මිල්කෝ සමාගම කඩිනමින් පූර්ණ විගණනයකට ලක් කරනවා…

කිසිදු අවස්ථාවක විගණනයට ලක්ව නැති මිල්කෝ සමාගම පාර්ලිමේන්තුවේ කෝපා හෝ කෝප් කමිටුව ඉදිරියට කැඳවීම සඳහා කඩිනමින් පියවර ගැනීමට කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා තීරණය කර ඇත. මිල්කෝ සමාගමේ සියලු වෘත්තීය සමිති නියෝජිතයන් කළ ඉල්ලීමකට අනුව ඇමැතිවරයා මෙම තීරණයට එළඹ තිබේ.

මෙම සමාගමේ සියලු වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ කෘෂිකර්ම ඇමැතිවරයා පසුගියදා (15) සාකච්ඡාවක් පැවැත්වූ අතර මිල්කෝ සමාගමේ පාලනාධිකාරියේ දුර්වලතා හා අවිධිමත් පාලනය, දූෂිත ක්‍රියාකාරකම් රැසක් සම්බන්ධව එම වෘත්තීය සමිති නියෝජිතයෝ ඇමැතිවරයාට කරුණු දැක්වූහ. මේ නිසා මිල්කෝ සමාගමෙන් රටේ ජනතාවට සිදු විය යුතු නිසි මෙහෙවර සිදු නොවන බවත් දූෂණ හා වංචා නිසා එම සමාගමට විශාල මුදලක් අහිමි වන බවත් එම තත්ත්වය නිසා මෙම සමාගම නිරන්තර පාඩු ලබන තත්ත්වයකට පත්ව ඇති බවත් ඔවුහු ප්‍රකාශ කළහ.

මේ පිළිබඳව අවධානය යොමු කළ ඇමැතිවරයා වෘත්තිය සමිති මඟින් ඉදිරිපත් කළ ඉල්ලීම පරිදි මිල්කෝ සමාගම සම්බන්ධව පූර්ණ විගණනයක් සිදු කිරීම සඳහා මෙම සමාගමේ ඉහළ කළමනාකරණය වහාම කෝප් හා කෝපා කමිටු ඉදිරියට කැඳවා ප්‍රශ්න කිරීමට පියවර ගන්නා බවට වෘත්තීය සමිති නියෝජිතයන්ට ප්‍රතිඥා දුන්නේය.

මිල්කෝ හා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය යන රාජ්‍ය ආයතන දෙක ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා කළ අතර මිල්කෝ සමාගම ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධව සියලු වෘත්තීය සමිති ඇමැතිවරයාට සිය එකඟත්වය පළ කළේය. මෙම සමාගම් දෙක සියයට 51ක් රාජ්‍ය සතු කොටස් වශයෙන් හා සියයට 49ක් පුද්ගලික අංශය වශයෙන් ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධව මේ වන විට සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බවත් නමුත් අදාළ ගිවිසුම්වලට එළැඹීමේදී තවදුරටත් රටට හිමිවිය යුතු වාසි සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරන බවත් ඇමැතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය. එසේම රජය මඟින් ගනු ලබන පියවර පිළිබඳ වැඩිදුරටත් වෘත්තීය සමිති දැනුම්වත් කිරීමට ද ඇමැතිවරයා එකඟත්වය පළ කරන ලදි.

බුද්ධිකා ඉඹුලාන

Social Sharing
නවතම පුවත්