ජනාධිපතිවරයා නමවෙනි පාර්ලිමේන්තුවට සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් මෙලෙස ප්‍රකාශ කළේය. “ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක සාර්ථකත්වය රඳා පවතින පදනම වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. 1978 සිට 19 වතාවක් සංශෝධනය වී ඇති අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ඇති අවිනිශ්චිතභාවය හා ව්‍යාකූලත්වය නිසා වර්තමානයේ ගැටලු රැසක් නිර්මාණය වී තිබෙනවා. ව්‍යවස්ථාවේ වෙනසක් සඳහා අපි ඉල්ලු ජනවරම ජනතාව අපට ලබා දී තිබෙන නිසා අපගේ පළමු කාර්යය ලෙස අප ජනතාවට පොරොන්දු වූ පරිදිම, 19 ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමට කටයුතු කරනවා. ඉන්පසු සියලු දෙනා සමඟ එක්ව රටට අවශ්‍ය සහ ගැළපෙන නව ව්‍යවස්ථාවක් ගෙන එනවා. මෙහිදී මේ රටේ සියලූම ජනතාව සම්බන්ධයෙන් ‘එක රටක් එක නීතියක්’ යන සංකල්පයට මූලිකත්වයක් දෙනවා…” මෙම ප්‍රකාශයට අනුව සහ ඊට පසුව කතා කළ ආණ්ඩුවේ ඉහළ දේශපාලකයින් ප්‍රකාශ කළ කරුණු වලට අනුව පෙනීයන්නේ 19 වැනි ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම ඉරා විසිකර දැමීම සඳහා ආණ්ඩුව සූදානම් බවය. මෙහිදී මතුවන ප්‍රධාන ප්රශ්නය වන්නේ, ඉතිහාසයේ ප්රජාතාන්ත්රීයම ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යෝජනා සේ ගිනිය හැකිම මෙම ව්‍යවස්ථා සංශෝදනය 2/3 කක ජනවරමක් ලැබුණු පමණින් අවසන් කළ හැකිද යන්න යි. කලබලයේ කඩිමුඩියේ කඩාකප්පල්කාරීන්ගේ දියාරු සංශෝධන සහිතව සම්මත වූ මෙම ව්‍යවස්ථාව තුළ අඩුපාඩු රැසක් පවතින බව අප සැවොම පිළිගත යුතුය. එම අඩුපාඩු පිළිබඳව තක්සේරුවකට පැමිණෙමින් එම අඩුපාඩු නිවැරදි කරගෙන මේ මාර්ගයේ ඉදිරියට යෑම කළ යුතු කාර්යය වනවිට එය මගහැර අඩුපාඩු උලුප්පමින් එය ඉරා විසිකර නැවත අතීතයට යෑම, 2/3ක ජනවරමින් ඔලුව ඉදිමවා ගැනීම හැර අන් යමක් නොවන බව කිවයුතුය.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබුණ ප්‍රධාන ගැටලුව ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව ලෙස බලකේන්ද්‍රයන් දෙකක් නිර්මානය වීමයි. ජනාධිපති ක්‍රමයකින් පාර්ලිමේන්තු ක්‍රමයකට ගමන් කිරීමේ මූලික පියවරක් වූ එම සංශෝධනය තුළ එවැනි ව්‍යාකූලතා සහ නොපැහැදිලිතා තිබුණි. ඒවා හඳුනාගෙන එම වගන්ති සංශෝධනය කිරීම කලයුතු කාර්යයක් විය. එහෙත් එයින් 19 වැනි ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතුයැයි කිසිඳු පුරවැසියෙකුගේ අදහස නොවීය.
