අලුත් අවුරුද්ද මට හැමදාම පුදුමයක්..!

-කේ. සංජීව-

තව පැය කීපයකින් අලුත් අවුරුද්ද උදාවෙනවා. සිංහල අලුත් අවුරුද්ද කියලා අපි කියන්නේ ඉර මීන රාශියේ ඉදලා මේෂ රාශියට සැපැත් වීම. මෙවර ඒක සිද්ධ වෙන්නේ අප්‍රේල් 14 සවස 2.29ට. මොකද්ද මේ අවුරුද්ද මේක සමරන්න පටන් ගත්තේ කවද්ද? මේවා හොයාගෙන ගියොත් අපිට නතර වෙන්න වෙන්නේ තාරකා විද්‍යාව එහෙම නැත්තං ගණිතය ළඟ. ඒක තමයි එක පුදුමයක්. අලුත් අවුරුදු උදාව කියන්නේ තාරුකාමය සිතීමක ප්‍රථිපලයක් කිව්වොත් ඒක හරියටම හරි. අහසේ පේන තරු රටාවලට නිශ්චිත නම් දීලා ඒවා රාශීන් කියලා නාමකරණය කරලා ඉර ඒවා හරහා යෑමේ එක නිශ්චිත මොහොතක් තමයි අපි මෙහෙම අලුත් අවුරුද්ද කියලා සමරන්නේ. ලෝකයේ බොහෝ සංස්කුතීන් ඉරේ ගමන අනුව අවුරුද්ද සමරනවා තවත් ජාතීන් සඳේ ගමන අනුව මේ වගේ සංස්ක්ෘතික මොහොතවල් සමරණවා.

මෙතනදී සිංහල අලුත් අවුරුද්ද කියලා කියන්නේ ඉර නැත්තං සූර්‍යයා මීන කියන තරු රටාවේ ඉඳලා (මේ තරු රටාව බැබිලෝනියානුවන් මුලින්ම අහසේ දැකලා තියෙන්නේ නූලකින් බැඳපු මාළු දෙන්නෙක් වගේ ඒ නිසා තමයි මේක මීන උනේ. මීන නුවන් තියෙන ඈයොත් අපි දන්නවානේ. මීන කියන මේ තරු රටාවේ තරු දහයකටම ග්‍රහලෝක තියෙනවා. මේවා අපිට සමීපව රටාවකට පෙනුනට ඇත්තටම එක එකාට ආලෝක වර්ෂ ගානක් ඈතින් ඉන්නේ. මේ තරු රටාවේ දීප්තිමත්ම තාරකාව අපි ඒක අද නාමකරණය කරගන්නේ පිසියම් කියලා. කහපාටට පේන මේ තාරුකාව ආලෝක වර්ෂ 294ක් ඈතින් ඉදලා තමයි අපිට තාරුකා ඇස් දල්වන් බලන් ඉන්නේ. අපිට ජීවය දෙන ඉරට වඩා මේ තරුව 26 ගුණයක් විශාලයි කීවොත් ඔබ ඒක පිළිගන්නවාද? ඔව් ඒක තමයි ඇත්ත) මේෂ කියන තරු රටාවට ගමන් කිරීම.

මේෂ කියන්නෙත් මීන වගේම තරු පොකුරක්. හැබැයි මීනයට වඩා සරල එකක්. මේ තරු පොකුර ඔබ අහස දිහා බලාගෙන එකට යාකළොත් ඔබේ හිතේ ඇඳෙන රූපය එළුවෙක්ට සමානයි. ඉතිං මේක මේෂ වුණා. මේ තරු පොකුරෙත් ග්‍රහලෝක තමන් වටේ එල්ලගත්ත ග්‍රහලෝක පහක් තියෙනවා කියලා තමයි විද්‍යාඥයෝ කියන්නේ.

මීන සහ මේෂ රාශිය එක්ක තරු පොකුරු 12ක් අපි රාශි 12ක් කියලා ගන්නවා. මේ රාශී වගේම නැකැත් කියලා අපි කියන තරු පොකුරු 27ත් අහසේ නැගෙනහිර ක්ෂිතිජයෙන් චක්‍රීය රටාවකට මතු වෙනවා. හඳ නැති වළාකුළු නැති පැහැදිලි රාත්‍රී අහසක අපිට මේ තරු පොකුරු 12 වගේම නැකත් තරු පොකුරු 27ත් බලාගන්න පුලුවන් පියවි ඇසින්. හැබැයි මේ සියල්ල එකවර දකින්න බෑ. ඒවා පියවි ඇසින් දැකලා හඳුනාගන්න පුලුවන් දවස් සහ වෙලාවල් තියෙනවා.

