අප්‍රේල් නැගිටීම් (04 කොටස)

අප්‍රේල් නැගිටීම් නිර්ප්‍රභූද?

අප්‍රේල් නැගිටීම්වලට මසකට පෙර පොදුජන පෙරමුණු ආණ්ඩුවේ සිදු වූ තීරණාත්මක අභ්‍යන්තර පිපිරීම සමග එහි ජනප්‍රිය දේශපාලන ප්‍රකාශකයෙක් වන විමල් වීරවංශ ආණ්ඩුවෙන් එළියට ඇදදැමීමෙන් පසු ඔහු විසින් ‘ලංකාවේ ප්‍රභූ දේශපාලනය අවසන් කල යුතුය’යි ප්‍රචාරයක් ආරම්භ කලේය. සමාජ විද්‍යාත්මක ප්‍රවර්ගයක් ලෙස ‘ප්‍රභූ සමාජ පැළැන්තිය’ මගින් ලංකාවේ ජාතික දේශපාලනයේ සිදු වූ පරිනාමය හා එහි ඛණ්ඩනයක් අප්‍රේල් නැගිටීම් හරහා සිදුවේද යන්න විමසිය යුතු බරපතළ දේශපාලන ප්‍රශ්නයකි. එසේ වුවහොත් ඒ විවර වන විකල්පයට ඇති විභවය කුමක්ද යන්න පරීක්ෂා කල යුතුය.

ලංකාවේ ජාතික දේශපාලනයේ පාලක ව්‍යුහය සැලකීමේදී නිරීක්ෂණය වන කරුණක් ඇත. ඒ නම් ඊනියා නිදහසින් පසු කාලවකවානුව සැලකිල්ලට ගැනීමේදී වරෙක ජාතිකවාදයෙන් ද ඉන්පසු සුබසාධන රාජ්‍ය ආකෘතියෙන් ද තරුණ සන්නද්ධ නැගිටීම් ද විවෘත ආර්ථිකයෙන් ගෝලීයකරණ පරිභෝජනවාදයට විවෘත වීමෙන් ද මාධ්‍ය ප්‍රාග්ධනය හරහා සංස්කෘතික පරිවර්තනයන් සිදුවීමෙන් ද යුද්ධය අවසන් වීමෙන් නැවතත් ගෝලීය ප්‍රාග්ධනය ගලාඒමෙන් ද ඩිජිටල් බහුමාධ්‍ය සමග දත්ත ප්‍රාග්ධනයට විවෘත වීමෙන් ද සමාජය සංකීර්ණ පරිවර්තනයන්ට ලක්විය. නමුත් සමාජය වරින් වර මෙසේ විවිධ සංකීර්ණ පරිවර්තනයන්ට ලක් වූව ද සාම්ප්‍රදායික පක්ෂ හරහා ලංකාවේ පාලන බලය ගැනීමට යටත්විජිත ප්‍රභූ පවුල් කීපයකට නැවත නැවතත් හැකියාව ලැබී තිබේ. මෙය එක් අතකින් දකුණු ආසියානු කලාපීය ගුණයකි. ඉන්දියාවේ නේරු, ගාන්ධි හෝ පකිස්තානයේ භූතෝ හෝ බංග්ලාදේශයේ රහුමාන් පවුල් යනු එවැනි උදාහරණය. වරෙක එස්. ඩ්බ්. ආර්. ඩී බණ්ඩාරනායක ඝාතනයේදී ද ඉන්පසු විජය කුමාරතුංගව ඝාතනයේදී ද මැතිවරණ වාසිය හිමි වූයේ නැවතත් බණ්ඩාරනායක පවුලේ කාන්තාවන් වූ සිරිමාවෝට හා චන්ද්‍රිකාටය. ඒ අර්ථයෙන් හිංසනීය දේශපාලන මැදිහත්වීම් වල ප්‍රතිඵල වලින් පවා ප්‍රතිනිර්මාණය කර ඇත්තේ ප්‍රභූවාදයමය. ඉතා කෙටි කාලීනව අස්ථාවර, අහඹු අවස්ථා දෙකක් ඩී. බී විජේතුංගට හා මෛත්‍රීපාල සිරිසේනට හිමි වූ අතර දේශපාලනිකව ලේ ඥාතිත්ව ප්‍රභූත්වයෙන් එපිට පක්ෂ දේශපාලන නායකත්වයක් හිමි වූ එකම ජනාධිපතිවරයා රණසිංහ ප්‍රේමදාස පමණි.

