සජිත් කැමතිනම් ඔහුට දිය යුතුය..!

මේ වනවිට රට පූර්ණ වශයෙන්ම අරාජික තත්ත්වයට පත්වී ඇත. මහජන ආරක්ෂාව සඳහා මහජනයා විසින්ම නඩත්තු කළ පොලීසිය දැන් දක්නට නැත. ඔවුන් දැන් ඉන්නේ පොලීසිය ඇතුලේ සැඟවීගෙනය. නෙක හමුදාවන් සහ ඒවායේ රෙජිමේන්තු මහජන ආරක්ෂාව සඳහා සහ මහජන සාමය පවත්වාගෙන යාම සඳහා මහ පාරට කැඳවා ඇත.

මේ අතර ජනාධිපතිවරයා නියෝග කර ඇත්තේ දේපලවලට අලාභ හානි කරන්නන්ට වෙඩි තබන්නටය. මෙම තත්ත්වය තුළ ජනතාවට පොලීසිය සහ රජය කෙරෙහි තිබුණ විශ්වාසය ගිලිහීගොස් ඇත. එය භයානක තත්ත්වයකි. වහාම පිළිසකර කරගත යුතු තත්ත්වයකි.

එනිසා මේ අරාජිකත්වයට රට ඇද දැමූ අරලියගහ මන්දිර වාචාලයන් ද, එහි සංවිධායකයන්ද, උසී උසී කරුවන්ද, වහාම අත්අඩංගුවට ගත යුතුය. ඊට පසුව රට අරාජික කළ ගොන් රැල, අරගල භූමියට පාගමනය කරවූ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගත යුතුය. එය ජනතා විශ්වාසය නැවත ගොඩනගා ගැනීමට ඕනෑමය.

සජිත් කැමතියි

පසුගිය 11 වෙනිදා රාත්‍රිය වෙනවිට සජබ ආරංචි මාර්ග කීවේ දීර්ඝ සාකච්ඡා මාලාවකින් පසුව විපක්ෂ නායකවරයා අග්‍රාමාත්‍යවරයා ලෙස වඟකීම ගන්නට කැමති බවය. මෙය අර්බුදය විසඳීම සඳහා මඟක් කරගත යුතුය. ‘ගෝඨා ගෝ හෝම්’ කියන සටන් පාඨය සෑම තැනකින්ම ඇහුනත් ඔහු යන පාටක් නැත. සති දෙකක් තව දුරටත් මේ සංගායනාව ගියහොත් රටට කුමකින් කුමක් වේදැයි දන්නේ දෙයියෝ පමණය. එනිසා මේ අවස්ථාවේ සජිත් ප්‍රේමදාස මෙම අභියෝගය භාරගන්නට කැමතිනම් ඔහුට ඒ අවස්ථාව දිය යුතුය. ඒ දෙන්නේ දෙවෙනුව ගෝඨාභයද ගෙදර යවන අරමුණ සමග විය යුතුය.

ස්වාධීනයෝ කැමතියි

සජිත් අගමැතිකර සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්නට ආණ්ඩුවෙන් ඉවත්වී පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම කැමතිබව දැනගන්නට ඇත. එයත් සුබ නිමිත්තක් ය. දෙමළ ජාතික සන්ධානයද ආණ්ඩුව ඇතුලට නාවත් අවශ්‍ය තීන්දු තීරණ සඳහා පූර්ණ සහාය දෙන්නට එකඟවී ඇත. එයත් හොඳ තත්ත්වයක් ය.

මේ සියල්ල මෙලෙස ඉදිරියට යනවිට සජිත් අගමැති පුටුවට එනවාට ජාතික ජන බලවේගයේ එතරම් කැමැත්තක් නැති බව දැනගන්නට ලැබෙයි. ඒ කතාව හරිනම් ඔවුන්ගෙන් කවුරු හෝ මෙම වඟකීම කරට ගෙන ආණ්ඩුවක් පිහිටුවිය යුතුය. නැතිනම් මේ අවස්ථාවේදී බාල්දි නොපෙරළා බලා සිටිය යුතුය.

