IMF ගැන මාගේ දක්ෂිනාංශික අදහස

-ශිරාල් ලක්තිලක-

1. IMF නය සහන ලැබීම පිළිබඳව අපට පහන් අදහසක් පවතී.

2. මක්නිසාද යත් බංකොලොත් රාජ්‍යයක සිට ණය ගැති රාජ්‍යයක් දක්වා පරිනාමය වන්නට එමගින් හැකිවන නිසා ය.

3. ඕනෑම බංකොලොත් රටක පාලකයකුගේ ව්‍යවස්තාපිත වගකීම වන්නෙ රට එවැනි ව්‍යසනයකින් ගලවා ගැනීමයි. ඒ නිසා ජනාධිපතිවරයා මුරුංගා අත්තේ තැබීම නොකල යුතුය. එවිට වන්නේ ඔහු නැවතත් ජනකාන්ත වාදයෙන් මුසපත් වීමයි.

4. නමුත් අප සිහිකල යුත්තේ ඉදිරි වසර කීපයක් සඳහා අප රටට මේ නිසා ගලා ඒමට නියමිත ණය කන්ද ROI මත කළමනාකරණය කිරීමේ වගකීම පාලක පක්ෂයට මෙන්ම ජනතාවටද පවතින බව අවධාරනය කරන්නේ කෙසේද යන්න පිළිබඳවය.

5. එම නිසා අප කල යුත්තේ පාර්ලිමේන්තුවට හා ජනතාවට වගකියන මහ බැංකුවේ සහ මහා භාණ්ඩාගාරයේ ද සහභාගීත්වය සහිත අනාගත ණය කළමනාකරණ ජාතික මධ්‍යස්ථානයක් පිහිටුවීමේ අවශ්‍යතාවය මතු කිරීම ය.

6. තිරසර සංවර්ධනයට යන මාවත විවෟත වන්නේ සහ යථාර්ථයක් වන්නේ, මේ වන විට පවතින හා අනාගතයේදී ඇති විය හැකි ආර්ථික අවපාතය නිසා දුකට පත්වන හා කැප කරන විවිධ සමාජ ස්ථරයන්ට අදාළ ජනතාවගේ දුක හා කැපකිරීම් සමානාත්මතා පදනමකින් කළමනාකරණය කිරීම ඇරඹීම තුළ ය.

7. එසේ නොමැතිව ජනතාවගෙ මුලික අවශ්‍යතා මෙන්ම වර්ධිත අවශ්‍යතා (growing needs) එකවර සාම්‍යකට ගෙන ඒමට නොහැකි වනු ඇත. එම නිසා අප ජනාධිපතිවරයාට ආරාධනා කල යුත්තේ තමන්ගේ තිරසර සංවර්ධන මාවත අනාගත ණය ගෙවීමේ ස්ථායීකරන වැඩපිලිවල සමග සමාන්තරව එලිදක්වන ලෙසටය.

8. ජනාධිපතිවරයා මේ වන විට ලබා ඇති ජාත්‍යන්තර සහයෝගය පිලිබඳව අප සතුටු වන අතරේම එම සහයෝගය සම මිතුරු ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් වෙතටත් සම මිතුරු ජාත්‍යන්තර ආයෝජන පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් දක්වාත් ගමන් කල යුතුව තිබේ. නමුත් තවමත් එවැන්නක් ජනාධිපතිවරයා විසින් ප්‍රකට කර නැත( විශේෂයෙන් ආයෝජනයන්ට අදාළව)

9. අප අවස්ථාවාදී දේශපාලනය පිලිකෙව් කළ යුතුය. එහිලා ලංකික දේශපාලන පන්තිය අරබුදය හමුවේ යථාර්ථවාදී බල දේශපාලන ප්‍රවිශ්ඨයකට අවතීර්ණ වීමේ අවශ්‍යතාවය අවධාරණය කළ යුතුය.