අද අවුරුදු උදාව නැත්තං මේ සංක්‍රාන්තිය පියවි ඇසට බලන්න පුලුවන්ද? මේෂ තරු පොකුර වගේම මීන තරු පොකුරත් අපිට පියවි ඇහින් බලන්න පුලුවන්. ඉරත් බලන්න ඇහැක්. ඒත් ඉතිං මේ ගමනනම් බලන්න නොහැක්. ඒකට හේතුව මේ ගමන සිද්ධ වෙන්නේ අද (14) සවස. ඒ වෙලාවට ඉර අහසේ ඉන්නවා. ඉතිං කොහොමෙයි මීන මේෂ පේන්නේ. ඉර මොහොතකට නිව්වොත් බලන්න ඇහැක්. අපට පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකියි. සූර්යයාද අපට නිරීක්ෂණය කළ හැකියි. එහෙත්, මේෂ සංක්‍රාන්තිය අපට පියවි ඇසින් නිරීක්ෂණය කළ නොහැකියි. ලබන අවුරුද්දේ (2024) රෑ 9ට විතර තමයි මේ දේ සිද්ධ වෙන්නේ ඒත් දකින්න නම් ලැබෙන්නේ නෑ. ඒකට හේතුව තමයි මේ තරු පොකුරු දෙකම එදාට අපිට පිටුපාලා පොළවෙන් අනික් පැත්තේ තමයි ඉන්නේ.

මේ ගැන දුක් වෙන්න එපා ඉතිං ඒකට හේතුව තමයි මේ ගමන කවදාවත් කවුරුත් දැකලා නෑ කියලා නිච්චියටම කියන්න පුලුවන්. ඒත් ඉතිං දිවා කාලයේ ඉර හැරෙන විදිහත්, රෑට තරු හැරෙන විදිහත් නිරීක්ෂණය කරලා සිතියම් ගත කළාම ග්‍රහලෝකවල සහ තරුවල සාපේක්ෂ චලනයන් ගනනය කළාම ඒ ගණිතයට අනුව අපිට මේ සුවිශේෂ ගමන ගැන නිගමනයකට එන්න පුලුවන්. හැම අවුරුද්දකම නැකැත් සීට්ටුව හරහා ඒ ගණනයේ ප්‍රථිපලය අපි අතට එනවා. මිනිස්සු තරු එක්ක මේ සෙල්ලම පටන් ගත්තේ කවද්ද කියන්න නම් දන්නේ නෑ ඒත් බැබලෝනියානු සිස්ටාචාරයෙන් මේ විද්‍යාව බිහිවුණා කියලත් කියනවා. කොහොම වුණත් මාලිමා නැති කාලේ අපිට තරු තමයි පාර කිවේ. අද නම් චන්ද්‍රිකා ජීපීඑස් වගේ තාක්ෂණයන් පාර පෙන්වනවා.

කොහොම වුණත් මේ ගණනය කිරීම් සහ මේ සිතුවිලි ඉතිහාසය අපේ උරුමයක්. ඒක සිංහලයන් අස්සේ සංරක්ෂණය වෙලා තියෙන එක ඉවෙන්ට් එකක් තමයි සිංහල අලුත් අවුරුද්ද. මේ නැකැත් සීට්ටුව.

පොඩි කාලේ ඉඳලාම තරු බලන්න තිබුණ පිස්සුව නිසාම හැම සතියකම විදුසර අරගෙන තාරකා විද්‍යාවට ඇහැ ගහගෙන හිටියා. ඒනිසාම ඒක කාලේ තරු ගැනම කල සඟරා පවා සොයාගෙන කියෙව්වා. ඒ විද්‍යාව අස්සේ මේ අවුරුදු කතාව තිබිලා හම්බ වුණාම අලුත් අවුරුද්ද කියන පිස්සුවට හිතේ තියෙන ආලේ තරුවක් වගේ නිවි නිවී පත්තු වෙන්න පටන් ගත්තා.

නොනගතය

ඊට පස්සේ හිතට වඩාත්ම අල්ලලා ගියේ මේ නොනගතය කියන කතාව. අම්මා ඉස්සර කීවේ නැකැත් නැති වෙලාව කියලා. සමහරු කිව්වා කිසි වැඩක් කරන්න හොඳ නැති වෙලාවක් මේක කියලා. ඒ නිසා පන්සලට යන්න කියලනේ කියන්නේ. ඒත් ඇත්තටම මේ නොනගතය කියන්නේ මොකද්ද? මට නම් හිතුනේ නො ගතවීම කියන එක තමයි මේකේ තේරුම කියලා. ඒත් නොනගතය කීවාම ඊට වඩා ලොකු දෙයක් මේ අස්සේ තියෙනවා.

ඇත්තටම කිව්වොත් මේ තරු පොකුරු අතර ගමනට ගතවෙන කාලය තමයි සරළව කියනවා නම් මේ ‘නොනගත කාලය’ කියන්නේ. හැම අවුරුද්දකම මේ කාල සීමාව එකයි. මේ සංක්‍රාන්තියට ගන්න කාලය තමයි පැය 12 මිනිත්තු 48 ක්. මේ පැය 12න් මේ රාශි දෙක අතර හරි මැදට ඉරට එන්න ගතවෙන කාලය පැය 6 මිනිත්තු 24ක්. මේක තමයි අපි නොනගතයේ පූර්ව භාගය විදිහට ගන්නේ. මීන සහ මේෂ කියන තරු පොකුරු දෙක අතර දුරින් හරි අඩක් ගමන් කරන්න ඉරට ගතවෙන කාලය තමයි මේ. නොනගතයේ අපර භාගයේදී තමයි ඉර සම්පූර්ණයෙන්ම මේෂ තරු පොකුරට සේන්දු වෙන්නේ.

