ආසියාවේ හොඳම මුදල් ඒකකයට වූ දේ!!!

අවුරුද්දේ පළමු මාස හයේ ආසියාවේ ශක්තිමත්ම හා කාර්යක්ෂම මුදල් ඒකකය වූ ලංකාවේ රුපියල මේ වන විට අකාර්යක්ෂම හා දුර්වලම මුදල් ඒකකය බවට පත්වී ඇති බව ආර්ථික හා මූල්‍ය විශ්ලේෂණ පුවත් සේවයක් වන බ්ලූම්බර්ග් පසුගිය 24 වැනිදා වාර්තා කොට තිබෙන බව පැවසෙනවා. මේ මාසය තුළ පමණක් ඩොලරයට සාපේක්ෂව රුපියල 6% කින් කඩා වැටී ඇති බවත්, එම කඩාවැටීම එක දිගට දින 14ක් පැවතීම හා මෙතරම් අගයකින් ඉතා කෙටි කලක් තුළ පහළ යෑම පසුගිය අවුරුදු 05ට සාපේක්ෂව ඉතා ඉහළ අගයක් බවත් බ්ලූම්බර්ග් පවසනවා. පළමු මාස 06 කාර්යක්ෂමතාව අතින් ආසියාවේ 19% වැනි ඉහළම අගයක් වාර්තා කළ රුපියල (Asia’s Top Performer) මෙසේ දුර්වල වෙමින් යන හේතුව පිළිබඳව ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වූ ශාන්ත ජයරත්න සඳහන් කර තිබෙනවා.

“බ්ලූම්බර්ග් ට අනුව රුපියල අවප්‍රමාණය වීමට හේතු වශයෙන් පෙන්වා දෙන්නේ මහබැංකු ප්‍රතිපත්ති පොලී අනුපාත තව දුරටත් අඩුවනු ඇතැයි වෙළඳපොළේ තිබෙන අපේක්ෂනය සහ එමගින් විය හැකි අනපේක්ෂිත චලනයන් (Headwinds) මගින් ඇති වන බලපෑම පිළිබඳ තිබෙන අවිනිශ්චිත බවයි. ඊට අමතරව මෑතක කිහිප විටක් ආනයන සීමා ඉවත් කිරීම හේතුවෙන් ඩොලරයට තිබූ ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ යෑම ආදිය යි.

මේ වන විට වෙළඳපොළ ඩොලර් ඉල්ලුමට සාපේක්ෂව ඩොලර් සැපැයුම යම් සැලකිය යුතු මට්ටමකින් අඩුවෙලා. මහබැංකුව විදේශ විනිමය වෙළෙඳපොළ කටයුතු වලට කරන සීමිත මැදිහත් වීමද මෙම තත්ත්වයට බලපානවා. මේ මොහොත වන විට මහබැංකුව සතුව ප්‍රමාණවත් ඩොලර් සංචිතයක් නොතිබීම තුළ වාර්තාවන ආකාරයට මහබැංකුව සතුව භාවිතයට ගත හැකි ඩොලර් සංචිතය බිලියන 2 ට අඩුයි. වෙනදා මෙන් වෙළෙඳපොළට ඩොලර් අලෙවි කොට තත්වය පාලනය කිරීමටද හැකියාවක් නැහැ. ඊට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති එකඟතාවය මත වෙළෙඳපොළ ඉල්ලුම හා සැපැයුම බලවේග මත ඩොලරයේ මිල තීරණය වීමට ඉඩ හැර තිබීම තවත් හේතුවක්. ඒ වගේම වසර අග වන විට රට තුළ ඩොලර් බිලියන 4.5 ක විදේශ සංචිතයක් පවත්වා ගැනීමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසියක්. වෙළෙඳපොළේ ඩොලර් හිඟ වීමට තවත් හේතුවක් තමයි පසුගිය දා කල්පිරුණු සංවර්ධන බැදුම්කර යම් ප්‍රමාණයක් පියවීම සඳහා බැංකු සතු ඩොලර් යෙදවීමට සිදුවීම.

නැටිග්සිස් හොංකොං මූල්‍ය ආයතනයේ ආර්ථික විද්‍යාඥයකු වන හඔක්සින් මූ (Haoxin Mu) පුරෝකථනය කරන අන්දමට මෙම වසර අග වන විට ඩොලරයට සාපේක්ෂව රුපියල තවත් 8% කින් අවප්‍රමාණය විය හැකි බව කියනවා. ඩොලරය රුපියල් 355/- මට්ටමට යා හැකි බවත් බ්ලූම්බර් ප්‍රකාශ කරනවා. ෆිච් රේටින් (Fitch Ratings) ආයතනයට අනුව එය රුපියල් 395/- පසුකර යෑමට ඉඩ තියෙනවා. රජය මේ අවස්ථාවේ කළ යුත්තේ සියළු උස්සාහයන් යොදවා හැකි තාක් ඩොලර් උපයා ගැනීමට තිබෙන මාර්ග ප්‍රයෝජනයට ගැනීම.

