රැකියා කප්පාදුවෙන් බැට කන ඇඟලුම් කම්කරුවන්

ප්‍රධාන ඇඟලුම් කම්හල් ජාලයක් වන ස්මාර්ට් ෂර්ට් ලංකා ලිමිටඩ් සමාගමට අයත් කම්හල් පහක පන්සීයකට අධික කම්කරුවෝ, තම රැකියා අහිමිවීමේත් වැටුප් කප්පාදුවේත් තර්ජනය හමුවේ නොසන්සුන්තාවයට පත්වෙමින්, බදාදා දින කටුනායක නිදහස් වෙලඳකලාපයේ පිවිසීම් දොරටුව අසලට රැස්වූහ. තම රැකියාවන්හී සුරක්ෂිතභාවය විමසීමට සාකච්ඡාවක් ලබාදෙන ලෙස කම්කරුවන් පාලකයන්ගෙන් ඉල්ලා සිටි අතර, අවසානයේදී  ඔවුන් අතරින් නියෝජිතයින් පස්දෙනෙකු පමණක් සාකච්ඡාවට කැඳවුනි. එහිදී පරිපාලනය විසින් දැනුම් දී ඇත්තේ ඇනවුම් නොමැති නිසා යලි වැඩ පටන් ගන්නා තෙක් මූලික වැටුපෙන් අඩක් පමණක් ගෙවීමට තීරණය කර ඇති බවයි. බොහෝ කම්කරුවන්ගේ මූලික වැටුප රුපියල් 18,000 ක් වන බැවින්, ඉන් අඩකින් තමන්ට ජීවත් විය නොහැකිබව නියෝජිතයන් පවසා ඇත.

ණය සහ ගෙවල් කුලී සඳහා සුවිසල් මුදලක් වැයවන බැවින් අවම තරමින් තමන්ගේ මූලික මාසික වැටුපවත් ලබා දෙන ලෙස තමා කල ඉල්ලීම පරිපාලනය විසින් ප්‍රතික්ෂේප කල බව රැස්ව සිටි කම්කරුවන්ට නියෝජිතයෝ දැනුම් දුන්හ. මෙවැනිම ප්‍රශ්න වලට මුහුණ දෙන, අනෙකුත් කම්හල්වල කම්කරුවන් ද ස්මාර්ට් ෂර්ට් කම්කරුවන් සමග එක්වෙතැයි යන බියෙන්, මීගමුවේ කම්කරු කාර්යාලයේ නිලධාරියෙක් එම ස්ථානයට පැමිණ තමන් කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින බවක් ඇඟවීය. ඔහුගේ අරමුණ වූයේ කම්කරුවන් හැකි ඉක්මනින් විසුරුවා හැරීමයි. තමතමන්ගේ විස්තර සහිතව සියලු කම්කරුවන් විසින් අත්සන් කරන ලද ලිපියක් භාර දෙන ලෙස ඔහු තවදුරටත් පවසා ඇත. ඒ අනුව 800 කට ආසන්න සංඛ්‍යාවක් ලිපිය අත්සන් කර භාර දී ඇත. සියලු දෙනාටම ජුනි මස 12 වන දින මීගමුවේ කම්කරු කාර්යාලයට පැමිනෙන ලෙස ඔහු පවසා ඇත.

චීනය, හොංකොං, කාම්බෝජියාව, වියට්නාමය, ඉතියෝපියාව යනාදි රටවල කම්හල් පවත්වාගෙන යන ස්මාට් ෂර්ට් සමාගම 1978 කටුනායක කලාපයේ නිෂ්පාදනය ආරම්භ කර ඇති අතර මේවන විට එයට අයත් කම්හල් 8 ක්, හුන්නස්ගිරිය, කොටදෙණියාව, ආරගම, කටාන, කටුණායක (කම්හල් 3ක්) යනාදි ප්‍රදේශවල  ඇත. කටුනායක කලාපයේ පිහිටි අංක 1 දරන විශාලතම කම්හලේ කම්කරුවෝ 3,500 ක් ද සමස්ත කම්හල් ජාලයේ 10,000 ක් ද සේවයේ යෙදී සිටියහ. ස්මාට්ෂර්ට් කම්කරුවන් මුහුණ දී ඇති රැකියා අහිමිවීමේ සහ වැටුප් කප්පාදුවේ තර්ජනය වනාහි, කොරෝනා වසංගතය මගින් තීව්‍ර කෙරී ආර්ථික අර්බූධයේ බර, රාජපක්ෂ ආන්ඩුව සහ හාම්පුතුන් විසින් කම්කරුවන් මතට පැටවීමට දරන වෑයමේ ප්‍රතිඵලයකි.

ස්මාට් ෂර්ට් සමාගමේ රැකියා කප්පාදුව, ලංකාවේත් ලොව පුරාත්  පෞද්ගලික ආයතන මෙන්ම රාජ්‍ය ආයතන වල සිදු කෙරෙමින් පවතින මහා රැකියා කප්පාදුවේ කොටසකි. කම්කරුවෝ 1,200 ක් පමන සේවය කල යක්කල එස්ක්වෙල් එවර්බෙස්ට් ඇඟලුම් කම්හල, මැයි මස අග කම්කරුවන් තුනෙන් එකකට වැඩි ප්‍රමාණයක් සොච්චම් වන්දියක් ලබා දී දොට්ට දමා ඇත. හම්බන්තොට කේන් ඇපරල් සමාගමේ 400 ක් වන සමස්ත කම්කරු බලකාය රැකියා වලින් නෙරපා ඇත්තේ වන්දියක් හෝ ලබා නොදෙමිනි. රජය සතු ශ්‍රී ලංකන් එයාලයින් සමාගම මැයි මස මුල සිට මිනිස් බල කම්කරුවන් 200 ක්ද පසුව තවත් සේවකයින් 400 ක්ද ඉවත් කර ඇත. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ද තම 842 වන සේවකයින්ගේ මැයි මස වැටුප අඩකින් කපා දැමීමට සැලසුම් කල අතර සේවකයින් 934 සහිත ජාතික රූපවාහිනි සංස්ථාව මැයි සහ ජුනි මස වැටුප් ගෙවීමේ අර්බුදයකට ගොදුරු විය.

Social Sharing
නවතම විශේෂාංග