වධහිංසාවට එරෙහි අපේ නීති හා ඒවා ක්‍රියාත්මක වෙනහැටි ගණන් හැදුවාම මෙහෙමයි.

Sri Lanka's laws against torture and their implementation

– පිලිප් දිසානායක –

යගිරල ප්‍රදේශයේ පදිංචි දිනේෂ් මධුසංඛ ලියනගේ නම් තරුණයා ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කම්කරුවෙකි. 2022 නොවැම්බර් 30 දින ඔහු වැඩට යමින් සිටියදී ඉත්තෑපාන පොලිසියේ නිලධාරීන් පිරිසක් ඔහු දැක කතා කර ත්‍රිරෝද රථයකින් පාළු ප්‍රදේශයකට රැගෙන ගොස් ඇඳුම් ගලවා දෑස් ඇතුළුව ශරීරය පුරා අඹරන ලද කොච්චි තවරමින් පහර දෙමින් සොරකමක් පිළිබඳ ප්‍රශ්න කළහ. බිම බාවා ඇඟ උඩ නැගගෙන යටි පතුල්වලට පහර දුන්හ. මේ සියල්ල කරනු ලැබුවේ තේ දළු එකතු කරන මධ්‍යස්ථානයක සිදු වූ හොරකමක් සම්බන්ධයෙනි. සැකපිට අත්අඩංගුවට ගත් බව කියන මෙම පුද්ගලයාව පසුව පොලිසිය විසින් නිදහස් කරන ලදී.

එක්සත් ජාතීන් විසින් මානව හිමිකම් විශ්ව ප්‍රකාශනය ලොවට හඳුන්වා දී මේ වන විට වසර 75 ක් ගතව තිබේ. 1965 වසරේ දී මෙම විශ්ව ප්‍රකාශනය සඳහා ශ්‍රී ලංකා රජයත් අත්සන් තබා එහිසඳහන් සමහර කොටස් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකතු කර ඇත්තේ එම අයිතිවාසිකම් කිසිකෙනෙකුට අභියෝගයට ලක් කළ නොහැකි ජනතාවගේ මූලික අයිතිවාසිකම් ලෙස සඳහන් කරමිනි.

එක්සත් ජාතීන්ගේ විශ්ව ප්‍රකාශනයේ 5 වන වගන්තියේ සඳහන් “කිසියම් රාජ්‍ය පාර්ශවයක් විසින් කිසියම් තැනැත්තෙකු වධහිංසාවට හෝ කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට යටත් කිරීම” යනුවෙන් සඳහන් වගන්තියඅපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාවට මුළුමනින්ම ඇතුළත් කර ඇත්තේ වධහිංසාවට එරෙහිව ශ්‍රී ලංකාවේ රජය ද අනෙකුත් රාජ්‍ය මෙන් කටයුතු කරන බවට දුන් සහතිකයක් ලෙසය.

මේ අතර, වධහිංසාවට එරෙහිව තවත් වැදගත් පනතක් 1987 ජුනි 26 වන දින එක්සත් ජාතීන් විසින් සම්මත කරන ලදී. වධහිංසාවට සහ අනෙකුත් කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැලකීම්වලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුති පනත ලෙස එය හැදින්වේ.

එම පනතට 1994 ජනවාරි 03 වන දින ශ්‍රී ලංකා රජය ද අත්සන් කර තිබේ. ඉන් නොනැවතුණු ශ්‍රී ලංකා රජය වධහිංසාවට සහ අනෙකුත් කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැලකීම්වලට එරෙහි 1994 අංක 22 දරණ එක්සත් ජාතීන්ගේ සම්මුති පනත1994 නොවැම්බර් 25 දින විශේෂපනතක් ලෙස පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නා ලදී. එම නීතිය 1994 දෙසැම්බර් 20 වන සිට ශ්‍රී ලංකාවේ බලාත්මක වූයේ වධහිංසාවට සහ අනෙකුත් කෲර, අමානුෂික හෝ අවමන් සහගත ලෙස ශරීරිකව හෝ මානසිකව සැලකීම අපරාධ වරදක් බවට පත්කරමිනි. එවැනි ක්‍රියාවකට එරෙහිව හත්අවුරුද්දකට නොඅඩු සිරදඬුවමකට හා රුපියල් 50,000 කට නො අඩු දඩයකට යටත්කර තිබේ.