‘ගෝටා ගෝ හෝම්’ සටන්පාඨය යනු හුදු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව එල්ල වූ විරෝධයක් නොව සමස්ත රාජපක්ෂවරුන්ට එරෙහි විරෝධයකැ’යි ඇතැමුන් සාරාංශ කරති. එපමණක් නොව, විමල් වීරවංශ කියන්නාක් මෙන්ම මෙය ප්‍රභූ දේශපාලනයේ අවසානයකැ’යි තවකෙක් කියති. දේශපාලනය විශ්ලේෂණය පේන කියනා දේවාල කිරීම වෙනුවට සංයුක්ත තත්ත්ව විශ්ලේෂණයට අසීරු ප්‍රස්තුතයක් ලෙස සලකා ලංකාවේ දේශපාලනයේ තීරකාක්ෂ දෘෂ්ටිවාදයක් ලෙස ප්‍රභූවාදය අප්‍රේල් නැගිටීම්වලට සමාන්තරව විමසන්න උත්සාහ කරමු.

විකල්ප ප්‍රභූන්?

ප්‍රාග්ධනය මූලිකව සමාජ පංතීන් බිහිවීමට පෙර පටන් පැවති ව්‍යුහයක් ලෙස ලංකාවේ ප්‍රභූසමාජ ස්ථරය පරිනාමය වන ආකාරය කුතුහලය දනවන සුළුය. විශේෂයෙන් යටත්විජිත දූපත් රාජ්‍යක් ලෙස ලංකාවේ ජාතික දේශපාලනයේ පක්ෂ ආකෘතිය පශ්චාත් යටත්විජිත නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කරා මාරු වීමේ සිට අද දක්වා සමාජ පංති අතර ආධිපත්‍ය පැතිර වූ රාජ්‍ය නායකයන් වූයේ ප්‍රභූන්ය. ඊට රාජ්‍ය දෘෂ්ටිවාදී උපකරණ වන ආගම, අධ්‍යාපනය, නීතිය, හමුදාව නොපැකිලිව භාවිත කෙරී ඇත. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයෙන් බිහි වී ඇති නිෂ්ක්‍රීය පුරවැසියන් මැතිවරණයකදී පමණක් දේශපාලනීකරණය වන අතර ඉන්පසුව පත්වූ ආණ්ඩුවක් වසර පහක් සිය පවුල් කේන්ද්‍රීයව ප්‍රාග්ධනය එක්රැස් කිරීම නොහොත් සමුච්චනය සිදුකරයි. බොහෝවිට වසර පහකට වරක් ‘ප්‍රභූ හොරුන්’ හෙළිදරව් කෙරෙන නමුත් සිදු වූ වෙනසක් නැත. එකම නාට්‍ය යළි රඟදැක්වීමට මේ ප්‍රභූ පැලැන්තිය සමත්වෙයි.

