විදුලිබල සේවක දඩයම නතර කරනු!- ලංකා විදුලි පොදු සේවක සංගමය

වෘත්තිය සමිති ක්‍රියාධරයින් දඩයම් කිරීමට ගන්නා ක්‍රියා මාර්ග වහා නතර කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී වෙත ලංකා විදුලි පොදු සේවක සංගමය (LVPSS) දැනුම් දී තිබේ.

ඊනියා මුලික විමර්ශන කමිටුවක් යැයි පැවසෙන ඉංජිනේරුවන්ගෙන් පමණක් සමන්විත කණ්ඩායමක් විසින් සේවක දඩයමක් ආරම්භ කොට ඇති බවත් මෙය අප වෘත්තිය සංගමයට එරෙහිව ද්වේෂ සහගතව හා පළිගැනීමේ චේතනාවෙන් සිදුකරන අතර අනියම් ආකාරයෙන් වෘත්තිය සමිති වලින් ඉවත් වන ලෙස කෙරෙන අනිසි බලපෑමක් බවද එම ලිපියෙන් පෙන්වා දි ඇත.

වෘත්තිය සමිති ක්‍රියාධරයින් හා සාමාජිකයින් බිය ගැන්වීමට සහ පීඩනයට පත් කිරීමට ගන්නා සියලු ක්‍රියාමාර්ග 1999 අංක 56 දරණ කාර්මික ආරවුල් පනතේ ආසාධාරණ කම්කරු පිළිවෙත් යටතට ගැනෙන වරදක් බව ද අවධාරණය කර තිබේ.

ඒ නිසා ආයතනය තුල සිදු කෙරෙන සේවක දඩයම නතර කරන ලෙස ඉල්ලා සිටින බව ලංකා විදුලි පොදු සේවක සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුත් යොමු කළ මෙම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

-ශානිකා-

Social Sharing
නවතම