පරිප්පු වවමුද?

මගෙන් නිතර අහනවා ඇයි පරිප්පු වවන්න බැරි කියලා. අපි කන පරිප්පු ප්‍රමාණය හැටියට වගා කරානම් හොඳයි නේද කියලා අහනවා. මුලින්ම කියන්න අපේ මුළු ආනයනය වල බිලෙන් පරිප්පු කියන්නේ මහ ලොකු ගාණක් නෙමෙයි.

ඊළඟ කාරණය තමයි ඇත්තටම පරිප්පු වගාවට අවශ්‍ය දේශගුණික හා පාරිසරික සාධක අපේ රටේ නෑ. ගූගල් කරලා ඕන කෙනෙකුට ඒ තොරතුරු හොයාගන්න පුළුවන්. අනෙක් අතට පරිප්පු වගාව කියන්නේ විශාල භූමි ප්‍රදේශයක කෙරෙන වගාවක්. ඇත්තටම පරිප්පු අමාරුවෙන් වවනවාට වැඩිය ලේසියෙන් වවන රටකින් අඩුවට ගේන එක අපිට ලාබයි.

එතකොට අර ෆේස්බුක් එකේ සංසරණය වෙන නැගෙනහිර පළාතේ වැව්වා කියන පරිප්පුව මොකක්ද ? ඒක තනිකරම බොරුවක්. ඒ ව්‍යාපෘතියේ වගා කරේ මුං. කවුරුහරි පේජ්කාරයෙක් පරිප්පු පින්තූරයක් දාලා වැරදි පෝස්ට් එකක් හදලා. සරලවම ලංකාවේ පරිප්පු වවන්න බෑ! ඊට වඩා වවනවනම් වවන්න ඕන තරම් දේවල් තියෙනවා.

අපි පුළුවන් තරම් උත්සාහ ගන්න ඕන අපේ රටේ පහසුවෙන් වගා කරන්න පුළුවන් හැමදේම මේ වෙලාවේ වගා කරන්න. කිසි තර්කයක් නෑ, අපේ ප්‍රධාන ආහාර වුන සහල් වලට අධි ඉල්ලුමක් හැදෙමින් තියෙනවා. තිරිඟු පිටි මිල දිගටම ඉහළ යාමත් එක්ක හොඳම විකල්පය වෙන්නේ සහල්.

මේ වෙද්දී ඒක පුද්ගල සහල් පරිභෝජනයත් සැලකියයුතු විදිහට ඉහළ ගිහින්. අනිවාර්යයෙන්ම හැකි ඉක්මනින් වී වගාව ගැන අවධානය යොමු කරන්නම වෙනවා. අපි තවමත් වී වගාවට ලංකාවේ උචිතම පරිසරය, දේශගුණය, පස තියෙන මන්නාරම ගැන අවධානයක් යොමු කරලා නෑ. සහල් නැළිය කියන්නේ නිකන් නෙමෙයි. තාමත් සහල් නැළියෙන් අපි වැඩක් අරන් නෑ.

පොල් කියන්නේ අපිට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම ඕන දෙයක් දැන්. අවුරුද්දකට මේ මොහොතෙත් ඩොලර් බිලියනයකට වඩා වෙළෙඳපොළ විභවයක් තියෙනවා පොල් වෙනුවෙන්. හැබැයි අපි තාම එතනට ගිහින් නෑ. ලංකාවේ පොල් වගා කරුවන්ගෙන් 10%යි පොල් ගහට වතුර දාන්නේ. පොහොර තියෙන කාලේ පවා 30%යි පොහොර දැම්මේ. ඒ නිසා වසරකට පොල් ගහකින් ගන්න පුළුවන් අස්වැන්නෙන් 50%යි අපි අරගන්නේ. අපි ඉක්මනින් ලොකු අවධානයක් දෙන්න ඕන පොල් වලට.

තේ වුනත් එහෙමයි. පොහොර නැතිකමෙන් තේ වගාවට වෙච්ච පාඩුව ඉතා විශාලයි. ඒක ඉක්මනින් නිවැරදි වෙන්න ඕන. තේ කියන්නේ අපේ අපනයන ආර්ථිකයෙන් ලොකුම පංගුවක්. ශතවර්ෂ දෙකකට ආසන්න කාලයක් තිස්සේ ක්‍රමිකව ගොඩනැගුන වෙනම සංස්කෘතියක් තේ කියන්නේ.

