විශ්මා සඳමාලි සහ ජූන්කෝ ෆුරුටා



විශ්මා සඳමාලි සහ ජූන්කෝ ෆුරුටා ගේ කතා දෙකේ වෙනසක් නැහැ කියලා හිතෙන්නේ කතා දෙකම එක තැනකදී සම්බන්ධ වෙන නිසා..

ජූන්කෝ සහ විශ්මා කියන දෙන්නාම ජීවත් වෙලා තිබුණේ එකම වගේ වදකාගාරයක් ඇතුළේ.. ජූන්කෝ කාමතුරයන්ගෙන් දුක් විඳින කොට විශ්මි ජපානයේම දැඩි ආගමන විගමන නීති හමුවේ ජීවිතයෙන් වන්දි ගෙවනවා.

ජපානයේ විශ්මා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විසින් අධිකරණයට ලබා දීපු විශ්මාව රඳවා තබපු කුටියේ CCTV දර්ශන ඇයගේ මරණයෙන් වසර 02ක් ගිය තැන මාධ්‍ය වෙත මුදා හැරලා තියෙනවා..

හරියටම ජූන්කෝ වගේම, විශ්මාත් මරණයත්, ජීවිතයත් නැතුව එක තැනක කොටු වෙලා හිටියා කියන දේ ඒ දර්ශන ඇතුළේ පේන්නේ..

විශ්මාගෙන් වෛද්‍යවරුන් ප්‍රශ්න අහද්දී ඇය කියන්නේ තමන්ට වතුර ටිකක්වත් බොන්න තරම් ශක්තියක් ඇඟේ නැහැ කියලා. අඩුම ඇයට හිස ඔසවා ගන්නවත් බැහැ, ඇයව එහා මෙහා කරන්නේ නිලධාරීන් දෙදෙනෙක්.

ඇය අතින් වරදක් වෙලා තියෙනවා, ඒ වීසා කාලය ඉක්මවා රැඳී සිටීම, ඇය ජපානයට ගිහින් තියෙන්නේ ලංකාවේ බහුතරයක් යනවා වගේ ශිෂ්‍ය වීසා මත පදනම් වෙලා. හැබැයි එහෙදී ඇයට සිදුවෙන ගැටලු කිහිපයක් මුල් ක‍රගෙන ඇයට ශිෂ්‍ය වීසා අහිමි වෙනවා. ඒ නිසා ඇය ජපානයේ රැඳී සිටින්න සරණාගත පහසුකම් ඉල්ලා සිටිනවා. නමුත් ඇයගේ ඒ ඉල්ලීම් ප්‍රතික්ෂේප වෙනවා. හේතුව තමා ජපානය කියන්නේ සරණාගත පහසුකම් සම්බන්ධව දැඩි නීතිරීති පවතින රටක් නිසා.

කොහොම හරි ඇයට සිය පෙම්වතා යැයි කියාගන්න කෙනෙකුගෙන් සිදුවූ හිංසා පීඩා නිසා ඇය පොලීසියට ගිහින් ආරක්ෂාව ඉල්ලනවා. ඒ වෙලාවේ පොලීසිය කරන්නේ ඇයව, ඒ පළාතේ ආගමන විගමන කාර්යාංශයකට භාර දෙන එක. එතනදී ඇය ශ්‍රී ලංකාවට යන්න දෙන්න ඉල්ලීමක් කරලා තිබුණු බව සඳහන්. නමුත් ඇයට ගුවන් ටිකට්පත සඳහා වියදම් කරන්න තරම් මුදලක් තිබිලා නැහැ. ඒ වගේම ඒ වෙද්දී මේ කියන්නේ 2020 මුල් කාලය වෙද්දී වසංගත තත්ත්වය එක්ක ගුවන් ගමන් පවා අත්හිටුවා තිබුණා.

ජූන්කෝ ෆුරුටා

ගෘහස්ථ හිංසනය යටතේ තමා ඇය ජපානයේ ආරක්ෂාව ඉල්ලලා තිබුණේ, නමුත් ඇයට ඒ සඳහා වන නිසි ආරක්ෂාව හෝ පහසුකම් ලැබිලා තිබුණේ නැහැ. ඇය පසුව ජපානයේ නවතින්න තීරණය කරනවා. නමුත් ඇයගේ වීසා අවසන් වීම නිසා ඇය නිදහස් කරන්න කාර්යාංශය සුදානම් වෙලා හිටියේ නැහැ. ඇය 2021 වසරේ ජනවාරි මාසයේ ජපන් රාජ්‍ය නොවන සංවිධානයක් මාර්ගයෙන් ජපානය තුළ රැඳී සිටින්න තාවකාලික නිදහස ඉල්ලා සිටියත් ඇයගේ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙනවා.

මේ අතර කාලයේ තමා විශ්මා රෝගාතුර වෙන්න පටන් ගන්නේ. ඇයට ආහාර ගැනීමේ අපහසුතාවයන්, බර අඩුවීම, ශ්වසන අපහසුතාවයන්, වමනය යෑම වගේ රෝග මතුවෙලා තිබුණා කියලා ඇයව බලන්න ගිය පිරිස කියලා තිබුණා.

