තායිලන්තයේ ඉන්දියානු කෑම සුයාමය..!

තායිලන්තේ ඉන්දියානු, පාකිස්ථාන කෑම කියන්නේ වෙනම පොතක් ලියන්න පුළුවන් විෂයක්. Charoen Krung පාරෙන් අපට හොඳ ඉන්දියානු කෑම හමුවෙලා තියනවා. ඒ හරියේ හරූන් පල්ලිය ආසන්නයේ තියන හලාල් ස්ට්‍රීට් ෆුඩ් ඒරියා එක, වෙනම දවසක් දාගෙන ගිහින් ගවේෂණය කරන්න ඕන තැනක් (ඒකෙන් කාපු රොටිවල රස ගැන කෞශි තාම කතා කරනවා). ඒ වගේම ඒ පාරේ තියන legendary මුස්ලිම් ආපනශාලාව, මම මෙතෙක් කාපු රසම මට්න් බිරියානි තියන තැනක්. ඒකෙ ප්ලේන් අයිස් කෝපි එක වෙහෙස මහන්සිය දුරු කරන්නේ පූස් ඥාව්වක් ලේන් තඩියෙක් තාප්පගත කරන තරම් ඉක්මනට.

හැබැයි අනික් අතට, බැංකොක් වල ගොඩක් තැන්වලින් හමුවෙන ඉන්දියානු කෑම පොඩ්ඩක් පැණි රස පැත්තට බරයි. විශේෂයෙන්ම MBK එකේ ඉන්දියානු කෑම ගොඩක් වෙලාවට මිල වැඩි පැත්තට වගේම නීරස පැත්තට බරයි. ඒ නිසා food court වලින් ඉන්දියානු කෑම කාලා එහෙ ඉන්දියානු කෑම ගැන නිගමනයකට එන්න බෑ කියලයි මට හිතෙන්නේ. සාමාන්‍යයෙන් පහුරත් හෙවත් ඉන්දියන් එම්පෝරියම් එක පැත්තේ පවා කෑමවල කටදැවිල්ලේ මදියක් අපට හැමදාම දැනෙනවා. සමහර විට ඒක ඔතෙන්ටික් ඉන්දියන් කෑම වල හැටියක් වෙන්නත් ඇති. මේක අපේ ශ්‍රී ලාංකිකත්වයේ ප්‍රශ්නයක් වෙන්න ඇති. මම ඒක එච්චරටම අදාළ කරගන්නේ නෑ.

මේ පාර ටුවර් එකේ, සීයක් හමාරක් දේවල් සිද්ධ වුණු අපූරු දවසක, අක්කගේ ෆෝන් එක ටැක්සියකදී නැති වෙලා තෝන්තුවාවෙන් ඉබාගාතේ යද්දී (ෆෝන් එක ආපහු ලැබුණා. තායිලන්තයේ ඉන්නේ රත්තරං මිනිස්සු. ඒ කතාව පස්සේ කියන්නම්) අහම්බෙන් චයිනා වර්ල්ඩ් මෝල් එකට යැවුණා. කෙළින්ම ෆුඩ් කෝට් එකට ගියාම එතන ඉන්දියානු කෑම කඩයක් තියනවා දැකලා දෙපාරක් හිතන්නේ නැතුව ගිහින් ඕඩර් කළා.

මම හොදි බත් ෆෑන් නිසාත්, තාලි ටෙස්ට් කරන විනෝදාංශයක් නිසාත් තාලියක් ඕඩර් කළා. අක්කට ඕන වුනා චෝලේ පූරි එක ටෙස්ට් කරලා බලන්න. ඊට අමතරව මසාලා තේ සහ මසාලා කෝපි තියනවා දැක්ක නිසා ඒවා එක එක ඕඩර් කළා.

මම හිතන්නේ බැංකොක්වලින් මම කාපු සිම්පල්ම සහ රසම තාලිය ඒක වෙන්න ඕන. චිකන් එක මම වෙජිටේරියන් නොවීම ගැන මා ලවා දෛවයට ස්තූති කෙරෙව්වා. පනීර් එක සිරාවටම චීසි. චෝලේ මසාලාව, ඉන්දියානු අඩුම කුඩුම දාලා යුනිවර්සල් ලාලසාවන්ගෙන් තෙම්පරාදු කරපු මැජික් කරියක්. අඳුරු කරපු වීදුරුවකින් පේන හඳක් වගේ තිබුණු රොටිය, ආලෝකමත් හදවතකින් විඳින ආදරයක් වගේ රසවත්. සම්බලේ හරියට කාගේත් දුක අහන අයියෙක් වගේ හැම දෙයක් එක්කම පෑහී ඇලී වෙළුනා. උකු කිරිවත් බවකින්, අඩු පැණි රැසකින් සහ බැලන්ස් මසාලත්වයකින් සුසංයෝග වුණු මසාලා තේ එක සහ මසාලා කෝපි එක, ලංකාවේදී මසාලා කියලා බොන කචාලා බචාලා දියර ගැන හිතට විසාලා දුකක් ගෙනාවා (ඒකට කොච්චර රස වැටුණාද කියනවා නම් අක්කා තව මසාලා කෝපි එකක් ඕඩර් කළා. ඒ අස්සේ එයාට අයිස් ක්‍රීම් එකක් කන්න හිතුණේ ඇයි කියල දන්නේ අයිස්ක්‍රීම්වලට අධිපති දෙවිවරුම තමා).

මේ කෑම සුයාමය පිළිබඳ අපේ හිතේ ප්‍රණාමය දරාගන්න බැරුව විනාඩි දහයක් පහළවක් එතනම ඉඳන් ඒ ගැන කතා කරලා, කඩේ මිනිස්සුන්ව තක්බීර් කරමින් ඒ මිනිස්සුන්ට ස්තූතිත් කරලයි අපි ආවේ.

දවසක ඉන්දියාවේ ෆුඩ් ටුවර් එකක් යන්න ආසාවක් තියනවා. එත් ඉන්දියාව කියන්නේ මට ඒ හැටි බැඳෙන්න පුළුවන් රටක් නෙමෙයි. ඒ නිසා ඒ ගමන ගැන මට ෂුවර් එකක් නෑ.

ඒ නිසා, දැනට තායිලන්තයේ සහ ඉදිරියේ දී වෙනත් අග්නිදිග ආසියානු රටවලත් ඉන්දියානු ආභාසය සහිත කෑම ටෙස්ට් කරන එක මගේ ජීවන අරමුණක් විදිහට දිගටම පවතීවි.

තරිඳු ශ්‍රී ලොකුගමගේ
උපුටාගැනීම – ෆේස්බුක්

 

Social Sharing
අවකාශය නවතම