අපේ රටේ මුළු බඩ ඉරිඟු අවශ්‍යතාවය තාම අපිට සපුරාගන්න බෑ. අවුරුදු කිහිපයක් අපි බඩ ඉරිඟු වලින් ස්වයංපෝෂිත වුනත් ඒක පවත්වාගෙන යන්න අපිට පුළුවන් වුනේ නෑ. බඩ ඉරිඟු කියන්නේ සත්ව ආහාර වල ප්‍රධාන අමුද්‍රව්‍ය. දැන් අපිට බඩ ඉරිඟු ආනයනය කරන්නත් බෑ. බඩ ඉරිඟු හිඟය නිසා වැඩිවුන සත්ව ආහාර මිලට සාපේක්ෂව කුකුළු මස් මිල වසරක් ඇතුලත දෙගුණ වුනා. ඉතාම ඉක්මනින් අපි නැවත බඩ ඉරිඟු වගාවට යොමුවෙන්න ඕන. බඩ ඉරිඟු කියන්නේ පාඩුවෙන වැඩක් නෙමෙයි. හරියට වතුර ටිකයි, පොහොර ටික දෙන්නයි ක්‍රමයක් තියෙනවා නම් ගොඩම තමයි.

කුරුඳු, ගම්මිරිස් ඇතුළු සියලු කුළුබඩු වර්ග වලට තියෙන ලෝකයේ හැමදාම ඉල්ලුමක් තිබුනා. කුරුඳු ඒකාධිකාරය තියෙන්නේ අපේ රටට. තව කුරුඳු වවන්න අපිට පුළුවන්. අනිත් වර්ගත් එහෙමයි.

සියලුම අතිරේක ආහාර බෝග වලට ඉදිරියේ විශාල ඉල්ලුමක් හැදෙනවා. මුං, කව්පි, තල, උඳු, කුරුක්කන්, මෙනේරි, සෝයා වගේ බෝග වලට තවදුරටත් ඉල්ලුම හැදෙනවා. ආනයනය සීමා වෙනවා.

මඤ්ඤොක්කා වලටත් අන්කවරදාටත් වඩා විශාල ඉල්ලුමක් දේශීයව හැදෙන්න නියමිතයි. රු. 20-30ට මඤ්ඤොක්කා විකිණෙන කාලේ ඉවරයි දැන්.

එළවළු බීජ නිෂ්පාදනය, බිත්තර වී නිෂ්පාදනය කියන්නෙත් ඉස්සරහට අතගහන්න හොඳ ව්‍යාපාර.

අපනයනය සහ සංචාරක ව්‍යාපාරය ඉලක්ක කරගෙන ආරක්ෂිත ගෘහ තුළ බෝග වගාව තවදුරටත් කරන්න පුළුවන්. ඒකෙන් රටට ලැබෙන්නේ ඩොලර්.

ඔය වගේ දිග ලැයිස්තුවක් කියාගෙන යන්න පුළුවන්. ඒ හැම එකක්ම පරිප්පු වගාවට වඩා වැදගත් වගේම ලේසියි. බලධාරීන්ගේ වගකීම තමයි අවශ්‍ය තාක්ෂණික මඟපෙන්වීම එක්ක ජලය, පොහොර, කෘෂි රසායන, කෘෂි තාක්ෂණික යෙදවුම් සමග ඉන්ධන ටික ගොවියාට පහසුවෙන් ලබාගන්න පුළුවන් ශක්තිමත් යාන්ත්‍රණයක් හදන එක. හරි ප්‍රතිපත්ති එක්ක ක්‍රියාත්මක සැලැස්මක් හැදුවොත් ඒක එච්චර අමාරු දෙයක් නෙමෙයි.

අහ්, පරිප්පු කියන්නේ පරිප්පු. බඩ ඉරිඟු ඉව්වා කියලා “බඩ ඉරිඟු පරිප්පු” වෙන්නේ නෑ.

සංජන රවිඳු

Social Sharing
නවතම විශේෂාංග