මේ වන විට කොළඹ නගරයේ නාගරික සංචලතාවය පැයට කිලෝමීටර් 12ක් දක්වා අඩුවීම හේතුවෙන් බස්නාහිර පළාතට එහි දළ දේශීය නිෂ්පාදිතයෙන් 12% ක් අහිමි වී තිබෙන බව සමස්ත ලංකා බස් හිමියන්ගේ සංගමය පවසයි.
ඒ් නිසා මීට තිරසර විසඳුම වන්නේ කඩිනමින් කොළඹ මහ නුවර ඇතුළු නගර තුල පොදු ප්‍රවාහන පද්ධතිය දියුණු කිරීම තුලින් වඩා යහපත් ප්‍රවාහන පද්ධතියක් බිහිකර ගැනීම බවත් ඒ වෙනුවෙන් MCC ගිවිසුම මඟින් මුල්‍ය ආධාර ලබා දීමට නියමිත මධ්‍යම වටරවුම් මාර්ග ජාලයට ඇතුලත් ප්‍රදේශවල මාර්ග නවීකරණය කිරීම, මාර්ග තදබදය කළමනාකරණය කිරීම, පොදු බස් රථ සේවාව නවීකරණය කිරීම, මාර්ග තදබදය පාලනය කිරීම සදහා ප්‍රවාහන කළමනාකරණ කාර්යාලයක් පිහිටුවීම ආදී, කාර්යයන් පිළිබඳව කඩිනම් අවධානයක් යොමු කිරීම කළ යුතුව ඇතැයි සමස්ත ලංකා බස් හිමියන්ගේ සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් කියා ඇත.
බස් ගාස්තු විෂමතා ඉවත් කර, නිවැරදි බස් ගාස්තුවක් සකස් කර ගැනීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලය සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව එක්ව මාර්ග සියයක ගාස්තු ඇතුළත් කර පිරිවැය 12ක් පිළිබඳ සලකා බලා සකස් කිරීමට නියමිත නව බස් ගාස්තු ප්‍රතිපත්තිය මේ වනවිට බාලගිරි දෝශයට ලක්ව ඇති බව සඳහන් කරන මෙම සංගමය අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව සලකන්නේ මගීන් සුරාකන ඒකක් ලෙසය. (Central Ring Road Network)
ප්‍රවාහන බලධාරීන් පසුගිය වසර ගණනාව පුරාම අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අවසන් කිරීමට තීරණය කල ද බස් මාෆියාවට යටත්ව එම තීරණය හකුලා ගන්නා ලද අතර මෙම බස් සේවය නැවැත්විය යුතු බවට යෝජනා කර ඇත.
ඕනෑම බස් රථයක භාවිත කළ හැකි ඊ-ප්‍රවේශපත්‍ර ක්‍රමයක් හඳුන්වා දීම සහ දැනට ක්‍රියාත්මක පෙරගෙවුම් කාඩ්පත් ක්‍රමවත් කිරීම ගැනද මෙම ලිපියේ අවධානය යොමු කර ඇත.
-ශානිකා-