මහජන උපයෝගිතා කොමිසමේ ස්වාධීන වාර්තාව වහාම රටට හෙළිකරන්න

වසර ගණනාවකට පසු මෙරට බරපතලම විදුලිය බිඳ වැටීම සිදු වූයේ පහුගිය අගෝස්තු 17 දාය. ඒ් නව රජයේ විදුලබල අමාත්‍යවරයා වැඩ භාරගෙන පැය අනූ හයකට පසුවය. දින හතරක් ජනතාවට විදුලි විසන්ධි වීමේ අර්බුදයට මුහුණ දෙන්නට සිදු විය.  මේ විදුලිය බිඳ වැටීම ගැන විදුලිබල අමාත්‍යාංශයෙන් විවිධ අවස්ථා වල විවිධ ප්‍රකාශ නිකුත් කළේය. පළමුව කීයේ කෙරවළපිටිය ග්‍රීඩ් උප පොලෙහි බිඳ වැටීමක් මෙයට හේතු වු බවය. ඊට පැය කිහිපයකට පසු යළි පැවසුයේ කෙරවළපිටියේ සිද්ධිය කොරොච්චෝලය විදුලිබලාගාරයට බලපෑම හේතුවෙන් ජාතික විදුලි පද්ධතියේම බිඳ වැටීමක් සිදු වු බවය.

කෙසේ නමුදු මේ සම්බන්ධයෙන් වහාම වාර්තාවක් කැඳවීමට විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ක්‍රියා කළේය. ඉන් නොනැවතුණු ඔහු පැවසුයේ මෙම විදුලි බිඳ වැටීම අමාත්‍යාංශයේ වරදකින් වූවානම් ඒ් බව කමිටු වාර්තාවෙන් හෙළි වූවහොත් තමන් අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වන බවය.

මෙය ජනමාධ්‍ය වල පළ වීමත් සමඟ ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා දැඩිලෙස උපහාසයට ලක් කරමින් සමාජ මාධ්‍ය ජාලා වල පවා පෝස්ටු නිර්මාණය විය. ඒ් විදුලිය බිඳ වැටෙන්නේ අමාත්‍යාංශයේ වරදකින් නොවේ නම් මහජනතාවගේ වරදකින්ද? යන්න සඳහන් කරමිනි.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික හා ඉංජිනේරු අධිකාරි සමංගමය විසින් විදුලිය බිඳ වැටීම ගැන සෙවීමට පත් කළ කමිටුව වෙත සංක්ෂිත කරුණු වාර්තාවක් ඉදිරිපත් කරමින් පෙන්වා දී තිබුණේ මෙය පැහැදිලිවම සිද්ධීන් දෙකක් බවය.  ඊට අදාල කරුණු ඔවුන් සවිස්තරාත්මකව පෙන්වා දි තිබු අතර ඉදිරියේදී මෙවන් බිඳ වැටීමක් වළක්වා ගැනීමට කළ යුතු යෝජනාද ඉදිරිපත් කර තිබුණි

පහුගිය සතියේ අමාත්‍යවරයා පත් කළ අමාත්‍යංශ ලේකම්වරිය ප්‍රමුඛ කමිටුව විසින් 2020-08-17 විදුලිය බිඳ වැටීමට අදාල වාර්තාව අමාත්‍යවරයා වෙත ලබා දුන්හ.

ඉන් කියවුනේ නිලධාරියෙකුගේ අතපසුවීමකින් මෙය සිදු වු බවය.

නමුත් අයිතිය උදෙසා පාරිභෝගිකයෝ සංවිධානය කියා සිටින්නේ අගෝස්තු 17 විදුලිය බිද වැටීම් කමිටුවේ සාමාජිකයින් පරස්පර අදහස් ඉදිරිපත් කර තිබෙන බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා, සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු ඉහල කළමනාකරණයේ වැරැද්ද වසන්කිරීමේ අරමුණින් කමිටු වාර්තාව ලියා ඇති බව තහවුරු වී ඇති බවය.

කමිටු සාමාජිකයින් පැවත්වු ප්‍රවෘත්ති සාකච්ඡාවේදී  සාමාජිකයින් දැක්වූ අදහස් අනුව කමිටුවෙ ඇතැම් සාමාජිකයින් ලංවිම පාලනාධිකාරියේ ග්‍රහණයට හසු වී ඇති බව පැහැදිලි වන අතර  කමිටුව තුල අපක්ෂපාති ලෙස විමර්ශනය කර ඇත්තේ මහාචාර්ය රාහුල අතලගේ හා මහාචාර්ය ඩී පී චන්දිම පමණක් බවද කියා සිටියි.  විදුලිය බිඳ වැටී පැය 24ක් යන්නටත් පෙර ඊට හේතුව විදුලි අධිකාරි වරයෙකුගේ වැරැද්දක් බව ලංවිම සභාපතිවරයා හා සාමාන්‍යාධිකාරිවරයා විසින් ප්‍රකාශයට පත්කළ බවත්  එම බිද වැටීම පිළිබද සොය බලන්නට අමාත්‍යවරයා පත්කර කමිටුවට ලංවිම ඉහල කළමනාකරණයේ විදුලි ඉංජිනේරුවරයෙකුද පත් කලේ අදාල හේතුවට සුජාත භාවය ලබාදීම සදහා වන බවද ඔවුන් කියා සිටියි.