යාපලා වැඩක් නෑ

කතාව මෙසේ වනවිට අනුර යාපා අගමැති පුටුවේ හිඳවන්නට යම් පක්ෂයක් උත්සාහ ගන්නා බව අසන්නට ලබෙයි. ඒ පිළිබඳව අපිට කියන්නට ඇත්තේ මේ අවස්ථාව්දී රාජපක්ෂවරුන් සමග පසුගිය ආණ්ඩුවේ සිටි කිසිවෙක්ට අගමැති ධුරය දැරීම සඳහා සුජාතභාවයක් නැති බවය. ජනතාවද එම අගමැති නොපිළිගනු ඇත.

එනිසා කිසිවෙක් මේ අවස්ථාවේ පොහොට්ටු මන්ත්‍රීවරයෙක් හෝ ස්වාධීන කණ්ඩායමේ මන්ත්‍රීවරයෙක් අගමැති පුටුව වෙත වීසි කිරීමට උත්සාහ නොකළ යුතුය. ඒ මන්ද එමගින් මේ අර්බුදය තව තවත් උත්සන්න විය හැකිය.

අපි හා හා කීවත් උසුළු විසුළු කළත් සජිත් ප්‍රේමදාස යනු වර්තමාන විපක්ෂ නායකයාය. අපිට ඒ යථාර්තයට මුහුණ දෙන්නට සිදුවෙනවා නියතය. මෙවැනි අර්බුදයකදී විපක්ෂ නායකයා අදාළ වෙනසේ නායකයා වීම සාමාන්‍ය තත්ත්වයයි. එම තත්ත්වය තුළ මූලිකවම ඔහුගේ කැමැත්ත විමසීම ක්‍රමයයි. ඔහු අකමැතිනම් දෙවනුව වෙනත් අපේක්ෂකයෙක් පිළිබඳව අපට සිතිය හැකිය.

සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර ඇත්තේ, සියළු ආගමික නායකයන්ගේ පූර්ණ සහයෝගයක් දෙනවා නම් තමන් වඟකීම ගන්නා බවය. මේ අවස්ථාවේ කවුරු මෙම ධුරයට පත්වුණත් ඒ අවශ්‍ය සහාය පාර්ලිමේන්තුව තුළින් සහ ඊට පිටතින් ඔහුට ලබා නොදුනහොත් මේක කරගෙන යනවා බොරුය.

තිත්ත කසාය.

මුලින්ම දේශපාලන ස්ථාවරත්වය සඳහා 21ව්‍යවස්ථාව සම්මත කරගත යුතුය. ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නට ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතුය. වහා වහා කළ යුතු මේ සියල්ල සැමගේ සහායෙන් ගොඩදාගතහොත් අප ගොඩය. නැත්තං වළේමය.

තෙල් ප්‍රශ්නය, ගෑස් ප්‍රශ්නය, බඩු මිල අසීමිතව ඉහළ යාම වැනි ක්ෂණිකව විසඳිය යුතු ප්‍රශ්න කාටවත් තනියෙන් කළ නොහැකිය. ඒ සඳහා ද සියල්ලන් එක් විය යුතුය. වර්තමාන පෝලිම් සංස්කෘතිය අවසන් නොකර ජන මනස සන්සුන් කළ නොහැක. එනිසා මිනිස්සුන්ට හිරිහැරයක් නොවෙන විදිහට එම සේවාවන් කළමණාකරණය කළ යුතුය. ඒ සඳහා ද සහාය අත්‍යාවශය.

මේ සියල්ල හමුවේ කටුක ඇත්ත ජනතාවගෙන් නොසඟවා හෙළිකර එම ඇත්ත ප්‍රශ්න විසඳා ගැනීම සඳහා සියලු පක්ෂ අදාළ පත්වෙන්නාට සිය සහාය දිය යුතුය. එමෙන්ම තම ජනතාව ආණ්ඩුවේ තීන්දු තීරණ සමග එකඟ කරවාගැනීමද මේ සර්ව පක්ෂවල වඟකීමය. සියළු ආගමික නායකයන්ද මෙම වඟකීම තමන්ගේ උරමතට ගත යුතුය.

මෙම ඓතිහාසික තත්ත්වය තේරුන් නොගන්නා අප සියල්ලන් කුණු බක්කියට වැටෙන්නට නියමිතය. එනිසා පරීක්ෂාවෙන් බුද්ධිමත්ව කටයුතු කළ යුතුය.

Gotagoogama galle face protest Anura Kumara Dissanayake sajith premadasa

-කේ. සංජීව-

Social Sharing
නවතම විශේෂාංග