සිංහල අලුත් අවුරුද්ද සහ නැගෙනහිර ආසියාව..!

මීට අවුරුදු හතරකට පමණ පෙර අප්‍රේල් මාසෙ අපි බුරුමයේ සංචාරය කළා. ඒ දවස් වල අපි එරට රූපවාහිනියේ නිතර දැකපු දෙයක් තමයි ඔවුන් කුමක් හෝ උත්සවයකට ලක ලැහැස්ති වෙමින් සිටින බව. තරුණ ළමයි ඉතාම කෙළිදෙලෙන් එකිනෙකාට වතුර ගසා ගනිමින් සතුටු වෙන ආකාරයේ දසුන් අපි නිතර දැක්කා. ඔවුන් මේ ලැහැස්ති වෙන්නෙ ඔවුන්ගෙ නව වසර සැමරීමට බව තේරුම් ගන්න අපිට වැඩි වෙලා ගියේ නැහැ.

නැගෙනහිර ආසියාවෙ බොහෝ ප්‍රදේශ වල සිංහල අවුරුද්දට සමාන්තරව සාම්ප්‍රදායික නව අවුරුදු සැමරීම් තිබෙන බව මම කොහොමත් දැනගෙන හිටියා. නමුත් මේ අත්දැකීමත් එක්ක මේ ගැන අලුත් වටයකින් සොයා බලන්න මට උනන්දුවක් ඇති වුණා.

අපි ලංකාවෙ සමරණ සිංහල අලුත් අවුරුද්ද හුදකලා සැමරීමක් නොවන බවත්, සමස්ථ දකුණු සහ අග්නිදිග ආසියාව පුරාම පැතිරී තිබෙන චාරිත්‍රයක් බවත් මට වැටහුනේ එවිට. ඒ වගේම මේ සැමරීම් තිබෙන සැම තැනක්ම වගේ ථෙරවාදී බෞද්ධ පරිසරයකින් යුක්ත ප්‍රදේශ බවත් පෙනෙන්න තිබුනා. ඒ විතරක් නෙවෙයි මේ හැම තැනකම, ඔවුන් සමරන ඒ චාරිත්‍ර වාරිත්‍රවල පසුබිම සහ පදනමත් සමාන ලක්ෂණ වලින් යුක්ත වුණා. මේ බොහෝ තැන් වල අලුත් අවුරුදු උදාව හඳුන්වන්න යෙදිලා තිබුනෙ සංක්‍රාන්ත්, සංක්‍රෝන් වගේ පද. මේ කියන්න අපි සිංහලෙන් හඳුන්වන සංක්‍රාන්තිය බව අමුතුවෙන් කිව යුතු නැහැ.

ලංකාවෙ සිංහල බෞද්ධයෝ වගේම, බුරුමයේ බර්මන්, මොන්, ශන්, කරෙන්, කචින්, චින්, මොන්, රකායින්, ඉන්තා, නාගා, වගේ ජන කොටස්, ඒ වගේම තායිලන්තයේ, කාම්බෝජයේ, ලාඕසයේ, දකුණු වියට්නාම් මීකොං ඩෙල්ටාවේ ථෙරවාදී බෞද්ධයන්, චීනයේ යුනාන් ප්‍රාන්තයේ ථෙරවාදී බෞද්ධයන්, බංගලිදේශයේ චිතගොං කඳු ප්‍රාන්තයේ චක්මා, මර්මා, චක්, තොන්චන්ග්‍යා වගේ බෞද්ධ ගෝත්‍ර……

මේ හැමෝම අපිත් එක්කම අලුත් අවුරුද්ද සමරනවා. මේ හැම තැනකම වගේ ඒ අවුරුදු චාරිත්‍ර දේශීය ජෝතිශ්‍යමය පදනම් මත බෞද්ධ සංස්කෘතික හුරුවක් සහ ආලේපනයක් සහිතව උත්පාදනය වෙලා තිබෙන බවත් පැහැදිලියි.

බක් මාසෙ උදා වෙන අලුත් අවුරුද්ද කියන්නෙ සමස්ථ ථෙරවාදී කලාපයම වසාගෙන පවතින අති දැවැන්ත සංස්කෘතික ධජයක් ! ඒක තව තවත් ලකේට හැඩට ලෙළදෙවමු…. මගේ දයාබර සිංහලයන්ට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! නැගෙනහිර ආසියාවේත් ලොව පුරාමත් සිටින මගේ දයාබර ථෙරවාදී බෞද්ධයන්ටත් සුබම සුබ නව වසරක් වේවා!

-දිනෙත් මල්ලිකාරච්චි-

Social Sharing
අවකාශය නවතම