ටැට්ලින් ටවර් සහ විවෘත ආණ්ඩුව


-කරු පරණවිතාන-

මේ සිතුවමින් දැක්වෙන්නේ මීට අවුරුදු 100කට පමණ පෙර රුසියාවේ පීටර්ස්බර්ග් නුවර ඉදිකිරීමට යෝජිත වූ එක්තරා සුවිශේෂි ගොඩනැගිල්ලක ආකෘතියයි.

” ටැට්ලින් ටවර්”(Tatlin Tower)නමින් හැඳින්වෙන මෙය නූතනවාදී කලා ඉතිහාසයේ එක් වැදගත් මොහොතක් සනිටුහන් කළ කෘතියකි. මේ කෘතියේ එක් තේමාවක් වර්තමානයටද අදාලය.

1917 ඔක්තෝම්බර් විප්ලවයෙන් බලයට පත් වූ බොල්ෂෙවික් කොමියුනිස්ට් ආණ්ඩුව විසින් 1919 දී ලෝකයේ කොමියුනිස්ට් පක්ෂ එකතු කරමින් 3 වන ජාත්‍යන්තර⁣ය ගොඩනැගීමට කටයුතු කරන ලදී. එය “කොමින්ටනය” නමි විය. කොමින්ටනය සඳහා මූලස්ථාන ගොඩ නැගිල්ලක් අවශ්‍ය වූයෙන් ඒ සඳහා සැලැස්මක්/ ආකෘතියක් සකස්කර දෙන ලෙස බොල්ෂෙව්ක් නායකයෝ එවකට රුසියාවේ සිටි කීර්තිමත් නූතනවාදී කලාකරුවකු සහ නිර්මාණ ශිල්පයකු වූ ව්ලැඩ්මීර් ටැට්ලින් ට (Vladmir Tatlin) ඇරයුම් කළහ.

ටැට්ලින්ගේ සැලසුම මේ සිතුවමෙහි සඳහන් පරිදි දෘශ්‍යමාන විය. එහි අදහස විමසා බැලීම වැදගත් ය.

එහි ඇත්තේ පිරමීඩය හා සිලින්ඩරය මුසුකරගත් ජ්‍යාමිතික හැඩයකි. එසේම ආකෘතියේ බඳවටා දුවන දුන්නකි (spiral). මේ ආකෘතිය ප්‍රංශයේ පැරිස් නගරයේ ඒ වන වටත් ඉදිවී තිබුන අයිෆල් කුළුනේ ආකෘතිය ආසන්න වශයෙන් සිහිපත් කරන්නකි. එහෙත් ඉදිකරන ව්ට අයිෆල් කුළුනටත් වඩා මීටර් 50 ක් වැඩි උසකින් මෙය නිර්මාණය කිරීමට යෝජිත විය. මේ රාමුව ඇතුලේ තට්ටුු තුනකින් යුතු සෑම තට්ටුවක්ම එකිනෙකට වෙනස් වේගයකින් කැරකැවෙන ගොඩනැගිල්ලක් ඉදිකිරීම යෝජනා විය. එහි පහල මාලය වටයක් කැර කැවීමට වසරක් ගතවන අතර එහි ස්ථානගත කිරීමට යෝජනා වූයේ කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ ව්‍යවස්ථාදායකය හා හා අනෙකුත් සම්මන්ත්‍රණ සභා ශාලාවන්ය. මැද මාලය වටයක් කැරකැවීමට මාසයක කාලයක් ගන්නා අතර එහි ස්ථාන ගත කිරීමට යෝජනා වූයේ ජාත්‍යන්තරයේ විධායක පරිපාලන යන්ත්‍රණයයි. තෙවැනි ඉහල මාලය වටයක් කැරකැවීමට එක් දිනක් ගත වන අතර එහි ස්ථාන ගත වීමට යෝජනා වූවේ සිව්වෙනි ආණ්ඩුව හෙවත් ජනමාධ්‍යයි.

කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ සමස්ථ රාජ්‍ය යන්ත්‍රණයම මහජනයාට විනිවිද පෙ⁣නෙන ආකාරයට තැබිය යුතු බව ව්ලැඩ්මීර් ටැට්ලින් නම් කලාකරුවා තම නිර්මාණයට එකතු කළ අර්ථභාරයයි.

