‘නොකියූ ප්‍රවෘත්ති’ ගැන නොකියාම බැරි දේවල් ටිකක්..!

– තරිඳු ශ්‍රී ලොකුගමගේ –

1. චේතනාගේ පොත මගේ අතට එන්නේ, එක පැත්තකින් short, sharp, no-nonsense කතා ශෛලීන් ගැන ඩිල්ස් (ඩිල්ශානි චතුරිකා දාබරේ) එක්ක දීර්ඝ සාකච්ඡාවක් කරමින් ඉන්න අතරේ. අනික් පැත්තෙන් එහෙම ස්ටයිල් එකක පරිපූර්ණ ප්‍රතිවිරුද්ධය විදිහට සලකන්න පුළුවන් සල්මන් රුෂ්ඩිගේ ‘ජෝසෆ් ඇන්ටන්’ පොත කියමින් ඉන්න අතරේ. ජෝසෆ් ඇන්ටන් කියන්නේ රුෂ්ඩිට විරුද්ධව කුප්‍රකට Fatwa තර්ජනය තිබුණු කාලයේ එයා හැංගිලා හිටපු විදිහ ගැන ලියපු දීර්ඝ මතක සටහන් එකතුවක්. චේතනාගේ පොත අයිති වෙන්නේ මෙයින් පළවෙනි කාණ්ඩයට. පොතේ පසුවදනේදී මහාචාර්ය ජේ.බී. දිසානායක මෙහෙම කියන්නේ ඒකයි: “ඇය සිය ළමා කාලය මෙන්ම නව යොවුන් වියද සිය දෙමාපියන් සහ සහෝදර සහෝදරියන් සමග ගත කළ හැටි, මනා කෙටි කතා ශෛලියකින් මෙහි විස්තර කොට ඇත්තේ ඉතා රසවත් ලෙසය. මේ කතා එක හුස්මට කියවිය හැකි තරම් ආස්වාදජනක වෙයි.” ඇත්තටම චේතනාගේ පොත මම කියෙව්වේ එක හුස්මට.

2. කොහොම වුණත්, මේ පොත, කියාගන්න සීමිත දේවල් තියන, එත් අතිශය සීමිත විවේකයක් සහිත කෙනෙක් ලියපු එකක් කියන එක පැහැදිලියි. ඒ නිසා සමහර වෙලාවට, සමහර එපික් සිදුවීම් නිව්ස් විදිහට ලියවිලා තිබීම ගැන මට පොඩි දුකක් දැනුණා. උදාහරණයක් විදිහට දෙමළ ජනතාවගේ දේපළ විනාශ කිරීමේ සිදුවීම පුංචි දැරියක් විදිහට එක්තරා උදෑසනක චේතනා අත්විඳපු ආකාරය රුෂ්ඩි එහෙම ලිව්වා නං ඒක කියවන්න දවසකුත් මදි වෙනවා. මං මේ කියන්නේ වරදක් නෙමෙයි. මට ඒ ගැන දුකයි කියල විතරයි.

3. ගුණදාස ලියනගේ වගේ දැවැන්ත චරිතයකට දියණියක් වීම නිසා චේතනාගේ මේ කෙටි ස්වයං-ලිඛිත චරිතාදපනයේ ළමා කාලය ‘ගුණදාස ලියනගේ දුවකගේ ඇසින්’ වගේ දෙයක් බවට පත්වෙනවා. මේ මාතෘකාව යටතේ චේතනා තමන්ගේ මතක වෙනම පොතක් විදිහට එළිදැක්වූවා නම්, මං හිතනවා ඒක සෑහෙන්න වැදගත් වේවි කියල. කලා ක්ෂේත්‍රයේ ඉන්න මිනිස්සු තමන්ගේ දරුවන් කලා ක්ෂේත්‍රයට එනවට විරුද්ධ වෙන අවස්ථාවන් අපි ඕන තරම් දැකලා අහලා තියෙනවා. එහෙම තියෙද්දී, දිගින් දිගටම පාසලේදී විශිෂ්ට දක්ෂතා පෙන්වමින් වාණිජ විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරන ගැහැනු දරුවෙක් ජනමාධ්‍ය කලා ක්ෂේත්‍රයට පිවිසෙන්න හදද්දී (ඒක ඇතුළේ ගැහැනුන්ට සිද්ධ වෙන දේවල් ගැන අටෝරසියක් උපදෙස් දුන්නත්) උදැල්ල නොදමා ඉන්න සහ මතුපිටින් නොපෙන්වා හදවතින් තල්ලුව දෙන පියෙක් ගැන කතාවක් දීර්ඝව අහන එක, සිංහල කියවන සමාජයේ යහපැවැත්මට හොඳයි කියලයි මට හිතෙන්නේ.