ලංකාවේ දේශපාලනය ආරම්භයේ සිටම ප්‍රභූ පවුල්වාදය පැවතින. ආරම්භයක් ලෙස සමසමාජ පක්ෂයේ බොරළුගොඩ වලව්වේ ගුණවර්ධන පවුල පසුව මහජන එක්සත් පෙරමුණ හරහා සාම්ප්‍රදායික වමට සභාග ක්‍රමය හදුන්වාදීමෙන් වාම දේශපානික සාරය අර්බුදයකට යැවීය. ඔවුන් රැඩිකල් වාම විකල්පයක් වෙනුවට කරළියට ගෙන ආවේ ඊනියා වාම නැඹුරුවක් ලෙස නම් කල බණ්ඩාරනායක නම් විකල්පයයි. මතුපිටින් බණ්ඩාරනායක ඔහුගේ දමිළ මූලයතත් බටහිර සංස්කෘතික පවුල් උරුමයත් ක්‍රිස්තියානි ආගමත් කැප කොට ඊනියා නව සිංහල බෞද්ධ ජාතික දේශපාලනය ඇරඹීය. අවසානයේ ගුණවර්ධනලාගේ වාම සිහින ඇමතිකම් පවා අහිමි කරගනිමින් ඉතිරි කල විකල්පය වූයේ නව සිංහල ජාතිකවාදයකි. ගුණවර්ධන පවුලේ සහය ද ඇතිව එක්සත් ජාතික පක්ෂයේ සේනානායක, ඔබේසේකර, විජේවර්ධන ප්‍රභූ පවුල් අතික්‍රමණය කිරීමට බණ්ඩාරනායක සමත් විය. එතැනින් රාජ්‍ය බලය මීරිගම බෝතලේ වලව්වෙන් හොරගොල්ල වලව්වට මාරු විය. අනපේක්ෂිතව බණ්ඩාරනායක ඝාතනය වීමෙන් සාම්ප්‍රදායික වම නැවතත් ප්‍රභූ විකල්පයක් තේරුවේය. ඒ සිරිමාවවෝ බණ්ඩාරනායකයි. සිංහල බෞද්ධ ජාතිකවාදය වෙනුවට සිරිමාවෝ තෝරාගත්තේ සෝවියට් – එක්සත් ජනපද සීතල යුද්ධයේ භූ දේශපාලනික ප්‍රතිඵලයක් වූ සුබසාධන රාජ්‍ය ආකෘතියයි. සමාජ ආරක්ෂණ සුබසාධන ප්‍රතිපත්ති සහිත දිගුකාලීන ප්‍රතිඵල සහිත ආර්ථික ප්‍රතිසංස්කරණ කිරීමට සමහි පෙරමුණු ආණ්ඩුව ව්‍යාප්තියක නිරත වූ අතර ලාංකීය ඊනියා මහජනයා එම ආර්ථික සම්බාධක වලට එරෙහිව නැවතත් එජාප ප්‍රභූ ජයවර්ධන පවුල තෝරාගත්තේය. ඉන්පසු ජේ. ආර් ජයවර්ධන විසින් ලංකාවේ කෘෂි හා සුබසාධන රාජ්‍ය මූලික ආර්ථිකය වෙනුවට ගෝලීය පුද්ගලික සේවා ආර්ථිකකයේ කුඩා පුරුකක් බවට ලංකාව පත් කල අතර එතැන් පටන් ප්‍රභූවාදය ගැන ලංකාවේ සංස්කෘතික වටිනාකම් ද සීඝ්‍රයෙන් පරිවර්තනය විය. ලාංකිකයාට විකල්පය ගැන ඇති දෘෂ්ටිවාදයේ විවිධත්වය සිත්ගන්නා සුළුයැයි පැවසුවේ එබැවිනි.

