-මහේෂ් හපුගොඩ-
OceanGate සමාගම විසින් දියත් කළ ටයිටන් (Titan) සබ්මැරීනය (සබ්මර්සිබල්) ඇතුලේ ඔක්සිජන් තියෙන්නේ තව පැය කිහිපයකට විතරයි. සීමිත ඔක්සිජන් ධාරිතාවක් සහිත Titan සබ්මැරිනය ඇතුලත සිටින පස් දෙනාගේ ජීවිතය බේරා ගැනීමට නම් කාලය සමඟ ඔවුන් සටන් කළ යුතුව තිබෙනවා. ඒ සඳහා ඔවුන් දැන් දියත්කර ඇති සෙවීම් කණ්ඩායම් වෙත තව තවත් කාලය දෙන්න ඕනි.
එහෙමනම් ඔවුන් කෙසේ හෝ ඔක්සිජන් ඉතුරුකර ගත යුතුයි. ඒ වගේම එක මිනිසෙක් එක වෙලාවකට අවදිව සිටිමින් අනික් අය අක්‍රියව සිටිය යුතුයි. ඒ අවදිව සිටින කෙනා පැයකට වරක් හෝ පැය භාගයකට වරක් තමන්ගේ සබ්මැරින් බිත්තියට යම් තාලයකට තට්ටුකළ යුතුයි. එතකොට පුළුවන් ඒ ශබ්දය එන්නේ ඔවුන් වෙතින් බව සහන සේවකයින්ට වටහා ගන්න.
මේ හිතුවක්කාරයෝ පස් දෙනා මේසා විශාල ගැඹුරක් කරා ගිහින් තියෙන්නේ සබ්මැරීනයක තියෙන්න ඕනි මූලික පහසුකම්වත් නැතුව. අඩුම තරමින් හරියට පහසුවෙන් වාඩිවෙන්නවත් ඉඩක් කඩක් නැතුව. තත්ව පරීක්ෂණයක් නැතුව (Industry Standards).
අවුරුදු සිය ගණනකට කලින් ලියවෙච්ච කාර්මික විප්ලවයේ නිතී පොත් ඇතුලේ විතරක් හිරවෙලා ඉඳල අලුත් දෙයක් කරන්න බැහැ කියල එක්තරා වෙලාවක OceanGate සමාගම කියල තියනවා. මේ හිතුවක්කාරයෝ කරපු මේ වැඩේ එක්ක මිනිසා අනාගතයේ උත්සාහ කරයි මුහුදු පතුළ ජයගන්න.
ඔස්ට්‍රේලියාවේ කිමිදුම් විශේෂඥයින් නම් කියන්නේ ඉතාම කුඩා කැප්සියුලයක ඉන්න මේ සංචාරකයෝ ටික මනා සිහියෙන් (සම්මා සති) ඉන්න ඕනි කියල. ඔක්සිජන් පරිභෝජනය සහ කාබන් ඩයොක්සයිඩ් විමෝචනය කළමනාකරණය කරගන්න නම් ඔවුන් කලයුතු හොඳම දේ භාවනා කරන එක කියල (meditation).
ඒ කියන්නේ අවදියෙන් සිටිමින්ම ශරීරය නිෂ්ක්‍රිය කරගන්න එක. ඉතාම තීරණාත්මක වෙලාවක අර පරණ දේවල් ආයේ ආයෙත් අප වෙත එනවා. අතිශයින් නූතන සහ තාක්ෂණික ලෝකයකත් ඒවා ආයේ පණ උපදවා ගන්නවා.
ඒකයි ගොඩක් වෙලාවට නූතනත්වය විරුද්ධාභාෂයක් වෙන්නේ (paradox).