10. ජනකාන්ත දේශපාලනයට පාලකයන් ප්‍රවිශ්ඨවීම තුල මෙතාක් රටට අත්කර දුන් ජාතික ව්‍යසනයේ පරිමාව සිහිපත් කරන අතරම, ජනකාන්ත දේශපාලනය හේතුවෙන් විපක්ෂය විසින් රටට අත්කර දී ඇති අතාර්කික විරෝධතා මඟින් රටට අත්වු සෙතක් නැති බවත් එලෙසටම අවධාරනය කරන අතරෙම, රතිඤ්ඤා පත්තු කරමින් වර්ථමාන ජනාධිපතිවරයා ජනකාන්තවාදයට ඇද දැමීමට දරණ උත්සාහය පරාජය කළ යුතුය.

11. රට ස්ථාපිත කල හැක්කේ ආර්ථික විසඳුම් රට තුළ ක්‍රියාත්මක කිරීමෙන් පමණක් නොවේ. රට මේවන විට මුහුන දෙමින් පවතින ණය බර, දූෂණය, රාජ්‍ය පාලනය තුළ පවතින නොහැකියාව, දේශපාලනික හා සමාජීය අස්ථාවරත්වය සඳහා වන සමස්ත ප්‍රතිසංස්කරණ හා ප්‍රති සංවර්ධනාත්මක ප්‍රවිශ්ඨයකට අවතීර්ණ වීම තුළිනි.

12. විප්ලවයකට මඟ පාදන්නේ එවැනි ප්‍රවිශ්ඨයකින් මිස ණය ස්ථායීකරන වැඩපිළිවෙලක් සාර්ථකව ක්‍රියාත්මක කිරීමෙන් පමණක් නොවේ.

13. ජනාධිපතිවරයා දැනටමත් ආරම්බ කොට ඇති ණය ප්‍රතිව්‍යූහගත කරන වැඩපිළිවල ආපසු කුමන කොන්දේසියක් නිසා හෝ ආපසු හැරවීමට ඉඩ ලබා නොදිය යුතු නමුත් ඔහු ආරම්භ කොට ඇත්තේ පුලුල් ප්‍රති සංවර්ධන ක්‍රියාවලියක එක් කොටසක් පමණක් වන්නේය. එම නිසා සමස්ථය එළිදක්වා නොමැති කළ විප්ලවයක් ගැන හෝ අවසන් කිරීමක් පිළිබඳව අධිශ්ඨානයක අවශ්‍යතාවය මතු වන්නේ නැත. උදා ලෙස ගත් කළ ජනාධිපතිවරයා පාරලිමේන්තුව තුළ ඉදිරිපත් කළ සියලුම ප්‍රතිපත්තිමය කරුණු දැක්වීම් තුළ ඉදිරිපත් වී ඇත්තේ බඩු ලයිස්තුවක් ( shopping list) පමණ කි. එවැනි බඩු ලයිස්තුවක හරය නොදැන අපට සහය ලබා දෙන්නයි කිසිවකුට ආයාචනය කළ නොහැකි අතර එය සදාචාරික ද නොවේ.

14. දැවැන්ත සමාජ පරිවර්තනයක් රටට අවැසිය. එය දකුණට බර පරිවර්තනයක්ද වමට බර පරිවර්තනයක්ද යන්නද අදාළ නැත. අවශ්‍ය වන්නේ මුහුණ දෙන ගැටලු නිසි න්‍යායක් මගින් විශ්ලේෂනය කොට ගැටලු සඳහා ප්‍රායෝගික විකල්ප හා ක්‍රියාන්විතයන් හඳුන්වාදීමයි.

15. අප විශ්වාස කරන අන්දමට රජයේ ආදායම හා අපනයන ආදායම වැඩි කර ගැනීමට නම් අපගේ චින්තනයේ ද අපගේ ආයතනික ව්‍යුහයන්ගේ ද එමගින් සපයන සානුබල පරිසරයද රැඩිකල් වෙනසකට ලක් කල යුතුව තිබේ.

16. ගෝලීයකරණ ක්‍රියාවලිය තුළ ප්‍රධාන ආර්ථික සාධකවයන් හි ස්වරුපය වෙනස්වී ඇති අතර එම සාධකයන්ට තාක්ෂණය තොරතුරු හා AI එකතුවි තිබේ. එම නිසා සියරට දේ සිරිසැප දේ වැනි ආකල්ප මෙන්ම අපගේ සම්ප්‍රදායික චින්තනය තුළ පවතින අපනයන ආදායම වැඩි කරගැනීමට යෝජනා කරන ක්‍රමවේදයන් පැරණි සංකල්ප වන්නේ ය. එම නිසා අප සිතන පතන ආකාරය අත්හැර දැමීමට කාලය පැමිණ තිබේ.