අපි තවදුරටත් නොනවතින ප්‍රභූ විකල්පයේ විකාශනය විමසමු. අසූව දශකයේදී දමිළ හිංසනීය දේශපාලනයේ ප්‍රතිඵල ලෙස එජාප දෙවැනි පෙළ නායකයන් ඝාතනයට ලක්වීමේ සංකීර්ණ පක්ෂ පරිවර්තනය හරහා ප්‍රථම වරට දේශපාලන සංවිධායකවරයෙකුට එජාපය තුළ බලය හිමිවිය. රණසිංහ ප්‍රේමදාස චරිතය වඩා තීරණාත්මක වන්නේ ප්‍රභූත්වයේ මූලික සාධකයක් වන කුල සාධකය ලංකාවේ ජාතික දේශපාලන පක්ෂ ආකෘතියට දක්වන සංකීර්ණ අන්තර් සම්බන්ධය ද සැලකීමේදීය. ප්‍රේමදාස යුද දේශපාලන ඉතිහාසයට එකතු වූ අතර ඔහුගේ වියෝවෙන් අවස්ථාව පෑදුනු මීලඟ ඊනියා ප්‍රභූ විකල්පය චන්ද්‍රිකාය. රාවය පුවත් පත ඇතුළුව ලංකාවේ ඊනියා විකල්ප දේශපාලන නියෝජන එවෙලේ විජේ කුමාරතුංගගේ විකල්පයත් බණ්ඩාරනායක ප්‍රභූ සම්ප්‍රදායේත් සංකලනයක් ලෙස චන්දිකාව හදුනාගත්තේය. සිරිමාවෝගේ හෙළ මව් භූමිකාවවත් චන්දිකාට පවත්වාගැනීමට නැගී ආ මාධ්‍ය ප්‍රාග්ධනය ඉඩ තැබුවේ නැත. රනිල් වික්‍රමසිංහගේ නිශ්ක්‍රීය යුද උපායන් ද ලිබරල් ආර්ථික ලිහිල්කරණ ද හරහා ඇති වූ අරාජිකත්වය සමග නැවතත් ලංකාවේ මීලඟ ප්‍රභූ විකල්පයට පාර කැපින. චන්ද්‍රිකා නැවතත් අනුර බණ්ඩාරනායකට පක්ෂ බලය ලබාගැනීමට කල කූඨ කුමන්ත්‍රණ හරහා යළිත් වාම සළුපිළි සහිත මහින්ද රාජපක්ෂ සුපුරුදු “එවෙළෙට හොඳම තේරීම” සූත්‍රය යටතේ ජවිපෙ හා හෙළ උරුමයේ ජනප්‍රිය ජාතිකවාදය සමග විකල්පයක් ලෙස භෞතීස්ම විය. නැවතත් හොරගොල්ල වලව්වෙන් මැදමුලන වලව්වට ප්‍රභූ විකල්පය මාරු විය. මහින්ද යුද්ධය අවසන් කරමින් ආසියානු ධනේශ්වර මොඩලය වූ චීනය කේන්ද්‍රීය ගෝලීය ප්‍රාග්ධන ව්‍යාපෘතියේ දකුණු ආසියානු උනන්දූන් ඉටුකරදෙන කේන්ද්‍රය වීමට උත්සාහ කලේය. මේ සෑම ඊනියා රාජ්‍ය නායක විකල්ප තේරීමකම ජනප්‍රිය ප්‍රතිඵල වැඩිහිටි කව්රුත් දනී. හොඳ හැටි සිය පවුලේ වත්කම් ඉහළ නංවාගත් මේ ප්‍රභූ පවුල් විටෙක ජාතිකවාදය ද විටෙක ලිබරල් වානිජ ධනවාදය ද කේවල් කරයි.

