ලංකාව බංකොලොත් කළ අයට දඬුවම් දෙන්න ..!!

– නිශාන්ත ශ්‍රී වර්ණසිංහ –

මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාව ප්‍රධාන මාතෘකාවක් බවට පත්වී ඇත. පසුගිය කාලය පුරා සිදු වූවා මෙන්ම සැප්තැම්බර් 12 වැනිදා ආරම්භ වූ මානව හිමිකම් සන්දර්ශනය නිමාවන්නේ ශ්‍රී ලංකාව දඬුකඳේ ගැසීම සඳහා අලුත් යෝජනාවක් සම්මත කර ගැනීමෙන් බව පෙනී යයි. මේ වන විටත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මූලික කණ්ඩායම (Core group) ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙම යෝජනාව කවුන්සිලයට ඉදිරිපත් කර ඇත. ඒ අතර පසුගිය කාලයේ ශ්‍රී ලංකාව තුළ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනයන් ගැන කියන්නට අරගල ක්‍රියාකාරීන් හා විපක්ෂයේ මහජන නියෝජිතයින් ජිනීවා බලා ගොස් තිබිණි. ශ්‍රී ලංකා රජයෙන් සිදුවූ මානව හිමිකම් උල්ලංඝනයන් ගැන කියන්නට එම සැසිවාරයේ දී විනාඩි දෙකක් ගත හැකි අතර ඒ සඳහා වෙලාව වෙන් කර ගනු ලබන්නේ රාජ්‍ය නොවන සංවිධාන හරහාය.

මෙවැනි දුක්ගැනවිලි ඉදිරිපත් වූ සෑම විටම ශ්‍රී ලංකා රජයේ නියෝජිතයා සැමවිටම කියා සිටින්නේ ‍ ලංකාව ඇතුලෙම අභ්‍යන්තර විමර්ශනයක් කෝ පරීක්ෂණයක් කර ඊට අදාලව තිබෙන අධිකරණමය නීතිමය යාන්ත්‍රණය හරහා අවශ්‍ය අයට යුක්තිය ඉටුකරන බවයි. මානව හිමිකම් කවුන්සිලය ද ප්‍රතිපත්තියක් ලෙස දිගින් දිගටම අවධාරණය කරන්නේ පුරවැසියන්ගේ දුක් ගැනවිලි ගැන තම රට ඇතුලෙම පරීක්ෂණයක් කර වින්දිතයින්ට යුක්තිය ඉටු කරන ලෙස ය. ඒ සඳහා ශ්‍රී ලංකාව තුළ ව්‍යවස්ථාපිත ව පිහිටුවා ඇති ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ස්වාධීන කර වඩා ශක්තිමත් කරන ලෙස ද එහි වපසරිය පුළුල් කරන ලෙසද අධිකරණමය බලය ස්වාධීන කරන ලෙසද ඔවුන් යෝජනා කරයි. එය සාධනීය යහපත් යෝජනාවකි.

මෙවර කවුන්සිලයට ගොස් සිටින විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා සමුළුව අමතමිනි දිගින් දිගටම අවධාරණය කළේ ලංකාව ඇතුලත සිදුවන දේවල් ගැන අතපෙවීමට කවුන්සිලයට බැරි බවත් ඒ සඳහා ඔවුන්ට බලයක් නැති බවත් ය. ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාපිත ස්වෛරී බලය උදුරාගත නොහැකි බවත් අන්සතු කිරීම ද මෙම බලය තවකෙකුට පැවරීමට හෝ නොහැකි බවත් ශ්‍රී ලංකාවේ ස්වෛරිත්වය ට හානියක් බවත් දිගින් දිගටම ප්‍රකාශ කරයි. මෙහි ද තර්කයක් නැතුවා නොවේ රාජ්‍ය නියෝජිතයා සැමවිටම රාජ්‍යයේ ස්වෛරිත්වය හා ව්‍යවස්ථානුකූල රාමුව වෙනුවෙන් පෙනී සිටීම වරදක් නොවේ. එය ඔහුගේ වගකීමයි..

එහෙත් මෙය දිගින් දිගටම අසන්නට ලැබෙන පරණ කතාවක් මිස අලුත් දෙයක් නොවේ. යම් ජාත්‍යන්තර සංවිධානයක සාමාජිකයෙකු වූ පමණින් හෝ ජාත්‍යන්තර සම්මුතියකට බැඳුණු පමණින් එම රටේ ස්වෛරී බලය අත්හළ යුතු ද ? අන්සතු කළ යුතුද ? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාවේ බැඳීමක් තිබේද ? සහේතුක ව ම තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය එදා 1945 ආරම්භ කරන අවස්ථාවේ එහි මූලික අරමුණ වූයේ ලෝක සාමය ආරක්ෂා කර ගැනීමත් සාමාජික රටවල වැසියන් ගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමත්ය. එහි සාමාජිකත්වය ලබා ගන්නා රටක් ඉහත මූලික අරමුණු දෙක කෙරෙහි බැඳී සිටිය යුතු අතර එදා 1948 දෙසැම්බර් 10 වෙනිදා සංවිධානය විසින් පිළිගත් මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයට සංවිධානයේ සියලුම සාමාජික රටවල් බැඳී සිටින බවයි.

මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඒ රටවල පුරවැසියන්ගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, උල්ලංඝනය නොකිරීම, ප්‍රවර්ධනය කිරීම, යන වගකීම පැවරී ඇත්තේ එම රටවල ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත්වන ආණ්ඩුවලට ය. තම පුරවැසියන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ වගවීම එම රටවල් භාරගත යුතුය.

බාහිර අතපෙවීම් ප්‍රතික්ෂේප කරන්නේ නම් කළ යුත්තේ තම රටේ ස්වෛරිත්ව බලය ආරක්ෂා කර ගැනීමට හැකි ආකාරයට ඊට අදාළ ප්‍රමිතීන්ට ගැළපෙන ලෙස මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම ය. කෙසේ වෙතත් මානව හිමිකම් ක්ෂේත්‍රයේ සීමා මායිම් ද අප හඳුනාගත යුතුය. මක්නිසාද එය පවතින දේශපාලන – ආර්ථික සාමාජීය සන්දර්භයට සාපේක්ෂය. එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එහි අනුබද්ධ ආයතන ද පරම පිවිතුරු චේතනාවෙන්ම වැඩ නොකරන බව අප තේරුම් ගත යුතුය. ඔවුන්ගේ න්‍යාය පත්‍රයන් තුළ තිබෙන දේශපාලන උවමනාවන් හා ලැදියාවන් ද සැලසුම්සහගත සැඟවුණු දිගුකාලීන න්‍යාය පත්‍රයන් ද විචාර බුද්ධියෙන් හා සහේතුක දැක්මකින් විමසා බැලිය යුතුව ඇත. මානව අයිතිවාසිකම් පිළිබඳ ඌනිතවාදී ප්‍රවේශයකින් ම සමස්ත රටක චිත්‍රයට එළැඹිය නොහැක.

කෙසේ වෙතත් මෙවර මානව හිමිකම් සැසියෙදී විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ඇද දමා රට බංකොලොත් කළ පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ කරන ලද ප්‍රකාශ යයි. ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු වූ ඒ පිළිබඳව රට තුළ පක්ෂව සහ විපක්ෂව විවිධ අදහස් මත මේ වන විට ප්‍රකාශ කරමින් ඇත. එයට ප්‍රතිචාර දක්වමින් රජයේ නියෝජිත අලි සබ්රි ප්‍රකාශ කරන්නේ රටක අභ්‍යන්තර ආර්ථිකමය සම්බන්ධ කරුණු මානව හිමිකම් සම්බන්ධයෙන් ආවරණය නොවන බවත් එවැන්නක් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හිමිකමක් ලෙස පිළිනොගන්නා බවත් එබැවින් එවැන්නක් සම්බන්ධයෙන් හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට බලපෑම් නොකළ යුතු බවයි. ආර්ථික හා සාමාජීය අයිතිවාසිකම් මානව හිමිකම් ලෙස ශ්‍රී ලංකාව තම නීතියෙන් තවම පිළිගෙන නැත. එහෙත් ලෝකයේ ඇතැම් දියුණු යයි සම්මත රටවල් රටවල් වල සමාජ ආර්ථික අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් පිළිබඳ පරිච්ඡේද වලට ඇතුළත් කර ඇත. පිළිගෙන ඇත. එවැනි රටවලට ආර්ථිකමය අපරාධ පිළිබඳ කාරණය අදාළ වුවද ශ්‍රී ලංකාවට අදාල වන්නේ දැයි යන්න විවාදාපන්න ය. එවැන්නක් සම්බන්ධයෙන් කටයුතු කිරීමට අවශ්‍ය පිළිගත් ජාත්‍යන්තර යාන්ත්‍රණයක් තිබේ ද යන්න ද තවම අපැහැදිලිය.

