අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන් (03 කොටස)

බිත්තර නොබිඳ ඔම්ලට් දැමීමේ දේශපාලනය

අප්‍රේල් නැගිටීම් ගැන කතාබස්වලදී බොහෝදෙනා වටිනාකමක් දෙන අදහසක් වන්නේ ‘අප නොදැන සිදුවිය හැකි නොදන්නා සිදුවීම’ යි. “අපි නොහිතන දෙයක් වෙන්න පුලුවන්නෙ” නම් බලාපොරොත්තු සහගත එළඹුමයි. එහි හරය වන්නේ නොදන්නා අනෙකෙක් විසින් නොදන්නා දේශපාලනයක් සිදුකිරීමට ඇති ඉඩයි. මේ අහම්බයට ඇති ඉඩ දේශපාලනයේදී අප ස්ථානගත කල යුත්තේ කෙළෙසද? දේශපාලනය යනුම මැදිහත්වීමකි. දේශපාලනය නිශ්ක්‍රීය පැවැත්මක් නොව සක්‍රිය පැවැත්මකි.

නමුත් ඓතිහාසිකව දේශපාලනය අපට උගන්වා ඇත්තේ මේ සක්‍රියත්වය යනු ‘සර්වබලධාරි’ පැවැත්මක් ද නොවනා බවයි. එය ඕනෑම දේශපාලන සංවිධානයවීමකට අදාල මගහැරිය නොහැකි අඩංගුවකි. ඉතා ශක්තිමත් ලෙස පෙනෙනා දේශපාලන අධිකාරියකට එරෙහිව වුව ද ‘සංවිධානය’ කිරීම නම් භාවිතයට දේශපාලනය තුළ බරපතළ වටිනාකමක් හිමිවන්නේ මෙනිසාවෙනි. එනම් දේශපාලනය යනු අහඹුබවට ඉඩදීම වෙනුවට අහම්බයට එරෙහිව කරනා සංවිධානාත්මක මැදිහත්වීමයි.

‘ඔනෑම දෙයක් සිදුවිය හැකිය’ යන ප්‍රවාදය මූලධර්මයක් ලෙස පවත්වාගෙන දේශපාලනයේ නිරත විය නොහැක. දේශපාලනය යනු ‘දේශපාලන අභිලාෂ’ ඉලක්ක කරගත් ව්‍යාපෘතියකි. උදාහරණයකට අප්‍රේල් නැගිටීම්හි මූලික ඉලක්කය ලෙස දැනට සාරාංශ වන්නේ ‘රාජපක්ෂ රෙජීමය’ දේශපාලන භූමියෙන් පලවාහැරීමයි. මෙය ‘වියහැකි සිදුවීමක්’ ලෙස පරිකල්පනය නොකොට අයෙකුට පාරට බැසිය නොහැක. “රාජපක්ෂල ඉන්නත් පුලුවන්, යන්නත් පුලුවන්’ ලෙස සලකා ප්‍රති – රාජපක්ෂ දේශපාලනයක නිරත විය හැකිද? රාජපක්ෂල ගෙදර යැවීම වැනි සරළ සටන්පාඨයක් හෝ එවැනි ඕලාරික අහම්බකාරකයකින් චලනය කල නොහැක. රාජපක්ෂල ගෙදර යැවීම ‘විය නොහැක්කක්’ ලෙස මෙතුවක් පැවති තත්ත්වයට අවසානයක් සලකුණු කල හැක්කේ එය ‘විය හැක්කක්’ ලෙස සලකුණු කරනා දේශපාලන අධිෂ්ඨානයකින් පමණි. ලංකාවේ මෙතුවක් ‘සිදුවිය නොහැකි’ ලෙස තිබූ ජන නැගිටීමක් සිදුවූයේ ද ‘එය සිදුවිය හැක්කක්’ ලෙස ‘අනිවාර්යක් ‘ බවට පරිවර්තනය වීමෙනි.

පශ්චාත් – රාජපක්ෂ දේශපාලනය යනු අහම්බයක්ද?