එ අනුව, ශ්‍රී ලංකා රාජ්‍යය තුළ වධහිංසාව ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බවටත්, අපරාධමය වරදක් බවට පත් කර තිබේ. මෙම නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් වී දැනට වසර 45 ගතව ඇති අතර, අපරාධමය වරදක් බවට පත් කරවසර 29ක් ගතව තිබේ.

මෙම නීති හරහා ශ්‍රී ලංකාවේ වධහිංසාව අඩුවී තිබේද..?

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති සංඛ්‍යා ලේඛන.

Sri Lanka's laws against torture and their implementation

ඉහත සංඛ්‍යාලේඛන මගින් පෙන්නුම් කරන්නේ, වධහිංසාවට එරෙහිව ප්‍රබල නීති අප රටේ ස්ථාපිතව තිබුනත්, “වධහිංසාව කිසිසේත් නොඉසීමේ” (zero tolerance on Torture) ශ්‍රී ලංකාවේ රාජ්‍ය ප්‍රතිපත්තිය ලෙස ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ පිළිගැනීමට ලක්ව තිබුනත්, වධහිංසාව වැලැක්වීමට ඇත්ත වුවමනාවක් රජයට තිබේද යන්නයි.  ඉතා වැදගත් හා බරපතල නීති වධහිංසාවට එරෙහිව පනවා තිබුනත් එම නීති ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජයට නොහැකිව ඇති බව ඉහත දක්වන ලද දත්තවලින් පෙනේ.

1994 අංක 22 දරණ නීතිය ක්‍රියාත්මක වීම.

වධහිංසාවට එරෙහි නීති ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මකවන ආකාරය පිළිබඳව අප පසුගියදා අධ්‍යයනයක යෙදුනෙමු. 1994 අංක 22 දරන වධහිංසාවට එරෙහි ජාත්‍යන්තර පනත යටතේ කොපමණ නඩු ප්‍රමාණයක් මේ වන විට නීතිපතිවරයා විසින් ගොනු කර තිබේද යන්න පිළිබඳව තොරතුරු දැනගැනීමේ පනත යටතේ අප විසින් නීතිපතිවරයා වෙත විමසීමක් කරන ලදී.

කළ ඉල්ලීමට ප්‍රථිචාර දක්වමින්, 2019 මාර්තු 28 වන දින වන විට මෙම පනත යටතේ නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකර ඇති නඩු ප්‍රමාණය 115ක් බවත්, ඉන් නඩු 34ක් මේ වන විට අවසන්ව ඇති බවත් සඳහන් කරමින් නීතිපතිවරයා විසින් වාර්තාවක් අප වෙත එවා තිබුනි.

Sri Lanka's laws against torture and their implementation

ඉහත සංඛ්‍යාලේඛනවලට අනුව 1995 වසරේ සිට 1999 වසර දක්වා වසර පහක කාලයක් හා 2012 වසරේ සිට 2015 වසර දක්වා වසර හතරක කාලය සමග වසර 9ක් මෙම පනත යටතේ නඩු පවරා නොමැති බව පෙනෙන්නට තිබේ. එමෙන් 2017 වසරේ සිට අද දක්වා කාළය තුළ කොපමණ ප්‍රමාණයක් නඩු පවරා තිබේද යන්න නැවත සොයා බැලිය යුතුය.