මේ අතරේ රනිල් එජාප අභ්‍යන්තරයේ සජිත් ප්‍රේමදාස බලහවුලට එරෙහිව රුවන් විජේවර්ධනව මතුකිරීමේ ප්‍රභූ වෑයමේ නිරතව සිටිනා අතරේ ඊනියා යහපාලන ආණ්ඩුව හාස්‍යජනක ලෙස අවසන් විය. නිර්ප්‍රභූ විකල්ප ලෙස පැමිණි රණසිංහ ප්‍රේමදාස ඛේදවාචකයක් නම් මෛත්‍රීපාල හාස්‍යක් වෙමින් ඊනියා නිර්ප්‍රභූ දේශපාලන පරිච්ඡේද අවසන් කලෝය. ඉන් නැවතත් ජනප්‍රිය ජාතිකවාදී දේශපාලනයට හිස ඔසවන්නට අවස්ථාවක් ලැබින. ඊට ගෝලීයව ද වර්ධනය වූ ඉස්ලාමීය විරෝධය හෙවත් ඉස්ලමාෆෝබියාව හොඳහැටි භාවිත කල අතර තවත් මැදමුලන ප්‍රභූ විකල්පයක් ලෙස ගෝඨාභය රාජපක්ෂව කරළියට ගෙන ආවේය. අනෙක් සෑම අවස්ථාවක මෙන්ම නැවතත් ගෝඨාභය නම් විකල්පය සාම්ප්‍රදායික රාජපක්ෂවාදයේ ගුණ සංශෝධනය කලේය. සාටකය නොමැතිව ඉදිරිපත් වූ ගෝඨා මතුපිටින් ප්‍රභූ පවුල්වාදය වෙනුවට නිරූපණය කලේ ලිබරල් ආධිපත්‍යයික නිලධාරීවාදයයි. ගෝඨාභය සම්ප්‍රාප්ත වන විට සිංහල ජාතියේ උරුමක්කාරකම රාජපක්ෂ පවුල කේන්ද්‍රීය වෙනුවට විකේන්ද්‍රීය වී තිබින. පූජ්‍ය මැඩිල්ලේ හෝ මැදගොඩ හිමි වැන්නන්ගේ සිට සිංහල බෞද්ධ උරුමක්කාරකම දැන් ඩෑන් ප්‍රියසාද් වැන්නන් දක්වා විසිරී ඇත. ගෝඨාභය ආණ්ඩුව විසින් දේශපාලන – ආර්ථික තලයේදී 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ද්විත්ව පුරවැසි නියෝජනය හරහා රාජ්‍ය ගෝලීය භූ දේශපාලනයට සංක්‍රාන්ති රාජ්‍යයක් ලෙස විවර කෙරින. නමුත් පොහොට්ටු ආණ්ඩුවේ කූටප්‍රාප්තිය ලෙස කොවිඩ් වසංගතය හා උග්‍ර ආර්ථික අර්බුදයක් හමුවේ ලංකාවේ කිසිදා නොවූ තරමේ ජනප්‍රිය ආණ්ඩුවිරෝධී නැගිටීමක් සිදු විය. එතුවක් රාජපක්ෂලා කොරෝනා වසංගතය ආපදා ධනවාදයක් බවට පත්කරගැනීමට දැරූ උත්සාහය අත්හිටුවා ඇත. ඒ සමගම පොහොට්ටුව පක්ෂය බරපතළ අභ්‍යන්තර බල අර්බුදයකට ද ලක්විය. චීන ඉන්දු – එක්සත් ජනපද භූ දේශපාලන සිතියම ද යළි විවෘත බල අරගලයක් වී ඇත.

 

සූරියමල් පිපෙයිද?