අප අපේ දේශපාලන ක්ෂිතිජය ලෙස සැලකිය යුත්තේ රාජපක්ෂවාදයද? රාජපක්ෂල ගෙදර යැවීමද ? එසේ වුවහොත් එය නියත ලෙස ඉතිහාසය නැවත නැවතත් හාස්‍යජනක ලෙස ප්‍රතිනිර්මාණය වීමට පාර කැපීමකි. ඇත්තටම අහම්බයේ දේශපාලනය ප්‍රශ්න කල යුතු මංසන්ධිය අභිමුඛ වන්නේ මේ අදියරේදීය. රාජපක්ෂවාදයට පසු, ඉන් ඔබ්බෙහි වූ දේශපාලනය ‘අහම්බයට’ බාර නොදී සිතියම්ගත කරන්නේ කෙසේද? දේශපාලනය මැදිහත්වීමක් නම්, සැබෑ මැදිහත්වීම පවතින්නේ රාජපක්ෂවාදය නම් සාධකය දේශපාලන සිතියමෙන් ඉවත් වන මොහොතේ නොවේද? අසීරු දේශපාලනික ප්‍රශ්නය අභිමුඛ වන්නේ එතැනදී නොවේද? ඒ පිළිබඳව දේශපාලන පරිකල්පනයක් අප්‍රේල් නැගිටිම් තුළ නිරීක්ෂණය කල හැකිද?

“මොක කරන්නත් රාජපක්ෂල ගෙදර යවල ඉන්න ඕනෙ” යන්න මේ වනවිට අධිපති දේශපාලන මතයක් බවට පත්වෙමින් පවතී. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී, ධනේශ්වර ලිබරල් හෝ වාමාංශික දේශපාලනයක නිරතවන ඕනෑම අයෙක් මීට එරෙහි වන්නේ නැත. දැන් ඉන්න රාජපක්ෂල යනු පෙර පැවති දේශපාලන ආධිපත්‍යය අහිමි, ආයතනික බලයක් පමණක් කෙසේ හෝ පවත්වාගැනීමට උත්සාහ කරනා පවුලකි. තවදුරටත් ‘රාජපක්ෂවාදය’ නම් දේශපාලන දෘෂ්ටිවාදයට සංගත පැවැත්මක් නැත. අප්‍රේල් නැගිටීම් මුල් දින කීපයකින් රාජපක්ෂවාදයේ දෘෂ්ටිවාදී පදනම් දෙදරා ගොස් ඇත. ඒ අර්ථයෙන් අප්‍රේල් නැගිටීම් යනු දේශපාලන සිදුවීමකි. එහිදී සංකීර්ණ භූ දේශපාලනික පරිනාමයක් මැද රටතුළ ද නැගිටීමක් සිදුවිය. අප්‍රේල් නැගිටීමේ දේශපාලන දෘෂ්ටිවාදී අභිලාෂ සංකීර්ණය. එනිසා අප්‍රේල් නැගිටීම් පිළිබඳව රොමැන්තික සුබවාදී අලංකාරික වලින් පමණක් කුල්මත්වීමට ඔබ්බෙහි වූ දේශපාලන විචාරයක් නිර්මාණය කිරීම මේ අසීරු විචාරාත්මක මැදිහත්වීමේ ඉලක්කයයි.