ඉහත නඩු 115න් 40%කට වැඩි ප්‍රමාණයක් 2003/2004/2005 වසර වලදී ගොනුවී ඇති බව පෙනී යන අතර එම නඩු ප්‍රමාණය 51ක් බව වාර්තා වේ.  ඉහත වසර තුන තුළ මෙතරම් සාර්ථක අන්දමින් නඩු පැවරීමට එක් හේතුවක් ලෙස 17 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව පත් වූ පළමු පොලිස් කොමිසමේ සක්‍රියභාවය බලපා ඇති බව පෙනෙන්නට තිබේ.

වධහිංසා පනත යටතේ ගොනු කර අවසන් වී තිබු නඩු 34න් 20ක් අප ඉතා අපහසුවෙන් සොයා ගත් අතර, එම නඩු 20 පිළිබඳව අධ්‍යයන වාර්තාවක් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් භාෂා ත්‍රිත්වයෙන්ම නිකුත්කර ඇත. නීතීඥ දුලාන් දසනායක විසින් සම්පාදනය කරන ලද මෙම වාර්තාව www.right2lifelanka.org වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

සමීක්ෂණයට භාජනය වූ නඩු තීන්දු 20

මෙම අධ්‍යයනයේ දී අපට පෙනී ගියේ මෙම පනත යටතේ නීතිපතිවරයා විසින් පවරනු ලබන නඩුවක් අවසන් කිරීමට වසර 4 සිට 10 දක්වා කාලයක් ගතව ඇති බවයි. මෙම නඩු තීන්දු 20 පිළිබඳව සොයා බැලීමේ දී අපට පෙනී ගිය තවත් වැදගත් කරුණක් වුයේ මින් නඩු 14ක් (70%) විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කර ඇති බවයි. එසේ නිදහස් කළ නඩු 14න් නඩු 6ක්  විත්තිවාචකය නොකැඳවා නිදහස් කර තිබීමත් මෙහි විශේෂ ලක්ෂණයක් ලෙස සඳහන් කළ හැක.

එ අනුව ඉතිරි නඩු 8න් 6ක් සඳහා විත්තිකරුවන්ට දඬුවම් ලබා දී ඇති නමුත්, ඉන් නඩු 3ක විත්තිකරුවන්ට පෙර වැරදි නොතිබීම, රැකියාවට සිදු විය හැකි බලපෑම්, කුඩා දරුවන් සිටීම ඇතුළු පවුල්වල තත්ත්වය හේතුවෙන් අත්සිටවූ සිර දඬුවම් ලබාදී තිබේ. මෙම පනත යටතේ උපරිම දඬුවම් දුන් අවස්ථාවක් ලෙස ජාත්‍යන්තර අවධානයට පාත්‍ර වූ ජෙරාඩ් මර්වින් පෙරේරා නඩු තීන්දුව (HC326/2003 – මීගමුව) සඳහන් කළ හැක. එමගින් විත්තිකරුවන් වෙත මෙම පනත යටතේ ලබා දිය හැකි උපරිම දඬුවම වන වසර 10 ක බරපතල වැඩ සහිත සිරදඬුවමත්, රුපියල් 50,000 දඩයකුත් නියමකර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික අයිතිවාසිකම් නීතිය ක්‍රියාත්මක වීම

අප ආයතනය විසින් මෙවැනිම අධ්‍යයනයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථාවේ 11 ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම පිළිදව සිදු කළ අතර එම අධ්‍යයන සඳහා ශ්‍රේෂ්ඨාධිකරය විසින් ලබා දුන් නඩු තීන්දු 100ක් උපයෝගී කරගන්නා ලදී. මෙම වාර්තාව නීතිඥ කේෂනී ඩයස් සුමනසේකර විසින් රචනා කර ඇති අතර www.right2lifelanka.org වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 ව්‍යවස්ථාව හා ඊට සමගාමිව වන 12(1), 13(1), 13(2) ව්‍යවස්ථා උල්ලංඝනය කිරීම් මෙම අධ්‍යයන සඳහා තෝරාගෙන ඇත. එ අනුව 11 ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම් පිළිබඳව නඩු 100ය සොයා ගැනීම සඳහා 2019 සිට 1981 දක්වා වසර 38ක් ආපස්සට යන්නට සිදු විය.