ඇය ඒ කාලය ඇතුළේ නැවත වරක් තාවකාලික නිදහස ඉල්ලලා ඉල්ලීමක් යොමු කළත් ඇයට ඒ නිදහස ලැබෙන්නේ නැහැ. 2021 මාර්තු 04 වනදා විශ්මාව පරික්ෂා කරපු වෛද්‍යවරයෙක් ඇයගේ තත්ත්වය අයහපත් බවත්, ඇයට තාවකාලික නිදහස ලබාදෙන ලෙසත් නිර්දේශ කර තිබූ බව කියනවා.. කෙසේ වෙතත් ඇයට ඒ අපායෙන් ගැලවී යන්න හම්බ වෙන්නේ නැහැ.

2021 වසරේ පෙබරවාරි 03 වනදා ඉඳන්, මාර්තු 03 වනදා දක්වා කාලය තුළ 25 වතාවක් ඇයව බැලීම සඳහා උපකාරකකරුවන් පැමිණ තිබුණු බවත්, ඔවුන් විසින් අවස්ථාවන් 04කදී ඇයගේ තත්ත්වය අයහපත් බැවින් ඇයව ‍තාවකාලිකව නිදහස් කොට රෝහල් ගත කරන ලෙසත් ඉල්ලා තිබූ බව සඳහන් වනවා. ඇයගේ රෝගී තත්ත්වය එන්න එන්න දරුණු අතට හැරුණත් නිලධාරීන්ගේ හිත්වල කිසිදු සානුකම්පිත භාවයක් තිබිලා නැහැ.

මාර්තු 06 වනදා ඇය අවසානයේ කිසිදු ආකාරයෙන් රෝහල් ගත කිරීමක් හෝ නිසි ප්‍රතිකාරයක් නොමැතිව තමා රඳවා සිටි කුටියේම අවසානයේ⁣ ඛේදජනක ලෙස මිය යනවා. අඩුම ඇයගේ සිරුර රැගෙන යන්නවත් ගිලන් රථයක් වේලාවට ආපු නැති බවයි සඳහන් වෙන්නේ. මට මේ කොටස කියද්දී ජූන්කෝගේ කතාව මතක් වුණේ ඇයත් තමාව මරා දාන්න කියලා ඉල්ලීම් කළා ඒ දුක දරාගන්න බැහැ කියලා..

හැබැයි අර කාමාතුරයන්⁣ වගේම, ජපන් නිලධාරීන්ද ඔවුන්ගේ ඉල්ලීම්වලට සවන් දීලා තිබුණේ නැහැ. මේ සම්බන්ධයෙන් ජපාන රජයෙන් පරික්ෂණයක් ආරම්භ කළා කියලත්, විශ්මාගේ පැත්තෙන් නඩුවක් ගොනු කරලා තිබෙනවා.

ජපානයේ සමහර ආගමන විගමන නිලධාරීන් අතර විශ්වාසයක් තියනවාලු සමහර රැඳවුම්කරුවන් රෝගී තත්ත්වයන් උත්සන්න වෙලා වගේ රඟපාලා තාවකාලික නිදහස ලබාගන්න හදනවා කියලා (අන්තර්ජාල මූලාශ්‍ර අනුව)

කොහොම වුණත්, ජූන්කෝ සහ විශ්මාගේ කතා දෙකම ගත්තාම ඔවුන් දෙදෙනාම තමන් කිසිදාක නොපැතූ අවසානයකින් ජීවිතයෙන් සමුගන්නවා…

ශ්‍රී ලංකා රජයේ මැදිහත් වීම මේ සිදුවීමට කොහොම වුණාද කියන්න මම දන්නේ නැහැ, හැබැයි මේ සිද්ධිය නම් සෑහෙන්න අමානුෂික එකක් කියන්න පුළුවන්. ඒ වගේම ජපානයේ දැඩි ආගමන විගමන නීතියන් හමුවේ 2007 සිට මිය ගිය 17 වෙනියා විශ්මා සඳමාලි කියලයි අන්තර්ජාල මුලාශ්‍රයන්ගේ සඳහන් වෙන්නේ.

විශ්මාගේ මරණය ජපානයට තමන්ගේ ආගමන විගමන නීති පිළිබඳව නැවත වරක් සිතා බලන තැනට ජපාන පාර්ලිමේන්තුව සහ කැබිනට් මණ්ඩලය පත් කළා. මොකද ජපානයේ සරණාගතයන් සඳහා පවතින්නේ ඉතාමත් දැඩි තීන්දුවක්.. විශ්මාගේ මරණය තවත් සරණතාගතයන් ලෙස සිටින දහසකට⁣ අධික ප්‍රමාණයකගේ ඉරණම තීන්දු කළා..

ඉදිරියට කාටවත් මෙහෙම වෙන එකක් නෑ කියලා හිතන්න පුළුවන්.. හැබැයි ඒ දේ වෙන්න බලපෑ හේතුව නම් සෑහෙන්න ඛේදජනකයි.
#සංජේ
උපුටාගැනීම – ෆේස්බුක්

Social Sharing
නවතම විශේෂාංග