ගෝල්ෆේස් උද්ඝෝෂණය සති දෙකක් ඉක්ම යද්දී ද දේශපාලනිකව ඕපපාතික මුහුණුවරක පවතී. අවම වශයෙන් ගෝඨාභය ජනාධිපතිවරයා හෝ රාජපක්ෂවාදීන් ගෙදර යැවීමට උද්ඝෝෂකයන්ගේ එකම දේශපාලන උපක්‍රමය වන කූඩාරම් ගසාගෙන ජනාධිපති ලේකම් කාර්‍යාලය අසළ උද්ඝෝෂණයක් කිරීමෙන් ඔබ්බට යන දේශපාලනික පියවර වෙත තවමත් ගොස් නැත. ඊට විකල්ප වූ රාජ්‍ය දේශපාලනික ආයතනික හෝ වෙනයම් සංවිධානාත්මක දේශපාලන උපක්‍රම මේ නැගිටීම් හරහා මෙතුවක් මතු වී නොමැත. තවමත් එය සටන්පාඨ මූලික දේශපාලනයකි. ඇතැම් පරිවාරයේ නගරවල තරමක කලබලකාරී ස්වරූපයක උද්ඝෝෂණ ද මතුවෙමින් පවතී. ඔවුන්ගෙන් ගෝල්ෆේස් ලිබරල් මධ්‍යම පංතික උද්ඝෝෂකයන් ඉල්ලන්නේ තවදුරටත් සාමකාමීව උද්ඝෝෂණ කරනා ලෙසයි. රඹුක්කනදී එක්සත් ජාතික පාක්ෂික තරුණයකු වූ චමින්ද ලක්ෂාන් ඝාතනය වෙද්දී ගෝල්ෆේස් භූමිය තවදුරටත් කලා උළෙලක් මෙන් වර්ධනය වේ. එය නාට්‍ය, ගීත, චිත්‍ර, රූකඩ, තොවිල්, ප්‍රසාංගික ඉදිරිපත්කිරීම් ආදිය හරහා නිර්දේශපාලනික අනන්‍යතා අර්බුද භූමියක් බවට තවතවත් පත්වෙමින් පවතී. ඇතැමුන් නැවත උසස් කලාව හා ජනප්‍රිය කලාව අතර වෙනස ද ගෝල්ෆේස් තුළ සොයමින් සිටී. තව ද ජනප්‍රිය සයිබර් අවකාශ තුළ විවිධ චරිත ඉස්මතුවීම් හා ඔවුනොවුන් අතර පුංචි පුංචි ප්‍රශ්න ද මතු වී ඇත. “අරගලය විය යුත්තේ කෙසේද”යන්නට බොහෝදෙනා සදාචාරාත්මක නිර්ණායක ඉදිරිපත්වෙමින් පවතී. පාර අවහිර නොකර, බීමත් නොවී, අවිහිංසාවාදීව, වෙළඳ අරමුණු නොමැතිව, මිලටරිය සමග මිත්‍රශීලීව ආදී මෙකී නොකී කොතෙකුත් සදාචාර උපදෙස් මගින් සමාජ මාධ්‍ය පිරීයමින් තිබේ. ඒ අර්ථයෙන් ගෝටා ගෝ ගම තුළ දේශපාලනික දේශපාලනය කල්දමා ඇත. තවමත් ගෝටාගම තුළ වාසය කරනා බුබුළු කණ්ඩායම් අතර ප්‍රතිවිරෝධතා හෝ රාජ්‍ය මර්දනය අභිමුඛ වී නොමැති නිසාවෙන් නිසංසලේ සටන්පාඨ කියමින් සතියෙන් සතිය ගෙවී යයි.

 

දේශපාලනය අත්හිටුවීම හා ‘ගෝටා ගෝ ගම’

ජාතික ජනබලවේගය (ජවිපෙ), පෙරටුගාමී සමාජාවාදී පක්ෂය , 43 සේනාංකය ආදී විවිධ දේශපාලන පක්ෂ ගෝටා ගෝ ගමේ හොරගල් අහුලමින් සිටිනා අතර ඔවුනොවුන්ගේ සුපුරුදු දේශපාලන භාවිතය මේ තුළ අභ්‍යාස කිරීමට උත්සාහ කරමින් සිටී. ‘ලිබරල් පුද්ගලවාදී අරාජිකවාදය’ ගෝටා ගෝ ගම තුළ අධිපති දෘෂ්ටිවාදය නිසාවෙන් සෘජු දේශපාලන කණ්ඩායම්වලට මේ දක්වා බිත්තර නොබිඳ ඔම්ලට් දාන්නට සිදු වී ඇත. ඒ අර්ථයෙන් ගෝටා ගෝ ගම තුළ දේශපාලනික දේශපාලනය අත්හිටුවා ඇත. එය සංස්කෘතික දේශපාලන භූමියක් බවට ක්‍රමයෙන් පරිවර්තනය වෙමින් ඇත. එවිට අයෙක් දේශපාලනික දේශපාලනය ඒ අවකාශය තුළ වරනැගීම යනුම සාමූහිකත්වය උල්ලංඝනයකි. මෝටිවේෂන් අප්පච්චී ගෝල්ෆේස් බිම දේශපාලනිකව ‘හයිජැක්’ නොකරන ලෙස ජවිපෙට උපදෙස් වීඩියෝ සපයන තත්ත්වයක් උදා වී ඇත.