ශ්‍රී ලංකාවට කර ඇති ආර්ථික විනාශය චේතාන්විතව ම සිදු කර ඇති බවත් එයට වගකිව යුතු පුද්ගලයන් නිශ්චිතවම සිටින බැවින් ඔවුන් නීතිය ඉදිරියට ගෙනැවිත් දඬුවම් කළ යුතු බව රටේ බහුතර ජනතාවගේ මතයයි. එය දේශීය යාන්ත්‍රණයක් තුළ කළ යුතු ද විදේශීය යාන්ත්‍රණයක් හරහා කළ යුතු ද යන්න පිළිබඳව තවමත් පැහැදිලි නැත. එහෙත් බොහෝ දෙනා කියන්නේ දේශීය යාන්ත්‍රණයක් පිළිබඳව සහ අපගේ අධිකරණ ක්‍රියාවලිය හා රාජ්‍ය යාන්ත්‍රණය පිළිබඳව විශ්වාසයක් නොමැති බවයි. මේ ආර්ථික බංකොලොත්භාවය නිසා අද රටේ ජනතාවගේ ආහාර සෞඛ්‍ය අධ්‍යාපනය කෘෂිකර්මාන්තය ධීවර කර්මාන්තය සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත රැකියා ඇතුළු ඇතුළු ලාංකික පුරවැසියන්ගේ සමස්ත ජන ජීවිතය අර්බුදයට හෙළා ඇති බවත් එයට වගකිවයුතු ආර්ථික ඝාතකයන් නීතිය හමුවට පමුණුවා දඩුවම් දිය යුතු බවත්ය. එහෙත් තවමත් අප රට තුළ නිවාස ආහාර සෞඛ්‍ය රැකියාව ආර්ථික හා සමාජීය අයිතිවාසිකම් තවමත් මූලික අයිතිවාසිකම් ලෙස පිළිගන්නේ නැත.

එවැනි පසුබිමක් තුළ පසුගිය කාලය පුරා ශ්‍රී ලංකාව තුළින් සොරාගත් ධනය සඟවා ඇති තැන්වලින් යලි රට තුලට ගෙන ඒමත් එම ධනය සොයා ගැනීම සඳහා විදේශ රටවල හෝ ජාත්‍යන්තර යාන්ත්‍රණයක සහාය ලබා ගැනීම පිළිබඳවද කතිකාවක් පවතී. රටේ පවතින මේ ආර්ථික බංකොලොත්භාවය තුළ පවා මහා පරිමාණ දූෂණ වංචා සිදුවෙමින් තිබෙන බවත් ඉහළ සිට පහළටම තාමත් දූෂණ යාන්ත්‍රණය හා වළල්ල ක්‍රියාත්මක වන බැවින් ජාත්‍යන්තර සංවිධානයක හෝ විදේශ රාජ්‍යයන්ගේ හෝ සහායෙන් මේ දූෂණයත් හොරකමක් පිටු දැකිය යුතු බවත් සොරකම් කළ මුදල් රට තුළට ගෙන්වා යුතු බවත් විදේශීය යාන්ත්‍රණයක් හරහා ඔවුන්ට දඬුවම් කළ යුතු බවටත් ප්‍රබල ජනමතයක් මේ වන විට රටතුල ගොඩ නැගෙමින් ඇත. රාජ්‍ය සහ පාලනය පිළිබඳ අවිශ්වාසයත් එහි අසමත් භාවයත් ඉන් පිළිබිඹු කරන එක පැතිකඩකි.

කෙසේ වෙතත් එහි හොඳ නරක දෙකම ඇත. එබැවින් දූරදර්ශීව අප කල්පනා කළ යුතු අතර අප වඩාත් බර තැබිය යුත්තේ ස්වෛරී දේශීය යාන්ත්‍රණයන් හරහා දූෂණයත් හොරකම පිටු දැක එයට වගකිවයුතු පුද්ගලයන්ට දඬුවම් කිරීමටත් සොරකම් කළ සඟවා ඇති ධනය රට තුළට ගැනීම සඳහා අවශ්‍ය නීති ප්‍රතිපාදන ශක්තිමත් කරමින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව දූෂණ විරෝධී යාන්ත්‍රණ සකසමින් දේශීය යාන්ත්‍රණයක් හරහා ක්‍රියාත්මක වෙමින් විදේශ රටවල් වල ඊට සහාය ලබා ගැනීම අවශ්‍ය නම් ඒ සඳහා ඇති ජාත්‍යන්තර ප්‍රඥප්ති හා සම්මුතීන්වලට ඇතුළත් වීම වඩා යහපත්ය . ප්‍රශස්තය.

අප රටක් ලෙස දූරදර්ශීව කල්පනා කරන්නේ නම් පවතින ගෝලීය හා කලාපීය භූ දේශපාලන සන්දර්භය තුළ ස්වෛරී ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ස්ථාවර ආර්ථික බලයක් සහිතව ගොඩනගා ගැනීමට නම් සමාජ ආර්ථික අයිතිවාසිකම් ද ඇතුළත් වන අකාරයට මානව හිමිකම් ක්ෂේත්‍රය පුළුල් කර ගත යුතුය. ඒ පිළිබඳ කතිකාව ඉදිරියට ගත යුතුය.

 

Social Sharing
නවතම විශේෂාංග