රජයේ යතුරු පැදි ආනයන තහනමින් ලක්ෂ 5 ක් අනාතයි!

යතුරු පැදි ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට රජය ගෙන ඇති තීරණය නිසා එම ක්ෂේත්‍රයෙන් සෘජු හා වක්‍ර ප්‍රතිලාභීන් ලක්ෂ පහකට  ආසන්න පිරිසක් දැඩි අසීරුතාවයට පත්ව ඇතැයි  මධ්‍යම හා උතුරු මැද පළාත් යතුරුපැදි අලෙවි නියෝජිතයන්ගෙන් සංසදය සඳහන් කරයි.

කොරෝනා වසංගතතය ආරම්භයත් සමගම ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීමෙන් තොරව ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ඇතැම් භාණ්ඩ ආනයනය කිරීම තහනම් කිරීමට රජය තීරණය කොට තිබිණි.  ඊට සමගාමීව නව යතුරු පැදි ආනයනය ද සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති නිසා එම ක්ෂේත්‍රයෙහි නිරතවන්නන් මාස තුනකට අධික කාලයක සිට දැඩි අසීරුතාවයට පත්ව ඇති බව එම සංසදයේ සභාපති නලින් පේමානන්ද මහතා 31 වන දා මහනුවර දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේය.

කොරෝනා වසංගතයක් සමග යතුරු පැදි ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති රජය එම තහනම මේ වන විට තවත් මාස හයක කාලයක් දීර්ඝ කිරීම තුළින් යතුරුපැදි අලෙවිය සම්පූර්ණයෙන්ම අඩාල වීම පමණක් නොව දැනට  යතුරුපැදි සඳහා අමතර කොටස් ගෙන්වීම ද සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇතැයි  එම සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කළේය.

දැනට අලෙවි නියෝජිතයන් සතුව ඇත්තේ සීමිත යතුරුපැදි ප්‍රමාණයක් බවත් මේ හේතුවෙන් යතුරු පැදි මිල ඉහළ යාම වැඩිවශයෙන් සිදුව ඇති බවද ඒ මහතා කීවේය. ස්කූටර් වර්ගයේ යතුරු පැදි මේ වන විට වෙළද පොලේ නොමැති බව ද ඔහු කීවේය.

එපමණක් නොව දැනට මෙරට ඇති භාවිතා කරන ලද යතුරු පැදි වල මිල සියයට 50 කින් පමණ ඉහළ ගොස් ඇති බව ද  සභාපති නලින් පේමානන්ද මහතා ප්‍රකාශ කළේය.

මාධ්‍ය හමුවට එක්ව අදහස් දැක්වූ මධ්‍යම හා උතුරු මැද පළාත් යතුරුපැදි අලෙවි නියෝජිතයන් ගේ සංසදයේ උප සභාපති දහම් උනන්තැන්න මහතා අදහස් දක්වමින් යතුරුපැදි ක්ෂේත්‍රයෙන් රජයට වාර්ෂිකව රුපියල් බිලියන 40 ක ආදායමක් හිමිවන බවත් මෙම ක්ෂේත්‍රය වාර්ෂිකව රුපියල් බිලියන 122 ක මුදල් සංසරණයක් සිදුකරන බවත් ප්‍රකාශ කළේය.

කොරෝනා වසංගතයට හසු වූ ඇතැම් ව්‍යාපාර වල අනාගතය සම්බන්ධයෙන් රිදී රේඛාවක් දැකිය හැකි නමුත් යතුරුපැදි ක්ෂේත්‍රයෙත් දැකිය හැක්කේ සම්පූර්ණයෙන්ම අඳුරු වළාවක් යැයි ඒ මහතා කීවේය. අද වන විට ප්‍රදර්ශනාගාර යතුරු පැදි රහිතවී ඇති බවත් ඉදිරි මාස දෙකේදී පමණ ප්‍රදර්ශනාගාර පවත්වා ගත නොහැකිව වැසි ගොස් සේවකයන්ගේ රැකියා සියල්ල අහිමිවන බව ඔහු කීවේය.

පවතින වසංගත තත්ත්වය යටතේ අඩු මිලකට ලබා ගත හැකිව තිබුණු එකම වාහනය වන යතුරුපැදි සඳහා වැඩි ඉල්ලුමක් පවතින නමුත් දැනට කිසිදු යතුරු පැදියක්වත් සැපයීමට නොහැකි තත්වයක් උදාවී ඇතැයි ඒ මහතා සඳහන් කළේය.

මෙරට මුදල් විදේශයට යාමෙන් රුපියල අවප්‍රමාණය වීම වැළැක්වීම සඳහා රජය මෙම තීරණය ගෙන ඇති නමුත් යතුරුපැදි සැපයීම සිදු කරන මව් සමාගම මාස හයක සම්පූර්ණ ණය කාලයකට යතුරුපැදි ලබාදීමට එකගත්වය පළ කර ඇති නමුත් රජය මේ දක්වා ගෙන ඇති තීරණය කිසිදු ලිහිල් භාගයක් පළ කර නොමැති බවත් උප සභාපතිවරයා කීවේය. යතුරු පැදි ආනයනය කිරීමට රජය අද තීරණය කළත් පළමු යතුරු පැදි තොගය මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවම වශයෙන් මාස තුනක පමණ කාලයක් ගත වන නිසා කල් මැරීමෙන් තොරට කඩිනම් තීන්දුවක් ගත යුතුව ඇතැයි ද ඒ මහතා කීවේය.

තමන්ගේ ගැටළුව ඉදිරිපත් කිරීම සඳහා විෂය භාර අමාත්‍යවරයෙකු නොමැති වීමෙන් තමන් දැඩි අසරණ තත්ත්වයට පත්ව ඇති බව සඳහන් කළ උපසභාපතිවරයා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමඟ මේ පිළිබඳව සාකච්ඡා කර ඇති නමුත් තවමත් කිසිදු විසඳුමක් ලැබී නොමැති බව සඳහන් කළේය.

තමන්ගේ ගැටළුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මැදිහත්වී කඩිනම් විසදුමක් ලබා දෙනු ඇතැයි විශ්වාස කරන බව මධ්‍යම හා උතුරු මැද පළාත් යතුරුපැදි අලෙවි නියෝජිතයන් ගේ සංසදය වැඩිදුරටත් සඳහන් කරයි.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Social Sharing
නවතම