එසේම සෘජු දේශපාලන සංවිධාන ලෙස චම්පික රණවකගේ ගෝලයා ධනුෂ්ක රාමනායක ගෝටා ගෝ ගමේ ඇතැම් යටිතල පහසුකම් සැපයීමට ද සෙනග අඩුදාට වැඩේ දිගටම ඇදං යන්න සුපුරුදු අන්තරේ ද සිටී. මේ කිසිවක් පිළිබඳව සදාචාර විනිශ්චයන් වැදගත් නැත. අප ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ පශ්චාත් රාජපක්ෂ ගෝටා ගෝ ගම කියා සංගත යමක් පවතීද? පවතී නම් ඔවුන් කියනා පද්ධති වෙනස කුමක්ද? ඔවුන් කතා කරන්නේ එක් දේශපාලන ඉලක්කයක්ද? එසේ නම් ඔවුන් කියනා ඊනියා සාමූහිකත්වය කුමක්ද? ජයදේව උයන්ගොඩ කියනා ලෙස මහජනයා ‘පුරවැසියන්’ බවට පරිනාමය වීමේ සමාජවිද්‍යාත්මක සාක්ෂි මේ දක්වා තිබේද? අප්‍රේල් නැගිටීම් පිටුපස දේශපාලන හැගවුමක් වේ නම් ඒ කුමක්ද? ජාතික කොඩි, දේශාභිමානී ගීත ආදියේ සංකේත ලංකාවේ ඓතිහාසික ජාතිකවාදයෙන් මිදී ඇත්ද? ගෝටා ගෝ ගම මුස්ලිම් සිංහල සංහිදියාව ප්‍රචාරකවාදී ප්‍රසංගයකට වඩා යමක් ඉගි කරයිද? ලංකාවේ ඊනියා බහුජන විඤ්ඤාණයේ කිසියම් හෝ පරිවර්තනයක් සිදු වී ඇතිවාද? ඇත්නම් ඒ මොනවාද? සුබවාදී දේශපාලන අලංකාරික හරහා අප්‍රේල් නැගිටීම් උත්කර්ෂවත් කරනා උදවියගෙන් අප නැවත නැවත ඇසිය යුතු මූලික මූලධාර්මික ප්‍රශ්න මේවාය.

දැනටමත් නිරූපිත ලංකාවේ විවිධ සංස්කෘති හා අදහස් නියෝජනය කරනා සාම්පල බුබුළු ගෝටා ගෝ ගම ලෙස ඉදි වී ඇත. ලංකාවේ දේශපාලන කතිකා සියල්ල වෙන් වෙන්ව ගෝල්ෆේස් බිමට පැමිණ වෙන්වෙන්ව සටන්පාඨ කියමින් සිටී. කිසිවෙකුටත් සෘජුව සිය දේශපාලන මතය ප්‍රචාරය කිරීමේ හැකියාවක් ද මේ තුළ තවමත් නැත. නිර්දේශපාලනික ලිබරල් අරාජිකවාදයට හිසනමා ආචාර කිරීමට සියල්ලන්ට සිදුව ඇත. තාමත් දේශපාලනය ලෙස එහි වරනැගිය හැක්කේ ‘රාජපක්ෂවාදයට ඇති විරෝධතා’ පමණි. ඔවුන් සියල්ලන්ගේම පොදු සතුරා ලෙස රාජපක්ෂවාදය නම් කොට ඇත. නමුත් රාජපක්ෂල පැන්නූ පසු සිදුවන්නේ කුමක්ද’ යන්න සිතීම සදාතනික අනාගතයක් දක්වා අප කල් දාන්නද? දේශපාලනය නොදන්නා අනෙකෙකුට බාර දී සමාජය අහඹු පරිවර්තනයකට ලක්වනතුරු අප බලා ඉන්නද? පශ්චාත් – රාජපක්ෂ දේශපාලන අවකාශයක් සදහා කිසිවෙකුත් ‘දේශපාලන ගෙදර වැඩ’ කර ඇත්ද? එසේ නොකර වෙන දේ බලං ඉදීම දේශපාලනය ලෙස බාරගත හැකිද? ඊලඟට රාජ්‍ය බලය ගන්නට ඉවකරමින් සිටිනා හයිනාවුන්ට හැර මේ උද්ඝෝෂණ හරහා දේශපාලන අභිලාෂ සාක්ෂාත් කරගත හැකි වෙනත් බැරෑරුම් විකල්ප පිරිසක් වේද?