ආණ්ඩුවේ ප්රබලයින්ගෙන් එන නොයේකුත් තොරතුරුවලින් කියවෙන්නේ කොමිසන් සභා සම්පූර්ණයෙන් අහෝසි කිරීම සඳහා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් තෝරාගැනීමේ ප්‍රථිශත අගය වන 5%ක සීමාව නැවත 12%ක සීමාවට එසවීම වැනි දේවල් පිළිබඳවද සලකා බලමින් ඇති බවය. ඒ සුළු පක්ෂ නියෝජනය අහෝසි කර දැමීම සඳහා වන්නට පුලුවන් ය. අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ යම් යම් ප්‍රකාශවලින්ද එය හැඟේ. ජනාධිපතිවරයාගේ ධුර කාලය සහ ජනාධිපතිවරයෙක්ට කොපමණ වාරයක් ජනාධිපතිවරයා ලෙස මහජන ඡන්දයෙන් පත්වන්නට පුලුවන්ද යන කරුණු වෙනස් නොවෙනු ඇති බවද, එහෙත් ද්විත්ව පුරවැසියන් වෙනුවෙන් තිබෙන යම් යම් සීමාවන් ඉවත් කර දමනු ඇති බවද දැනගන්නට ඇත. මේ නව ව්‍යවස්ථාව ගැන ඇතුලතින් ඇසෙන කතාවලින් පොඩ්ඩක් ය. මීට වඩා බරපතළ කතා තවත් ඇතුවාට සැක නැත.
ජනාධිපතිවරයාගේ මේ දිනවල අදහස් දැක්වීම් මගින් සහ ඔහුගේ අමාත්‍ය මණ්ඩලය, රාජ්‍ය අමාත්‍ය ධුරයන්වල විෂය පථයන්, ඔහු පත් කළ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ධුරයන්, වැනි කරුණු වලින් පෙනෙන්නේ බලසම්පන්න විධායක ජනාධිපතිවරයෙක් ලෙස සිය ධුරය පවත්වාගෙන යෑමට ඔහුට ඇති උවමනාවයි. අභිලාසයයි. ඒ අනුව 19 වැනි සංශෝධනය ඉරා විසිකර, ගෙන එන්නට නියමිත අලුත් ව්‍යවස්ථාව තුළ නැවත වතාවක් ජේආර් ජයවර්ධන පන්නයේ හෝ ඊටත් එහාට ගිය බලතල සහිත විධායකයක් නිර්මානය කෙරෙනු ඇත!. එය ජාතික ආරක්ෂාවේ නාමයෙන් සිදුවන්නට නියමිතය. සකල ගැටලුවලට එකම විසඳුම යන නාමයෙන් සිදුවන්නට නියමිතය.
පසුගිය දා පාර්ලිමේන්තුවේදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සී වී විග්නේෂ්වරන් ගේ එම ප්‍රකාශය, එන්නට නියමිත පෙරහැරේ කස හඬ බව කිව යුතුය. ජාතිවාදීන් බෙදුම්වාදීන් සිටින පාර්ලිමේන්තුවකට බලය දෙනවාට වඩා තනි පුද්ගලයෙක් අත බලය සංකේන්ද්‍රනය කිරීම වඩා නුවනැති බව, මෙවැනි ප්‍රකාශ අල්ලාගෙන විමල් වීරවංශ වැනි මත නිශ්පාදකයෝ කෑගසනු ඇත. එම හඬ නව ඒකාධිපති ව්‍යවස්ථාවකට සුජාතභාවය ලබාදෙනු ඇත. 1977න් පසු ඉතිහාසය පිළිබඳව අප නැත සිතිය යුතුය. උතුරු දකුණු යුද්ධය පිළිබඳව මෙන්ම 88/89 භීෂණය පිළිබඳවද අප නැවත කල්පනා කළ යුතුය. ඒ අනුව සිතා බලා බලසම්පන්න විධායක ජනාධිපතිවරයෙක් සමග නාමමාත්රික පාර්ලිමේන්තුවක් පවත්වාගෙන යනවාද නැතිනම් වඩා දියුණු ප්රජාතාන්ත්රීය මානව අයිතීන් සුරක්ෂිත, පාර්ලිමේන්තු ක්රමයේ නව ව්‍යවස්ථාවකට යනවාද යන්න සිතා බැලිය යුතුය. ලංකාවට උරුම දැවෙන ප්‍රශ්නවලට එකම විසඳුම 19 වැනි ව්‍යවස්ථාව ඉරා විසිකර නැවත ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා පසුකර යෑමට උත්සාහ කිරීමද? සිතා බැලිය යුතුය.
- කේ. සංජීව