කාලය තමයි හැමදේම කියලා ගන්නකොට මේ කාල කෑල්ල ගැන මොකද හිතන්නේ. එක අවසානයක් සහ තවත් ආරම්භයක් අතර තුනී කාල කෑල්ල තමයි පැරැන්නෝ මේ විදිහට නොනගතය කියලා ගණනය කළේ. ‘අගත අනගත මතුදිශ ශ්‍යශ දිනෙ’ මෙන්න මේ විදිහට තමයි මේ කාල කැබැල්ල ගැන සෙල්ලිපි වල එන කතාව. මේ කියමනට අනුව නොනගතය කියලා කියන්නේ නො + අගත + අනගත කියන සාමූහික අර්ථයට. ඒ කියන්නේ ‘‘පැමිණියේත් නැති නොපැමිණියේත් නැති’’ කාලය කියන දේ. මේක එක්තරා දාර්ශනික වගේම සාංද්ෘෂයවාදී කියවීමක්. මේක තමයි මම අවුරුද්දේ දැක්ක ඊළඟ පුදුමය. අපි පැමිණියේ නැති නොපැමිණත් නැති කාල කෑල්ලක් අරගෙන ඒක අස්සේ යම් යම් වැඩ කරනවා. සමහර වැඩ වලින් වැළකිලා ඉන්නවා.

මට හිතෙන්නේ විශේෂයෙන් අපි ලංකාවේ ඉන්න සිංහල ජනවර්ගය විදිහට ඕනෑම දෙයක් ලේසියෙන් අතහැරලා දාන්න වගේම ඕනෑම දෙයක් ලේසියෙන් බඳා වඩා ගැනීමේ දාර්ශනික කතාවත් තියෙන්නේ මෙතන.

අපි කිසිම සද්දයක් නොකර කෙමක් කරන්නැහේ තාච්චියට තෙල් දාලා මුං අතිරස හදන්න ගන්න දවසේ ඉඳලා මේ අවුරුද්ද සමරන්න බහිනවා. කෝන්දුරුවන්ට කැවුමක් එල්ලලා මිදුලේ වළක් කපලා කෙසෙල් වළ දාලා දුම් ගහනවා. කොකිස් අලුවා වැලිතලපා හදනවා. පරණ අවුරුද්ද කියලා එකක් දාගෙන නෑයෝ බලන්න යනවා. තරහා වෙලා හිටිය නම් ඒවා අමතක කරලා එකතුවෙනවා. සමහර දේවල් වලට සමාව දෙනවා සමහර දේවල් අමතක කරලා දානවා. එහෙමයි අලුත් අවුරුද්දට යන්නේ.

ඊට පස්සේ ඉතිං හත්මාළුව හදලා අවුරුදු කුමාරයාට එක ගොටුවකුයි නොනවතින බඩ ගින්නක ඉන්නවා කියලා අපි හිතන කාක්කට පනහ් තිරයක් දාලා පත්තු කරපු ගොටුවකුයි එක්ක ගොටු දෙකක් තියලා නැකතට හත් මාළුව එක්ක බත් කනවා. මේ සපරගමුවේ ක්‍රමය. දකුණට ආවාම කිරිබත් හදනවා. ඊළඟට ඉතිං සපරගමුවෙ නම් ළිඳ එක්ක ගනුදෙනු කරනවා. ඊට පස්සේ මොකක් හෝ පැලයක් හිටවනවා. ඊට පස්සේ ඉතිං සැහැල්ලුවෙන් අහසේ පාවෙනවා, නොම්බර අදිනවා, බූරු ගහනවා, කැටගහනවා, වගේ අවුරුදු ක්‍රීඩා ගොඩක් එක්ක මේ කාලය පහු කරනවා.

මේ අර්ථයෙන් බැලුවාම අවුරුද්ද කියලා කියන්නේ සාමූහික පැවැත්ම පිළිබඳ විශ්වාසයේ එක්තරා ප්‍රකාශයක්. එක්තරා නිමේෂයක්. ඒ නිසා මොන ප්‍රශ්න තිබුණත් අපි ජාතියක් විදිහටම මේවගේ දේවල් සමරන්න අවශ්‍යයි. සාමූහික සිතීම් පද්ධතිය අලුත් වෙන්නේ මෙවැනි දේවල් නිසා කියල‍යි මට නම් හිතෙන්නේ..

ඉතිං හැවෝටම සුබ අලුත් අවුරුද්දක්…!

 

Social Sharing
ආර්ථික නවතම