 

රාජපක්ෂවාදී දේශපාලන ක්ෂිතිජයෙන් ඔබ්බට ?

දේශපාලනය යනු ටක්කෙටම දැනගෙන කරනා මැදිහත්වීමක් වැනි පටු නිගමනයක් මේ විවේචන හරහා කිසිසේත්ම අදහස් නොවේ. දේශපාලනය යනුම ‘මැදිහත්වීමක්’ නම් මේ අප්‍රෙල් නැගිටීම්හි මැදිහත්වීම කුමක්දැයි අප අර්ථනංවාගත යුතුය. එක් අතකින් ඊනියා මහජනයා ඉදිරියේ සිටිනා ප්‍රභූ දේශපාලනයේ පාලකයන් අහම්බයට ඉඩ දෙන්නන් නොවේ. මෙවැනි උග්‍ර අර්බුද අවස්ථාවක පවා ඔවුන් සියලු උපක්‍රම උපරිමයෙන් භාවිතයට උත්සාහ කරමින් සිටී. ඒවා අවලාද හෝ මඩ ප්‍රචාරක ව්‍යාපෘති ලෙස ද බුද්ධි ව්‍යාපෘති ලෙස ද හිංසනීය මර්දනයන් ලෙස ද පාර්ලිමේන්තු පුටු මාරු සෙල්ලම් ලෙස පමණක් නොව මේ වන විට ව්‍යවස්ථා සංශෝධනයකට පවා යළි උත්සාහ කරමින් සිටී. ඊට සංකේතීයව දමිළ ප්‍රභූ දේශපාලනය පවා යොදාගනිමින් සිටී. එවන් සංවිධානාත්මක, කේන්ද්‍රීය බලදේශපාලනයකට ඓරෙහිව වුව ද මෙතරම් විසිරුණු හා උද්ඝෝෂණ මූලික දෙශපාලයකින් මුහුණ දිය හැකි දුර ඉතා සීමිත විය හැක. අවම වශයෙන් මේ හරහා රාජපක්ෂ පවුල දේශපාලනිකව පරාජය කල හැකි නම් එය ජයග්‍රහණයකි. නැවතත්, ඉන් ඔබ්බෙහි වූ අහඹු සිදුවීමකට ද ඇති ඉඩ මෙහිදී කිසිසේත්ම ප්‍රතික්ෂේප කරන්නේ නැත. නමුත් ගැටළුව වන්නේ කේන්දර බලන්නාක් මෙන් දේශපාලනය යනු එවන් නොදන්නා අනෙකෙකුගේ නොදන්නා සිදුවීමක් ඉලක්කය ලෙස පවත්වාගෙන දේශපාලනය අනෙකාට බාරදීමක් නොවීමයි. එසේම පශ්චාත් – රාජපක්ෂ දේශපාලනයකදී මේ බහුත්වවාදී ගොනුව එක්කොට තබා ගත හැකි දේශපාලන භාවිතයක් වේදැයි අප පරීක්ෂා කල යුතුවේ. පශ්චාත් රාජපක්ෂ යුගයක් පද්ධති වෙනසක් වන්නේ නම් එවැනි නිගමනයකට ආවේ කුමන නිරීක්ෂණ හරහාද කියා ද පැහැදිළි කරගත යුතුය. ඊනියා මහජනයා දේශපාලන පරිවර්තනයකට ලක් වී නම් පශ්චාත් රාජපක්ෂ යුගය පාර්ලිමේන්තු නියෝජිතවාදය අභිබවා ගිය නව දේශපාලන භාවිතයකට ඇතුළු වේද? එසේ වේ නම් ඒ කුමන ආකෘතියකින් විය හැකිද? ගෝල්ෆේස් බහුත්වවාදීන් එකිනෙකාට පොදුවේ අභිමුඛ වනවිට ඔවුන් දේශපාලනය කතා කරගන්නේ කුමන මූලධාර්ම මත සිටද? මේ නැවත නැවතත් අප අපෙන් අසාගතයුතු මූලධාර්මික දේශපාලන ප්‍රශ්නයි.