17. නුතන ආර්ථික රාජ්‍යයක් කරා යන ගමනක පොදු යහපත හා පොදු සුභසාධයට ඇති අවධාරණය බිඳකදු අඩු කිරීමට නොහැකි වන්නේය. නමුත් අප සිතන සුබ සාධනය ඉදිරිපත් වන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලෝකයට හඳුන්වාදුන් අප විසින් අනාගත් කීනිසියානු සුභසාධන රාජ්‍ය සංකල්පය තුළ නොවේ.

18. අප කියනා සුබ සාධනය පැමිණෙන්නේ වත්කම් උපයන සමාජයක සියලු ආකාර බලරහිත පුරවැසියන් වත්කම් උපයීම මත අය කෙරෙන බදු ආදායමෙන් පසුව සමාජය රැක බලා ගැනීමේ විධි ක්‍රමයක් ලෙසටය.

19. රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුගත කළ යුතුය. රාජ්‍ය ව්‍යාපාර නොකරන්නේ නම් හොඳය. නමුත් ඇතැම් පොදු යහපත (public goods) පාරිභෝගී කරණය කළ නොහැකිය. එම නිසා උදා ජලය ආශ්‍රීත පොදු යහපත ජනනය කරන ව්‍යාපාර පුද්ගලික කරණය කරන්නට ඉල්ලා නොසිටින්නේ නම් මැනවි.

20. රාජ්‍ය ධනවාදය පැරණි කඩමාල්ලක් ලෙස ඉවත දැමීමට සුදානම් වුවද සීමිත රාජ්‍යයක් සතුව පවතින නියාමන බලය හා රාජ්‍ය විසින් පුරවැසියාගේ පොදු යහපත කලමනාකරණය කිරීමේ වගකීම අත්හැරීමට අප සුදානම් විය යුතු නැත.

21. රාජ්‍යය ප්‍රතිව්‍යුහ ගත කිරීම හුදු අදහසක් පමනක් නොවේ. ඒ සඳහා නිසි ආර්ථික දැක්මක්ද, සාමාජීය හා සංස්කෟතික දැක්මද පාරිසරික දැක්මක්ද ඒ සියල්ල කැටි කර ගොඩනගන ව්‍යවස්තාපිත දැක්මක්ද අවශ්‍යව තිබේ. ජනාධිපතිවරයා මෙතෙක් එවැනි දැක්මක් සමාජ ගත කොට නැත. ප්‍රධාන විපක්ෂයද එවැන්නක් සමාජගත කොට නැත. සමාජයට ද එවැනි අදහසක් නැත.

22. අනාගත දේශපාලන බල ව්‍යාපෟතිය මුඛ්‍ය පරමාර්ථය විය යුත්තේ ඉහත කරුනු සියල්ල එකට ගැබ් කරවන පරිපුර්ණ දේශපාලන දැක්මක් රටට ඉදිරිපත් කොට එය ක්‍රියාත්මක කිරීම සඳහා බලය ලබා ගැනීමයි.

23. අප ලිබරල්වාදය හා ප්‍රජාතන්ත්‍රවාදය අතර පවතින විරුද්ධාභාෂයන් පිලිබඳව සංවේදී විය යුතුව තිබේ. එසේම නව ලිබරල්වාදයේ තරම මෙන්ම සමාජවාදය තුළ පවතින දිග පළල පිළිබඳව ද මනා වැටහීමක් ඇති කරගත යුතුව තිබේ.

24. ඒ නිසාම අප කතා කරන්නේ ප්‍රායෝගිකවාදයක් පිළිබඳවය. එය අනාගතයේදී රටට හඳුන්වාදීමට සමත් බලවේගය රට ඉදිරියට ගෙන යනු ඇත. එසේ නොවන්නේ නම් අපගේ ඉරණම ඛේදජනකය.

 

 

Social Sharing
නවතම විශේෂාංග