නව කැබිනෙට්ටුවෙන් හිටපු මන්ත්‍රීවරුන් රැසක් හැලේ….

මෙවර නව රජයේ ඇමතිවරු දිව්රුම් දීමේදී හිටපු අමාත්‍යවරුන් රැසක් හැලී ගොස් තිබේ.

විජේදාස රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේම ජයන්ත, රංජිත් සියඹලාපිටිය, මහින්ද යාපා අබේවර්ධන, එස්.බී දිසානායක, ජයරත්න හේරත්, චන්දීම වීරක්කොඩි, ජෝන් සෙනෙවිරත්න,  මහින්ද සමරසිංහ, රෝහණ දිසානායක, සාරතී දුෂ්මන්ත, ඩිලාන් පෙරේරා, මහාචාර්ය තිස්ස විතාරණ යන අය ඒ අතර වේ.

නව රජයේ ඇමතිවරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මහනුවර දළදා මාලිගාවේ ඓතිහාසික මඟුල් මඩුවේදී අද (12) පෙරවරුවේ දිව්රුම් දුන්නේ රටටත්, මහජනතාවටත් සේවය කිරීමට කැපවන බවට ප්‍රතිඥා දෙමිනි.

මෙහිදී පළමුවෙන්ම දිස්ත්‍රික් සම්බන්ධිකරණ නිලධාරීන් පත් කෙරුණි. මෙය අලුත් තනතුරකි. පෙර ආණ්ඩු වල මෙලෙස තනතුරක් තිබුණේ නැත. මෙහිදී 19 දෙනෙකුට දිස්ත්‍රික් සම්බන්ධීකාර තනතුර හිමි වූ අතර ඉන් 17 ක්ම 2020 මැතිවරණයෙන් තේරී පත් වු නවකයින්ය. හිටපු අමාත්‍ය එස්.බී දිසානායක හා හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පමණක් පාර්ලිමේන්තුවේ සිටි දෙදෙනෙකි.

ඉන්පසු රාජ්‍ය අමාත්‍යාංශ 28 ක් සඳහා රාජ්‍ය අමාත්‍යවරු පත් කිරීම සිදු කෙරුණි. මේ රාජ්‍ය අමාත්‍යධුර ලබා දීමේදී සුර්යබල හා සුළං ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යධුරයක්, බතික්, අත් යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන අමාත්‍යධුරයක්, සමුපකාරසේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂක රාජ්‍ය අමාත්‍යධුරයක් ආදී පෙර නොතිබුණු විෂයන් කඩා වෙන් කර ලබා දී ඇති බව දක්නට ඇත.

කැබිනට් අමාත්‍යධුර 25 ක් ලබා දී ඇති අතර ඒ සියලු දෙනාම දේශපාලන පිටියේ පළපුරුදු පුද්ගලයින් වීමත් පෙර දැරූ ඇමතිධූර කිහිප දෙනෙකුට මෙවර හිමිවීමද විශේෂත්වයකි. එමෙන්ම නාමල් රාජපක්ෂ වැනි තරුණ මන්ත්‍රීවරුන්ට තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය වැනි අර්බුදයට ලක්ව ඇති අමාත්‍යාංශ භාර දීමත් මෙහිදි කැපී පෙනෙන සිද්ධියකි.

අමාත්‍යධුරයක් බලාපොරොත්තුවෙන් සිටියද පිල්ලෙයාන්ටද කිසිදු ධුරයක් හිමි නොවී තිබුණි.

-ශානිකා-

Social Sharing
නවතම