මෙම අධ්‍යයනයේ දී අපට පෙනී ගියේ අධිකරණයන්හි පවතින අධික නඩු ප්‍රමාදය ශ්‍රේෂඨාධිකරණය දක්වා පැතිර ඇති බවයි. මූලික අයිතිවාසිකම් කඩවීම් පිළිබඳව පෙත්සමක් මාස 2ක් තුළ විභාගකර අවසන් කළ යුතු බවට අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව ඇතත් එවැනි කාලයක් තුළ අවසන් වූ පෙත්සමක් මෙම නඩු අතරින් සොයා ගැනීමට අපහසු විය.

මේ අතරින් වසරක් හෝ ඊට අඩු කාලයක් තුල අවසන් කළ නඩු 13ක් සොයා ගැනීමට හැකි වු අතර, එම නඩු 1983 සිට 1995 දක්වා කාලය තුළ දී විභාග කළ මූලික අයිතිවාසිකම් නඩු විය. මේ අතරින් අවුරුදු 10 හෝ ඊට වැඩි කාලයක් ගත කළ නඩු 7ක් වාර්තා විය

1981 සිට 2019 දක්වා කාලය තුළ වැඩිම නඩු තීන්දු ප්‍රමාණයක් ලබා දුන් වසර ලෙස 2017 වසර සැලකිය හැකි අතර එම ප්‍රමණය 12 කි. 2016 වසරේ නඩු තීන්දු 11 ක් හා 2018 වසරේ නඩු තීන්දු 5ක් ලබා දී තිබේ. 1981-1989 දක්වා කාලය තුළ ලබාදී ඇත්තේ නඩු තීන්දු 8ක් පමණි.1981-2019 කාලය තුළ ගොනු කර ඇති වදහිංසා කිරීම සම්බන්ධව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 100 තුළින් 21ක්ම නිෂ්ප්‍රභ කර තිබුනි.

වන්දි ප්‍රදානයන්

පොදුවේ ගත් කළ පැමිණිලිකරුවන් දිරිගන්වන සුළු වන්දි ප්‍රදානයන් මෙම තීන්දු අතරින් දක්නට නොලැබුණි. 1981-1989 කාළය තුළ ලබාදුන් නඩු තීන්දු අතරින් පිරිනමන ලද අවම වන්දිය රු. 2500ක් ලෙසද උපරිම වන්දිය රු.50,000 ලෙසද සඳහන් වේ.

1990 – 1999 දක්වා කාලය තුළ පිරිනමන ලද අවම වන්දිය ලෙස රු. 2500 ක් හා රු. 2500 නඩු ගාස්තු ලෙස ද, උපරිම වන්දි ලෙස රු. 200,000ක් වන්දි හා රු.5000ක නඩු ගාස්තු ලෙස ද සඳහන් වේ.

2000 -2009 කාලය තුළ පිරිනමන ලද අවම වන්දිය රු.15,000 හා උපරිම වන්දිය ලෙස 1,504,788 සඳහන් වේ. මෙම වන්දිය ප්‍රධානය කරන ලද්දේ SCFR 328/2002 දරණ පෙත්සම සම්බන්ධව වත්තල පදිංචි සිටි ජෙරාඩ් මර්වින් පෙරේරා මහතා වෙනුවෙනි. 2000 -2019 කාල සීමාව තුළ වන්දි ප්‍රධානයන් හි වැඩිවීමක් වාර්තා වී ඇති අතර, ලක්ෂ 5ට වැඩි වන්දි ප්‍රධානය කළ නඩු 4ක් වාර්තා විය.

වධහිංසාව වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග

ඉහත තොරතුරු අනුව පෙනී යන්නේ වධහිංසාවට එරෙහි ඇති ඉතා බලවත් නීති ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මකවීමේ මන්දගාමී ස්වරෑපයයි. මෙම තත්ත්වය වළක්වා ගැනීමට පහත සඳහන් යෝජනා පිළිබඳව අවධානය යොමු විය යුතුව ඇත.

