යුක්‍රේන අර්බුධයට මාස 06ක්

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර මාස 6 ක් ගත වී ඇත.

යුක්රේනය, ‘උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය’ හෙවත් ‘නේටෝ’ සංවිධානයට හිතවත්ව කටයුතු කිරීම සහ ‘නේටෝ’ සාමාජිකත්වය ඉල්ලා සිටීම රුසියාවේ විරෝධයට හේතුවක් විය. රුසියාව පසුගිය පෙබරවාරි 24 වැනිදා, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ ඒ අනුවය.

එදා රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කීවේ, යුක්රේනයට එරෙහිව විශේෂ හමුදා මෙහෙයුමක් ආරම්භ කරන බවය. ‘නේටෝ’ යනු ඇමෙරිකාව, කැනඩාව ඇතුළු බටහිර යුරෝපා රටවල් රුසියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමේ අරමුණින් පිහිටුවාගත් යුද සන්ධානයයි.

මේ වනවිට යුද ගැටුම් හේතුවෙන් යුක්රේන සොල්දාදුවන් 9,000 ක් මියගොස් ඇතැයි යුක්රේන හමුදාපති වැලේරී සලුසූනී නිකුත් කළ නිවේදනයක දැක්විණි. පසුගිය අප්‍රේල් මාසයේ දී, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී කියා සිටියේ යුද ගැටුම් හේතුවෙන් යුක්රේන සොල්දාදුවන් 3,000 ක් මියගිය බවත්, 10,000 ක් තුවාල ලබා සිටින බවත් ය.

කෙසේ නමුත්, යුක්රේන හමුදාව මෙන්ම ජනාධිපතිවරයා ද එරට හමුදාවට සිදුවන සැබෑ හානිය ලොවට හෙළි කර නැතැයි විදෙස් මාධ්‍ය පවසා තිබේ.

යුද ගැටුම්වලින් යුක්රේන සිවිල් වැසියන් 5,514 දෙනකු මියගොස් ඇති බවත් 7,698 දෙනකු තුවාල ලබා ඇති බවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. බි්‍රතාන්‍යයේ, ‘බීබීසී’ පුවත් සේවය සහ රුසියානු පුවත් සේවාවලට අනුව, යුද ගැටුම්වලින් මියගිය රුසියන් සොල්දාදුවන් ගණන 15,000 කි. තුවාල ලැබූ ගණන 45,000 කට වැඩිය.

රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගය ආරම්භ කර මාස 6 ක් ගත වුවත්, තවමත් ආරම්භයේදී මෙන් බටහිර රාජ්‍යයන් අඛණ්ඩව යුක්රේනයට සහාය ලබා දෙන බව ද විදෙස් මාධ්‍ය පවසයි. රුසියන් යුක්රේන අර්බුදය මුල්කොට ගනිමින් ලෝකය තෙල් අර්බුදයකටත් ආහාර අර්බුදයකටත් මුහුණ පා සිටී.

 

(රොයිටර්)

Social Sharing
නවතම විදෙස්