“මාධ්‍ය කුමක් කීවත්, MCC ගෙන එන්නේ නෑ” – රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්

ජනමාධ්‍ය තුළ කෙසේ ප්‍රචාරය වුවත් MCC ගිවිසුම හෝ රටට අහිතකර  ගිවිසුමක් කිසිදු අයුරකින් ගෙන නොඑන බව මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ පසුගිය පාලන සමය තුළදී ද රටට අහිතකර කිසිදු ගිවිසුමක් අත්සන් නොකළ බව මල්වතු මහා විහාරයට පැමිණ එම පාර්ශ්වයේ මහානායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

එවැනි ගිවිසුමක් අත්සන් කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිසේත්ම මැදිහත් නොවන බව සහතික වශයෙන්ම කිව හැකි යැයි කී අමාත්‍යවරයා තවදුරටත් මෙසේ ප්‍රකාශ කළේය.

“ජනතාවට සහන ලබා දෙන බව කියමින් බොරු පොරොන්දු ලබා දෙන දේශපාලනයෙන් ඉවත්විය යුතුයි. එමෙන්ම ප්‍රතිපත්තිමය රාමුවක් තුළ රට සංවර්ධනය කළ හැකි දේශපාලනයක් ජනතාවට හඳුන්වා දිය යුතුයි. බොරු පොරොන්දු දේශපාලනයෙන් අද  ජනතාව ඉවත් වී ඇති බව අපට දැන් පැහැදිලිව දැකිය හැකියි.

ඉදිරියේ දී රටේ සංවර්ධනයට දායක විය හැකි, රටේ අභිවෘද්ධිය දැකිය හැකි ව්‍යවස්ථා සංශෝධනයක් සිදු වෙනවා.

ඉකුත් එක්සත් ජාතික පක්ෂ පාලනයට අවශ්‍ය වූයේ  කොළඹ හතට  සුදුසු ආකාරයට ඇමතිධුර පත් කිරීමටයි. නමුත් දිළිදු ජනතාවට සහ මෙරට පීඩාවට පත්ව සිටින ජනතාවට උපකාර කිරීමටයි අපට අවශ්‍ය වී තිබෙන්නේ. සංචාරක කර්මාන්තයට, කොටස් වෙළඳපළට අමාත්‍යධුර ඉල්ලන ඔවුන් ගම්මිරිස් ගොවියා වෙනුවෙන් අමාත්‍යධුර වෙන්  කරන්නේ නැහැ.

ශ්‍රී ලංකාවට ආවේණික මෙන්ම මෙරට ජනතාවට අවශ්‍ය කර්මාන්තයක් වශයෙන් මැටි කර්මාන්තය හැඳින්විය හැකිය. බතික් ලෝකයම පිළිගන්නා කර්මාන්තයක්. එම කර්මාන්ත ජනතාවගේ ජීවිතය සමඟ බැඳුණු නිෂ්පාදනයන්.”

නමුත් එය විවේචනය කරන අයට රටේ ජනතාව පිළිබද කිසිදු කැක්කුමක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නදීක දයා බණ්ඩාර –  මහනුවර

Social Sharing
නවතම