මගේ මහාචාර්ය කමේ නිධාන කතාව..!!

මා කරන කියන දේ විවේචනය කරන බොහෝ දෙනෙක් මගේ ඉතිහාස මහාචාර්ය කම උපහාසයෙන් හුවා දක්වයි. ඒ නිසා ඒ ගැන යමක් කිව යුතුය.

මගේ මහාචාර්ය කම කිසිසේත්ම මගේ දක්ෂකම නිසා ලැබුණු එකක් නොවේ. එය ලංකාවේ විශ්වවිද්‍යාල ක්‍රමයේ ව්‍යුහාත්මක ගැටලුවක ප්‍රතිඵලයකි. සාමාන්‍යයෙන් ලංකාවේ විශ්වවිද්‍යාලවල මානව ශ්‍රාස්ත්‍ර හා සමාජවිද්‍යා පීඨවල මහාචාර්ය කමක් ගැනීම ඉතා පහසුය. ඔහේ නිකං හිටියත් කාලයක් ගිය විට එය ලබා ගත හැක.

මගේ මහාචාර්ය කම එසේ ලබාගත් එකකි. එනිසා එය ලොතරැයියකි. මගේ මහාචාර්යකමට වගකිව යුත්තේ 1970 සමගි පෙරමුණු ආණ්ඩුවයි. ඒ ආණ්ඩුව 1972 දී සිදුකල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් ඉතිහාසය විෂය (භූගෝලය සහා ප්‍රජාචාරය සමග) 6-10 පංතිවලින් ඉවත් කොට සමාජ අධ්‍යයනය නම් විෂය හඳුන්වා දුනි.

ඉතිහාසය ඉගැන්වීම අධෛර්ය කෙරුණත් කළ යුතුව තිබුණු පරිදි විශ්වවිද්‍යාලවල ඉතිහාස අංශ අහෝසි කර දැමුනේ නැත. ඒවාට ශිෂ්‍යයින් නැති වුනත් ඒවා පැවතුණි.
මා 1984 දී විශ්වවිද්‍යාලයට පැමිණියේ ඉගෙන ගැනීමට නොව වෙන කරන්නට දෙයක් නොතිබුණු නිසාය. එසේ ආ මා කිසිවක් බැරි අයට ඉතිරි වී තිබූ එකම දෙය වූ ශිෂ්‍ය දේශපාලනයට පැටලිණි.

විශ්වවිද්‍යාලයට පැමිණි විගස ශිෂ්‍ය දේශපාලනයට ඇබ්බැහි වුනු මට අවුරුදු 3ක් වෙනුවට අවුරුදු 4ක් විශ්වවිද්‍යාලය තුළ රැදී සිටීමට අවශ්‍ය විය. ඒ සඳහා විශේෂ උපාධියක් කළ යුතු විය. නමුත් ඊට පළමු වසරේ හොඳ ප්‍රතිඵල තිබිය යුතුය. මා පළමු වසර විභාගයට පෙනී සිටි විෂය තුනෙන් දෙකක් වූ සමාජ විද්‍යාව හා සිංහල යන විෂය දෙක සඳහා විශේෂ උපාධි පාඨමාලාවන්හී පැත්ත පලාතකට යාමටවත් මට ප්‍රතිඵල නොතිබුණි.

අනික් විෂය වූ ඉතිහාසය පිළිබඳ තත්ත්වය වෙනස් ය. එකල කතාව තිබුනේ ඉතිහාස අංශයේ අංශ ප්‍රධානියා ගේට්ටුව අසල රැදී සිට බලහත්කාරයෙන් ශිෂ්‍යයින් කීප දෙනෙක් ඉතිහාසය උපාධි පාඨමාලාව සඳහා රැගෙන යන බවයි.

මම කැමැත්තෙන්ම ඒ සඳහා ඉදිරිපත් වීම අංශ ප්‍රධානියාට මෙන්ම මට ද ඇදුනු ලොතරැයියක් බදු විය. මට පෙර වසරවල මේ පාඨමාලාව සඳහා සිටියේ එක් ශිෂ්‍යයාවක් බැගිනි. මගේ වසරේදී මමත් තවත් කෙනෙකුත් වශයෙන් දෙදෙකෙන් විය. උපාධිය ලැබුණු පසු ආචාර්ය මණ්ඩලයට බැදෙන්නැයි කී විට මට එය ඉබ්බා දියේ දැම්මා වැනි විය.

