය මෙම පාසල් පෝෂණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ලැබෙන අතර එම සහය ඉදිරියටත් අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

මේ වන විට ගෝලීය වශයෙන් මෙන් ම රටක් ලෙස ද විවිධ ව්‍යසන හා බාධකවලට මුහුණ දෙමින් වුව මෙම දිවා ආහාර වැඩසටහන අඛණ්ඩ ව පවත්වාගෙන යාමට රජය කැප වී ක්‍රියා කරන බව කී අමාත්‍යවරයා මෙරට සිසුන් සඳහා සෞඛ්‍ය ප්‍රතිපත්තියක් පවත්නා අතර ඊට අනුව සැකසී ඇති පරිපාලන ව්‍යුහය හා රටේ අධ්‍යාපන පරිපාලන ව්‍යුහය සමාන්තර ව ගමන් කරන නිසා පළාත් හා ප්‍රාදේශීය මට්ටම්වලින් අධ්‍යාපන හා සෞඛ්‍ය බලධාරීන් අතර නිසි සම්බන්ධීකරණ කළමනාකරණ ක්‍රමවේදයකට අනුව මෙම වැඩසටහන් සාර්ථක ව ක්‍රියාත්මක කළ හැකි යාන්ත්‍රණයක් සකස් කර ඇති බැව් ද ප්‍රකාශ කළේ ය. එමෙන් ම වාර්ෂික ව පවත්වනු ලබන සෞඛ්‍ය පරීක්ෂණයක් හරහා සිසුන්ගේ පෝෂණ අවශ්‍යතා නිරීක්ෂණය කොට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් ලංකාවේ සාක්ෂරතා අනුපාතය 93%ක් හා වයස අවුරුදු 5 සම්පූර්ණ වන විට එක ශේණියට ඇතුළත් වීමේ අනුපාතය 99%ක් දක්වා වූ ඉහළ අගයක් ගැනීමටත් රජයේ මෙම සුභසාධන වැඩපිළිවෙළ මනා පිටුබලයක් වී ඇති බවත් අමාත්‍යවරයා සමුළුව අමතමින් කියා සිටියේ ය. තවද ලෝක ආහාර වැඩසටහනේ පූර්ණ සහයෝගය ඉදිරියටත් බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා මෙහි දී සිහිපත් කළේය.

Social Sharing
ආර්ථික නවතම පුවත්