4. පොතේ මැද හරියේදී චේතනා පුවත්පත් නිවේදන කලාව ගැන තරමක් දීර්ඝව, ඒත් බොහොම රසවත්ව විස්තර කරන්න ගන්නවා. ඒ ටික, අලුතින් රූපවාහිනී කර්මාන්තයට පිවිසෙන කාටත් මසුරන් උපදෙස් එකතුවක් වෙන්න පුළුවන්. මේ මගපෙන්වීම තව ටිකක් දීර්ඝ කරලා වෙනම පොතක් විදිහට එළිදක්වන්න කියල චේතනාට ආරාධනා කරන්න කැමතියි. මොකද චේතනාගේ පෞරුෂය, ජනප්‍රියත්වය, සුන්දරත්වය සහ සදාකාලික තාරුණ්‍යය ඇතුළු සියලුම මැජිකල් සාධකවල මූලයන් එතනදී චේතනා අතින් දැනුවත්ව හෝ නොදැනුවත්ව නිරාවරණය වෙනවා.

5. තැන් කිහිපයකදී දේශපාලකයන් ඇතුළු සමහර චරිත අතින් සිදුවුණු අත්වැරදීම් සහ හිතාමතා කළ වැරදි වගේ දේවල් ලියද්දී පවා චේතනා තමන්ගේ ශික්ෂණය රැකගන්න විදිහ මාරයි. ඒ වෙලාවට මට මැවෙනවා, බැරෑරුම් හෝ ඛේදනීය ප්‍රවෘත්ති පවා කියවද්දී වෙන්ඩ-නිළියක් නොවී නියම වෘත්තීය ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට අකම්පිතව, ඒත් තමන්ගේ හඬේ සියුම් වෙනස්කම්වලින් අපට ප්‍රවෘත්තිය අහන්න නෙමෙයි විඳින්න සලස්සන ඒ ලෙජන්ඩරි චේතනාව.

6. මං ආසයි මාධ්‍ය ජීවිතයේදී සිදුවුණු රසවත් සිදුවීම් තියන කොටස, පොතේ අනෙක් කොටස්වලට වඩා වෙනස් විදිහට layout කරලා තියන එකට. ඒත් මං ආසයි ඒ කොටස් මීට වඩා දීර්ඝ වුණා නම්. උදාහරණයක් විදිහට දෙහිවල බෝම්බය වගේ සිදුවීම්වලදී, මටත් හොඳට මතකයි ඒ සිද්ධියේ කම්පනය. ඒ දුම්රියෙන් ආපු අපේ අසල්වැසි යුවළක් ගැන කිසිම තොරතුරක් නැතුව එයාලගේ දරුවෝ අඬන්න ගත්තු හඬ මට මේ දැන් පවා ඇහෙනවා වගේ (ඒ දෙන්නා ඊට සෑහෙන වෙලාවකට පස්සේ වාහනයක් හයර් කරගෙන ආවා. ජංගම දුරකථන භාවිතයක් නැත්තටම නැති තරම් වුණු ඒ කාලේ ඒවා වෙනම ලෙවල් එකක අවාසනාවන්). ඒ වගේ දේවල් ගැන චේතනාට තව සෑහෙන්න ලියන්න පුළුවන්කම තිබ්බා කියල මට හිතෙනවා. ආයෙත් කියනවා, මේ කියන්නේ වරදක් නෙමෙයි. මම මේ දුකක් අකුරු කරනවා විතරයි.

7. පොතේ මුද්‍රණය ඉතාම හොඳයි. මට අඩුවකට දැනුණේ අර්ධ ග්‍රන්ථ නාම පිටුවක් නැතුව කෙළින්ම ග්‍රන්ථ නාම පිටුවෙන් පොත පටන් ගන්න එක විතරයි. ඒවා ගණනකට ගත යුතු ගැටලු නෙමෙයි ඉතින්. ජැකට් එකක් සහිතව පොත සැලසුම් කරලා තියන විදිහ හරිම ආකර්ෂණීයයි. ඒ වගේම පොත ඇතුළේ තියන චේතනාගේ ඡායාරූප බොහොමයක් එයාගේ පෞරුෂය සහ සුන්දරත්වය ලස්සනට මතුකරනවා. ඒ වෙනුවෙන්, පොතේ සමස්ත නිමාවට නන් අයුරින් දායක වුණු සියලුම දෙනාට ප්‍රශංසාව හිමි විය යුතුයි.

8. මේ සටහන, චේතනා දැනට ලියමින් ඉන්නවා කියල මම විශ්වාස කරන දෙවෙනි පොතට කිසියම් ආකාරයක තල්ලුවක් වුණොත්, ඒක තමයි මගේ සතුට.

 

Social Sharing
අවකාශය නවතම