නැවත තත්ත්වය සරළව සාරාංශ කරන්නේ නම්, අප්‍රේල් නැගිටීම්හි ප්‍රකාශිත ඉලක්කය වන රාජපක්ෂ ගෙදර යාම සිදුවුවහොත් ඉන්පසු ලංකාව යනු කුමක්දැයි දේශපාලන පරිකල්පනයක් හෝ දේශපාලන දිශානතිය කුමක්දැයි කිසිවෙකුට හෝ අදහසක් ඇත්ද? හුදු ආණ්ඩු මාරුවකට ඔබ්බෙහි වූ වියහැකියාවන් සදහා විකල්ප චිත්‍ර පවතින්නේද? එසේ නම් ඒ මොනවාද? අවම වශයෙන් එක් දේශපාලන සාධකයක හෝ පද්ධති වෙනසක් ලෙස සැලකීමට හැකි ඡායාමාත්‍ර ගුණයක් හෝ අප්‍රේල් නැගිටීම් තූළ තිබේද? තිබේ නම් ඒ කුමන ගුණයන්ද?

අප්‍රේල් නැගිටීම් අයෙක් බැරෑරුම්ව සලකන්නේ නම් කලයුත්තේ විවිධ අලංකාරික හරහා දේශපාලන යුතෝපියාවක් මැවීමද? නැත්නම් රාජපක්ෂලා වැනි පාලකයන් වරින්වර පත්කල ඊනියා මහජන විඤාණය විවේචනයද? ලංකාවේ පාලකයන් හා ජනතාව ලෙස දෙකට බෙදනා දෘෂ්ටිවාදී වෙන්කිරීමම වෙනුවට පාලකයන් යනුම මහජනයා බව ඊනියා මහජනයාට කියාදිය යුතුය. මේ යුගයේ මහජනයා අපට උගන්වන්නේ නරුමවාදයයි. ඔවුන්ගේ ඉල්ලීම නැවතත් සිය සුවපහසු පරිභෝජනවාදී ජීවිතය නැවත ලබාදෙන ලෙසයි. ඔවුන් දැන් ‘නිදහස’ කියන්නේ පරිභෝජනවාදයේ නිදහසයි. ඔවුන් ‘අයිතිය’ කියන්නේ පරිභෝජනයට ඇති අයිතියයි. මහජනයා යනු දැනටමත් නොපවතින්නකි. මහජනයා යනු යළි නිර්මාණය කල යුතු දේශපාලන ප්‍රස්තුතයකි. ගෝටා ගෝ ගම උද්ඝෝෂණය ‘දේශපාලන අරගලයක්’ වීමට නම් ඊනියා ‘මහජනයා’ නම් දේශපාලන සංකල්පය කුඩා කුඩා ලිබරල් බුබුළු කූඩාරම් තුළින් එළියට ගත යුතුව ඇත.

 

බූපති නලින් වික්‍රමගේ

 

1 කොටස – https://www.aithiya.lk/14741/go-home-gota-protest/

2 කොටස – https://www.aithiya.lk/14745/go-home-gota-protest-2/

 

Social Sharing
නවතම විශේෂාංග