ඓතිහාසිකව ලංකාවේ ප්‍රභූවාදය පදනම් වන දේශපාලන ආයතන පද්ධතිය, ප්‍රාදේශීය පක්ෂ සංවිධායක යාන්ත්‍රණ, කුලවාදය හෝ ජාතිකවාදය වැනි දෘෂ්ටිවාදයන් වැනි සාධක අප්‍රේල් නැගිටීම් හරහා අභියෝගයට ලක්වේ යැයි පරිකල්පනය කිරීම ඉතා අසීරුය. අප්‍රේල් නැගිටීම්හි දේශපාලනය කුමක්ද යන්න ස්ථානගත කරගැනීමට නම් නිර්ප්‍රභූ දේශපාලනයක් සදහා ලාංකික මැතිවරණ සිතියමේ හා ඓතිහාසික දෘෂ්ටිවාදී යාන්ත්‍රණයේ ඇති ඉඩහසර පරීක්ෂා කල යුතුය. අනෙක් අතින් ප්‍රභූ දේශපාලන භාවිතය යනු හුදු පවුල් ලේ ඥාතීත්ව විකාශනයකට ඌණනය කල නොහැක්කකි. සාම්ප්‍රදායික ප්‍රභූ පවුල් සැලකුව ද ඒවා සංකීර්ණ නිෂ්පාදන ආර්ථික මත පදනම් වූවක් නොව, වානිජ කළු ආර්ථික පදනම් ඇත්තන්ය. කුල සාධකය වුව ද අශුද්ධ සන්ධාන හරහා රණසිංහ ප්‍රේමදාස මෙන් සාර්ථකව අතික්‍රමණය කලහොත් අයෙකුට ඉණිමගේ ගමණක් ඇත. එමනිසා මෙවැනි පරිවාරයේ සිටිනා වසල වෙළඳ තීරුව ද දත කන්නේ ප්‍රභූ දේශපාලන භාවිතයකටය. සාම්ප්‍රදායික ප්‍රභූ ඉතිහාසයේ නොනිළ ඉතිහාසය සැලකීමේදී ද ලංකාවේ ප්‍රභූන් යනු ශක්තිමත් ආර්ථික හෝ සංස්කෘතික පදනමක් වෙනුවට අවස්ථාවාදය පදනම් කරගත් භාවිතයකි. ඒ අර්ථයෙන් නිර්ප්‍රභූ පවුලකින් ඇතුළත් වන්නෙකුට ද ප්‍රභූ භාවිතය හැර ලංකාවේ ජාතික දේශපාලන තලයේ පැවැත්මක් නැත. සරළ කොමිස් ආර්ථිකය නඩත්තුවට සංකීර්ණ පවුල් සම්ප්‍රදායක් අනිවාර්ය නැත. වර්තමානයේ ජාතික ජනබලවේගය ලෙස ජවිපෙ මූලිකව බලය අභ්‍යාසයේ යෙදෙනා ව්‍යාපාරයේ දේශපාලන සංස්කෘතිය නිරීක්ෂණය කල ද මේ බව පහසුවෙන් නිරීක්ෂණය කල හැක. මීට උදාහරණයකට හරිනි අමරසූරියව ජාජබට අවශ්‍ය වන ආකාරය හා ඇයගේ ප්‍රතිරූපය භාවිතවන ආකාරය නිරීක්ෂණය කිරීම පමණක් වූව ද ප්‍රමාණවත්ය. හරිනිගේ අනාගත සාර්ථක අසාර්ථක බව කෙසේ වෙතත් නිරීක්ෂණය කල යුත්තේ පෙරමග සලකුණුය. හරිනි අහිංසක විය හැකි නමුත් හරිනිගෙන් නියෝජනය වන දේශපාලන සංඥා අහිංසක නැත.

ජාතීන් අතර සමගිය සදහා තාගෝර් පැවසූ රුධිරනාළවල ඇති එක්සත් බවක් ඇතිවූව ද එය එතරම් සරළව ජාතික දේශපාලනයට එන්නත් වන්නේ නැත. ඉතින් ගෝටාගමෙහි ජීවයක් ඇත්නම් එය සංවිධානය වන්නේ කුමන ‘විකල්පයක්’ වෙනුවෙන්දැ’යි කොන්දේසි විරහිතව ප්‍රශ්න කල යුතුය. අප්‍රේල් නැගිටීම් සමග ශක්තිමත් වූ මූණුපොත් දෘෂ්ටිවාදයක් වන්නේ “48 ඉදලා ඇරියස් ගෝටා ගෝ හෝම් සටනින් බලාපොරොත්තු වෙන්න එපා’ කියායි. ඒ නව පරම්පරාවේ අධිපති චින්තන ආකෘතියයි. ඔවුන්ගේ නැගිටීමේ දිගපළලයි. ඔවුන් විප්ලවය කියන්නේ එවැන්නකටයි. ඉතින් බොහෝවිට ගෝටා ගෝ හෝම් අවසානයේදී නැවතත් විජේතුංග හෝ සිරිසේන ප්‍රවර්ගයේ දේශපාලන ඉන්ටවල් එකකට ඉඩහසර ද විවර විය හැක. නව පරම්පරාව දේශපාලනය පරිකල්පනය කරනා ආකෘති සමග යලිත් විකල්පයක් භාවිත කරමින් ප්‍රභූ තරුවක් 2030 පායයිද? ක්‍රමය වෙනස් කිරීම ලාංකිකයා හිතන තරම් සරළද? ඊට කලින් වෙනස් විය යුත්තේ කුමක්ද?

 

බූපති නලින් වික්‍රමගේ

1 කොටස – https://www.aithiya.lk/14741/go-home-gota-protest/

2 කොටස – https://www.aithiya.lk/14745/go-home-gota-protest-2/

3 කොටස – https://www.aithiya.lk/15005/go-home-gota-protest-3-bhoopathi-nalin/

Social Sharing
නවතම විශේෂාංග