වවුලුව

 

– ඩිල්ෂානි චතුරිකා දාබරේ –

“වවුලුව” මට ගෙනත් දුන්නෙ තාත්තා. ඒ ඒලෙවල් කරන්න අරන් මුල් ම කාලේ, මට වවුලගෙයි කැවිඩිගෙයි ආදර කතාව දිගටම කියවන්න උපන් කුතුහලය හින්ද, පොත ම ළඟ තියාගැනීමේ වුවමනාව හින්දා. ඕලෙවල් සිංහල අච්චුපොතේ තිබුණු වවුලු හමුවයි, ඒලෙවල් සිංහල සාහිත්‍යයට තිබුණු පද්‍ය සංග්‍රහයෙන් ආයෙම ඒ කවි ටිකමයි නිර්දිෂ්ට වෙලා තිබුණු නිසා, ‘වවුලු හමුවේ’ කවි ටික කටපාඩම් වෙලා තිබ්බා, පාඩම් කරන්න කලින්. පස්සෙ කාලෙක ‘තම්මැන්නා සොහොන’ දක්වා වවුලුවේ ආසාව ගෙනියන්න බලපාන්නෙ, චින්තක සර්.

ඒකාලේ ‘විජය’ පත්තරේ පළවෙනවා, පාසල්වල සාහිත්‍ය පාඩම්වලට තියෙන කවි ගැන පිටු දෙක තුනක ප්‍රමාණයක විස්තරයක්, චිත්‍රයකුත් එක්ක. මං එක එක කතුවරුන්ගේ පින්තූර කපලා මගෙ ම ස්ක්‍රැප් පොතක අලවගෙන හිටියා ඕලෙවල් කාලෙ ඉඳන්. ඔය අතර රැයිපියෙල් තෙන්නකෝන් මහතාගේ පින්තූරයකුත්, සටහනකුත්, වවුලුවේ ‘වවුලු හමුව’ වෙනුවෙනුත් පිටුවක් වෙන් වෙලා තිබුණා. මං ඒක කපලා අර පොතේ අලවගත්තා. පස්සෙ කාලෙක, පත්තර රස්සාව කරන කාලේ ඒ ලිපි පළවුණු ‘විජය’ පත්‍තරේ වැඩකරන්නත් ලිපි ලියන්නත් කාර්‍ය මණ්ඩලය දැනහඳුනගන්නත් ලැබුණා, කිසිදාක වෙයි කියල හීනෙන්වත් හිතුවෙ නැති දේවල් සිද්ධ වෙන ජීවිත ප්‍රාතිහාර්යයක් විදියට. ඒ ස්ක්‍රැප් පොත අරන් ගිහින් ‘මල් මාමා’ට පෙන්වන්න ලැබුණා. ඒවා අතුරු රස කතා !

කොහොමහරි, ඉස්කෝලේ සිංහල සර්, වවුලුව පොතේ සමහර තැන් රසකරලා කියන්න ගත්තා උගන්නද්දි. මට මේ කවිය අමතක කරන්න ම බැරි වුණා.

“වන් පවනේ සුඹුලෙක් ඇස පාරයි
දැන් ? බිමැ වේද බලා සිටින්නේ
නෑ, ඔබ මූණයැ. මේ, පිඹැලූවොත්
මා හොට හුල් යැ.
එසේ වෙ ද ඒකත්?” (419 කවිය)

වවුලා කැවිඩියට කියනවා, ‘හුළඟින් ආව රොඩ්ඩක් ඇහැට ගියානෙ, ඔයාට බැරිද ඇහැට පිඹින්න ඒක අයින්වෙන්න?’ කියලා (කැවිඩියට සමීප වෙන්න එයින් අවස්ථාවක් ලැබෙන නිසා). කැවිඩි එතකොට කියනව, ‘පිඹින්න පුලුවන්, හැබැයි මගෙ හොට උල් ! ‘. ඇසට විය හැකි හානිය සලකා බලලා, කැවිඩියගේ ප්‍රේම විරෝධය ද සලකලා වවුලා කරඹාගන්නවා.

මේ කවියයි මාව වවුලුව පොත ම මිලදී ගන්න පෙළඹෙව්වෙ. ඉන්පස්සෙ, ඉස්කෝලේ සාහිත්‍ය සංගමයෙදි වවුලුව ගැන කතාවක් කරන්න දක්වා ඒ ආසාව බලපෑවා. කතාව කියන් යද්දි මේ කවියෙ පේළියක් අමතක වෙලා මයික් එක ඉස්සරහ තටමනකොට, සිංහල සර් ස්ටේජ් එකේ අනික් පැත්තෙ ඉඳන් ඒ පේළිය කිව්ව මට විතරක් ඇහෙන්න. එසැණින් මං ඒක කියලා කවිය සම්පූර්ණ කළා.

වවුලුව ගැන කළ කතාවට ගුරුවරු කිහිපදෙනෙක්ගෙන් ම ප්‍රතිචාර ලැබුණා. ටිකක් ආඩම්බර ඉංග්‍රීසි මිස් පාඩමට ආව වෙලාවෙ පන්තිය ඉස්සරහ කිව්වා, “මටත් පොත කියවන්න හිතුණා” කියලා. එදා මං දෙපිටින් ගිය සතුටකින් හිටියෙ.

අදටත් මං හිතනවා සිංහල සංගමෙන් ලැබුණු තල්ලුව මාව පැති කීපයකින් පියවර ගානක් ජීවිතේ ඉස්සරහට අරන් ගියා කියල. ඊට කරන ගරුකිරීමක් හැටියට, මේ සටහනට මුහුනුපොතේ අමුතු නමකින් ඉන්න, ඉස්කෝලෙ සිංහල සර්, මිල්ටන් සර්ව ටැග් කරන්න අවසර දෙන්න.

Social Sharing
අවකාශය නවතම