රටවල් 60 කට වැඩි ප්‍රමාණයක ලංකාව වෙනුවෙන් තානාපති හෝ කොන්සල් ජනරාල් කාර්යාල තියෙනවා. එම නිළධාරීන්ට කිසියම් ඉලක්කයක් ලබා දී එම රටවල සංචාරක සමාගම් සමඟ සම්බන්ධ වී මසකට කිසියම් සංචාරකයන් සංඛ්‍යාවක් ලංකාවට එවීමට කටයුතු කරන්න පුළුවන්. ඒ ඉලක්කයට කටයුතු නොකරන තානාපතිවරුන් ගෙන් නිදහසට කරුණු විමසිය නොහැකි ද. සෑම තානාපති කාර්යාලයකටම ඉලක්ක ලබා දී වාර්ෂිකව කිසියම් සෘජු විදේශ ආයෝජන ප්‍රමාණයක් ලංකාවට ගෙන ඒමට මග පෙන්වීම් කිරීනටද පුළුවන්.

ලංකාවේ ශ්‍රමිකයන් වැඩි වශයෙන් සේවය කරන රටවල දේශීය බැංකු ශාඛා ඇති කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සම්පාදනය කරන්නේ නැත්තේ ඇයි. එහෙම කරලා හැකි තාක් විදේශ ප්‍රේශන ලංකාවට ගෙන්වා ගන්න උත්සහයක් පේන්නවත් තියෙනවද. ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් ජීවත් වන රටවල් සඳහා ලංකාවේ නිෂ්පාදන, එළවළු, පලතුරු, මාළු, කුළුබඩු, බිස්කට් සහ විවිධ බීම වර්ග වැනි දෑ අපනයනය කිරීමට දේශීය අපනයන කරුවන්ට වෙළෙඳපොළ සොයා දීමට තානාපති කාර්යාල මැදිහත් නොකරන්නේ ඇයි. ලංකාවේ ආයෝජකයන්ට විදේශ රටවල තම ආයෝජන ඇති කිරීමට හා ඒ සඳහා අවශ්‍ය පහසුකම් තානාපති කාර්යාල හරහා ලබා දී ලෝක සැපැයුම් ජාල වලට සෘජුව සම්බන්ධ වීමට අවස්ථාව සලසා දෙන්න බැරිද.

මේ ඔක්කොම තියෙද්දී මේ පාලකයන් කරන්නේ මොනවද. විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිළධාරීන් හෝ දේශපාලනයෙන් විශ්‍රාම ගිය පිරිස් හෝ හිතවතුන් සඳහා තානාපති තනතුරු ලබා දී නිවාඩුවක් ගත කිරීම සඳහා මහජන මුදලින් ඔවුන් සහ ඔවුන්ගේ පවුල් පිටින් නඩත්තු කරමින් පිටරට පැටවීම නෙමෙයිද. ඩොලර් ආදායම් ඉපැයීමට ඕනෑ තරම් අවස්ථා තියෙද්දී මේ පාලකයන් කරන්නේ උතුරු නැඟෙනහිර සම්පත් සහ දේපළ ඉන්දියාවට විකිණීමත්, දකුණේ සම්පත් චීනයට විකිණීමත් නෙමෙයිද. ඒ හරහා සොයා ගන්නා කිසියම් ඩොලර් ප්‍රමාණයක් විතරයි අපි උපයන්නේ. එහෙම නැතුව රට ගොඩනැගීම සඳහා තිරසර සංවර්ධන වැඩපිළිවෙළක් මේ අය ක්‍රියාත්මක කරනවද.

ඊයේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් තවත් විශේෂ නිවේදනයක් නිකුත් කළා. ඒකේ එහි සඳහන් වන්නේ ලංකාවෙන් විදේශ ගත වන පුද්ගලයන් සඳහා විනිමය රැගෙන යෑමට පනවා තිබූ සියළු සීමා සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම හෝ පැවති සීමා විශාල ලෙස ලිහිල් කිරීම. උදාහරණයක් ලෙස පළමු වරට විදේශ ගත වන පුද්ගලයකුට රැගෙන යා හැකිව පැවති ඩොලර් 30,000 සීමාව 50,000 දක්වා වැඩි කළා. ලංකාවේ ලියාපදිංචි විදේශීය සමාගම් සඳහා ඔවුන්ගේ කොටස් ආයෝජන හෝ වෙනත් කොටස් සම්බන්ධ කටයුතු සඳහා ලංකාවේ උපයන ඩොලර් ආදායම විදේශ වලට ගෙන යාමට තිබූ වාරණය සම්පූර්ණයෙන්ම ඉවත් කළා. මහ බැංකුවේ මේ තීරණය නිසා ඩොලරයට ඇති ඉල්ලුම ඉදිරියේ දී තවත් ඉහළ යන්න පුළුවන්” යයි ශාන්ත ජයරත්න මහතා පවසා සිටිනවා.

Social Sharing
ආර්ථික නවතම පුවත්