එසේම එය අත්‍යන්තයෙන්ම නූතනවාදී විය. හැඩ රුව ජ්‍යාමිතිකය. ගොඩනැගිල්ලේ භ්‍රමණයෙන් සංකේතවත් වූයේ කාලයත් සමග ඉදිරියට යාමය. එසේම ලෝකයේ විප්ලවයේ කේන්ද්‍රස්ථානය ප්‍රංශයෙන් රුසියාව කරා මාරුවීමද මෙමගින් සංකේතවත් විය. මේ යෝිජිත සැලැස්ම සමකාලීන කලාකරුවන්ගේ හා විචාරකයන් ගේ සම්භාවනාවට පාත්‍රවිය. ඒ වනතුරු රුසියානු ස්මාරක ගොඩනැගිලි සඳහා යොදා ගත්තේ මධ්‍යතන යුගයේ මෙන්ම විප්ලව යුගයේද රුවුල වවාගත් රජවරුන්ගේ සහ දාර්ශනිකයන්ගේ සහ විප්ලවවාදීන්ගේ රූපකායයන් කේන්ද්‍රකරගත් තේමාවන්ය.. පළමු වරට රුසියාවේ රුවුල්කාරයන් නැති ස්මාරකයක් බිහිවන්නේ යැයි කියමින් ‘මායාකොවුස්කි’ සුප්‍රකට රුසියන් කවියා ටැට්ලින්ගේ නිර්මාණය ඉහලින් අගය කළේය.

එහෙත් ටැට්ලින් කුළුන ඉදිකිරීමට බොල්ෂෙව්ක් ආණ්ඩුවේ අනුමැතිය හිමි වූයේ නැත. හේතුව ලෙස ප්‍රසිද්ධියේ පැවසෙන්නේ ඒ සඳහා වැය වීමට නියමිතව තිබූ පිරිවැය ඒ වන විටත් සිවිල් යුද්ධයකට මුහුණ දීමට සිදුව තිබූ බොල්ෂෙව්ක් කොමියුනිස්ට් ආණ්ඩුව⁣ට දැරිය නොහැකි වීමය. මීට වෙනස් මතයකින් පැවසෙන්නේ රාජ්‍ය මහජනයාට විනිවිද පෙනෙන විවෘත අංගයක් ලෙස ගොඩ නැගිල්ලෙහි තේමාගත කර තිබීම කොමියුනිස්ට් නායකයන්ගේ අසතුටට හේතුවක්ව තිබීමය. කොමියුනිස්ට් රාජ්‍යයක් විවෘත ආණ්ඩුවක් ප්‍රවර්ධනය කිරීම සිතාගත නොහැකි කරුණක්ව තිබිණි.වසා තබාගත් ආණ්ඩුවේ සමහර රහස් එළියට ආවේ නායකයන්ගේ මරණ වලින් පසුය. ස්ටාලින්ගේ පාලන කාලයේ සිදුවූ අපරාධ කෘෂොෆ් 1956දී එළියට දැම්මේ ස්ටාලින් මියගොස් වසර තුනකට පසුවය.
කෙසේ වුවද ටැට්ලින් කුළුනට හිමි වූ කලාත්මක වට්නාකම එම කුළුන ඉදි නොවීම යන කරුන නිසා අහිමි වූයේ නැත. එය අදටත් ලෝකයේ වාස්තුවිද්‍යා හා ඉදිකිරීමිප්‍රදර්ශන වල සහ කෞතුකාගාරවල ඉහල ඇගයීමකට ලක්වන ප්‍රධාන ප්‍රදර්ශනීය කලා කෘතියකි.

විවෘත ආණ්ඩු ප්‍රවර්ධන අදහස ලෝකයේ ප්‍රචලිත වන්නට පටන් ගත්තේ තොරතුරු දැනගැනීමේ අයිතිය මානව හිමිකමක් ලෙස සංවර්ධනය වීමත් සමගය.ඒ අනුව ටැට්ලින් කුළුන හිමිකරගන්නා සාමාජික හා කලාත්මක වටිනාකම දිනෙන් දින වැඩි වේ.

(තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ දිනය සැමරීම වෙනුවෙන් පසුගිය 28 කොළඹදී පැවැති සම්මන්ත්‍රණයකදී මා කළ කතාවකට මෙම විස්තරය ඇතුළත් කළෙමි)

Social Sharing
නවතම විශේෂාංග