  • ශ්‍රී ලංකා රාජ්‍ය දේහය තුළ (පොලීසිය/බන්ධනාගාරය/පාසැල්) පවතින වධහිංසාව ඉවත් කිරීම සඳහා රජය අවංකව මැදිහත් විය යුතු අතර, ඒ සඳහා පූර්ණ කැපවීම ප්‍රදර්ශනය කළ යුතුය.
  • වධහිංසාව තිබිය යුතු බවට අප්‍රසිද්ධියේ ඇති සමාජ කතිකාව මතවාදීමය හා ප්‍රයෝගිකව පරාජය කළ යුතුයි.
  • අපරාධ පරීක්ෂණය සඳහා නවීන තාක්ෂණය භාවිතා කළ හැකි මනා පුහුණුවකින් යුත් උගත් නිලධාරීන් පත්කළ යුතුය.
  • පොලිස් ස්ථානයක සිදු වන වධහිංසනයන් සම්බන්ධව වගකීම අදාල පොලීසියේ ස්ථානාධිපතිවරයා හා සහකාර පොලිස් අධිකාරීවරයා වෙත පැවරිය යුතුය.
  • වධහිංසාවන් සිදු කළ බවට අධිකරණය ඉදිරියේ වරදකරුවන් වන නිලධාරීන් වැඩ තහනමකට ලක් කොට අභ්‍යන්තර විනය ක්‍රියා මාර්ගයන් වෙත යොමු වීම.
  • ශ්‍රී ලංකාවේ වදහිසාවට එරෙහි නීතිය ක්‍රියාත්මක වීම සක්‍රීය විය යුතුයි. එසඳහා පවතින අඩුපාඩු හදුනාගෙන ඊට පිළියම් සෙවිය යුතුයි.
  • බොරු නඩු පැවරීමට ඇති ඉඩ සම්පුර්ණයෙන් හකුළා දැමිය යුතු අතර, නඩු ප්‍රමාදය වැළැක්වීමට පියවර ගත යුතුයි.
  • නවීන තාක්ෂණය හා විද්‍යානුකූල ක්‍රමයන් අනුගමනය කරමින් අපරාධ පරීක්ෂණ සිදු කිරීම සඳහා නිලධාරීන් පුහුණු කිරීමත් අවශ්‍ය තාක්ෂණික සම්පත් ලබාදීමත් සිදු කළ යුතුයි.
  • නිළධාරීන් මුහුණ දෙන විවිධාකාරයේ ගැටලු (ආතතිය/රාජකාරීමය උනන්දුව අඩු වීම/සුදුසු දීමනා හා ගෙවීම් නොලැබීම) විසඳා නිවැරදි ක්‍රමවේදයක් මත ඔවුන්ගේ උසස්වීම් හා මාරු කිරීම් සිදු කිරීමත් වධහිංසාව සිදු නොකරන නිලධාරීන් ධෛර්යසම්පන්න කිරීමසඳහාත් කටයුතු කළ යුතුය.
  • වධහිංසා පනත යටතේ නඩු පැවරීම සඳහා වෙනම ස්වාධීන එකකයක් ස්ථාපිත කරමින් විනිවිද පෙනෙන ක්‍රමයක් යටතේ සිදු කිරීමත්, අදාළ නඩු විභාග විධිමත්ව සිදු කිරීමත් කළ යුතුය.
  • මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට ඇති දින 30 කාල බාධකය ඉවත් කිරීමත්, අදාල පෙත්සම් වසරක් තුළ අවසන් කිරීමට කටයුතු කිරීමත් සිදු කළ යුතුය.

(පිලිප් දිසානායක මානව හිමිකම් ආරක්ෂකයකු ලෙස දීර්ඝකාලීනව ක්‍රියා කරන අතර රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂවරයාය.)

Social Sharing
නවතම විශේෂාංග