කෙසේ වෙතත් මහාචාර්ය අතලගේ හා මහාචාර්ය චන්දිම යන මහතුන්ගේ සොයාගැනීම් අනුව නඩත්තු කටයුතු සම්බන්ධයෙන් කිසිදු ලිඛිත මාර්ගෝපදේශයක් මෙතෙක් හදුන්වාදී නොමැති අතර  එසේම මීට පෙර සිදු වු මෙවැනි විදුලිය බිද වැටීම් වලදී ඉදිරිපත් වු නිර්දේශ මෙතෙක් ක්‍රියාවට නගා නැති බවද හෙලි වී ඇති බවත් කොළඹ නගරයේ සම්ප්‍රේශණ පද්ධතියේ දුර්වලතා පවතින බවද ඔප්පු වී තිබෙන බවද අයීතින් උදෙසා පාරිභෝගිකයෝ සංවිධානයේ අවධාරණය කර සිටියි.

එම සංවිධානය ඊයේ (30) දින ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ මෙවැනි සාධනීය සොයා ගැනීම් යටගසා විදුලි අධිකාරි වරයාගේ අත් වැරැද්දට ප්‍රමුඛතාවය දී මෙම වාර්තාව සකස් කලේ මෙම බිදවැටීමට නිශ්චිතව වගකිව යුතු ලංවිම ඉහල කළමනාකරණය ආරක්ෂා කිරීමේ අරමුණින් බවය. ලංවිම ඉහල කළමනාකරණය විසින් අදාල විදුලි අධිකාරිවරයාට වරදාන දී මෙම විදුලිය බිද වැටීමේ හැබෑ හේතුව යටගසන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන අතර මෙම කුමන්ත්‍රණය පරාද කර විදුලිය බිද වැටීමේ හැබෑ හේතුව සොයාගැනීම සදහා අමාත්‍යවරයා පත්කල කමිටුවේ පක්ෂපාති සාමාජිකයින් වහා ඉවත් කරන ලෙස ඔවුන් විදුලිබල අමාත්‍යවරයාගෙන් ඉල්ලා  සිටියි.

එසේ නැතහොත් පය බරවාවට පිටිකර බෙහෙතක් නියම කරන ආකාරයේ නිර්දේශයක් මෙම කමිටුවද ඉදිරිපත් කරනු ඇති බවත් එසේ වුවහොත් සිදුවනුයේ ඉදිරියේදීත් අනපේක්ෂිත මොහොතක රට පුරා විදුලිය බිඳ වැටීම්  වලට මුහුණ දීමට බවද ඔවුන් පෙන්වා දෙති.

මේ වන විට නොරොච්චෝලේ බලාගාරයේ මෙගා වොට් 900න් ක්‍රියාත්මක වනුයේ මෙගා වොට් 500 ක් වන අතර  බලාගාර තුනෙන් එකක් තවමත් අක්‍රිය වේ. දෙවැන්න භාගෙට දුවන අතර  විදුලිය බිඳ වැටී සති 2ක් ගත වී ඇතත් නොරොච්චෝලේ බලාගාර සංකීර්ණයේ මෙගා වොට් 400 ක් තවමත් ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම තුල පෙනී යන්නේ බලාගාරයේ දෝෂයක් මිස සම්ප්‍රේශණ දෝෂය නිසා හටගත්තක් නොවන බවද ඔවුන් කියා සිටියි.

අමාත්‍යවරයා පත් කල කමිටුව මේ පිළිබද තාක්ෂණික අධ්‍යයනයක් කළ යුතුව ඇතත්   ලංවිම සභාපති වරයාටත් ඉංජිනේරු සංගමයේ ඇතැම් සාමාජිකයින්ට නොරොච්චෝලේ බලාගාරයේ දුර්වලතා වසා ගැනීමට වුවමනා වී ඇති බවද ඒ්  හොර පාරෙන් චීන සමාගමට එම පරිශ්‍රයේම තවත් ගල් අගුරු බලාගාරයක් ඉදිකිරීමේ සැළැස්මට එම දුර්වලතා හෙලි වීම බාධකයක් වීම බවද පෙන්වා දෙයි.

මෙම විදුලිය බිදවැටීම පිළිබද මුලින්ම විමර්ශන ආරම්භ කලේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වන අතර  ඔවුන් ලංවිමෙන් ද ඒ පිළිබද මුලික වාර්තාවක් ඉල්ලා තිබිණි. කෙසේ වෙතත් මේ දක්වා මහජන උපයෝගිතා කොමිසමේ ස්වාධීන වාර්තාව එළි දක්වා නැත. සිය විමර්ශන වාර්තාව වහාම එළි දක්වා විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිගමන හා නිර්දේශ වහා ඉදිරිපත් කරන්නැයි අයිතිය උදෙසා පාරිභෝගිකයෝ සංවිධානය රජයෙන් ඉල්ලා සිටියි.

විදුලි බිදවැටීම සම්බන්ධ පරීක්ෂණ කමිටු වාර්ථාව පිලිබද ඇත්ත නැත්ත..

විදුලි බිදවැටීම සම්බන්ධ පරීක්ෂණ කමිටු වාර්ථාව පිලිබද ඇත්ත නැත්ත.. මැයින් අයිතීන් උදෙසා පාරිභෝගිකයෝ සංවිධානය 2020-08-30 දින කොළඹදී පැවති මාධ්‍ය හමුව සම්පූර්ණ වීඩියෝව.

Posted by Kelum Amarasinghe on Sunday, 30 August 2020

-ශානිකා-

Social Sharing
නවතම