වසර හතරක් විශ්වවිද්‍යාලයේ රැදී සිටීමට විශේෂ උපාධි පාඨමාලාවට සම්බන්ධ වූ මට කතිකාචාර්ය තනතුරකුත් ලැබීම ලොතරැයි නොකඩවා ඇදීමක් බදු විය. මගේ සගයාටද කතිකාචාර්ය කමකට ආරාධනා ලැබුණද, ඔහුට මට වඩා මොළේ මෙන් ම දක්ෂතාද තිබුණු නිසා ඔහු ඒ ආරාධනාව කාරුණිකව ප්‍රතික්ෂේප කොට බෙහෙවින් නිර්මාණශීලී දක්ෂතා අවශ්‍ය ක්ෂේත්‍රයක් වූ ඇඩිවටයිසින් ක්ෂේත්‍රයට සම්බන්ධ විය.

කාලයාගේ ඇවෑමෙන් ඉතිහාස අංශයේ සිටි කීර්තිමත් ජේෂ්‍ය්ඨ ආචාර්යවරු එක්කකෝ මිය ගොස් නැතහොත් විශ්‍රාම ගොස් හෝ පිටරටවල හොඳ විශ්වවිද්‍යාලවලට ගොස් මා ඇතුළු කීපදෙනෙක් ඉතිරි විය.

ගස් නැති රටේ එඬරු ගහත් ගහක් යන න්‍යායට අනුව මම ඉක්මනින් ජේෂ්ඨම ආචාර්යවරයා වී පිං මහාචාර්ය පදවියක් ලැබීමටද වාසනාවන්ත විය.

වරක් නෙදර්ලන්තයේ සිට පැමිණි පුද්ගයෙක් ලෙයිඩන් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි වැඩසටහනක් සඳහා අපේක්ෂකයික් සෙවීමේ නිරත විය. ඒ සඳහා කිසිවෙක් උනන්දු නොවූ බැවින් නැවතත් මට ජාත්‍යන්තර මටිටමේ ලොතරැයියක් ද ඇදිණි. ඒ ලොතරැයියේ පිහිටෙන් ආචාර්ය උපාධියක් ලබා ගැනීමට හැකිවිය.

මේවා ලබා ගැනීමට විශේෂ දක්ෂතා අවශ්‍ය නැත. කාලයක් තිස්සේ මේ ක්ෂේත්‍රෙය් රැදී සිටි විට ඕනෑම මෝඩයෙකුට ඉතිහාසය වැනි ක්ෂේත්‍රයක උපාධි නිබන්ධයක් ලියා ගැනීම සඳහා හැකියාව ලැබේ.

මේ රස්සාව නොතිබුණානම් මට ඒ රස්සාව ලැබීමට පෙර කරමින් සිටි බස්කොන්දොස්තර කමට වඩා වැඩි ආර්ථික වටිනාකමක් සහිත රැකියාවක් කිරීමට හැකියාව නොතිබුණි.
මගේ ඉතිහාස මහාචාර්ය කමේ නිදාන කතාව මෙයයි.

ඒ නිසා මා කියන කරන දේ මගේ මහාචාර්යකම සමග පටලවා නොගන්නා ලෙස ඉල්ලා සිටිමි. රටට ආදරයක් ඇති කෙනෙක් ඉන්නවා නම් කළ යුත්තේ මේ සටහන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට පෙන්වා මා මහාචාර්යකමෙන් ඉවත් කිරීමට කටයුතු සැලසීමයි.

මා රටට ආදරේ නැති බැවින් මම මට ඇදුනු ලොතරැයිය ස්වේච්ඡාවෙන් අත අරින්නේ නැත. එසේම බොහෝ දෙනා පෙන්වා දෙන ආකාරයට ෆේස්බුක්හී කාලය කා දැමීම නතර කරන්නේ ද නැත.

මහාචාර්‍ය නිර්මාල් රංජිත් දේවසිරි
උපුටා ගැනීම : ෆේස්බුක්

Social Sharing
නවතම විශේෂාංග