රුපියලේ විනිමය වටිනාකම වෙළඳපල බලවේගවලින් තීරණය වීම පිණිස රුපියල පා කිරීමට (float) ජේ.ආර්. ජයවර්ධන පියවර ගත්තේ සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව විනිමය අගය පාලනය කිරීම සියතට ගෙන රුපියල අති ප්‍රමාණය වීමට ඉඩ දී සිටි නිසාය. එකල පැවති Bretton Woods ක්‍රමය තුළ දේශීය මුදල්වල විනිමය අගය අතිප්‍රමාන වීමට හේතු වූ බැවින් බොහෝ රටවල් එම ක්‍රමය තුළම හිඳිමින් මුදල් අවප්‍රමාණ කිරීමට ද පියවර ගෙන තිබුණි. ලංකා රුපියල අති ප්‍රමාණය වීමෙන් අපනයනය අධෛර්යවත් වූ අතර ආනයන ධෛර්යවත් විය. එහෙත් එම ආණ්ඩුව ආවෘත ආර්ථික ක්‍රමයක් (closed economy) අනුගමනය කළ බැවින් ආනයන දැඩි ලෙස සීමා කර තිබුණු අතර අපනයන මත පදනම් ආර්ථිකයක් වෙනුවට දේශීය යැපුම් ආර්ථිකයක් (subsistence economy) ගොඩනැගීම කෙරෙහි යොමු වී සිටියේය.
එම ආණ්ඩුව මහජනයාට තිත්ත වූයෙන් ඊට විකල්ප ලෙස ජේ. ආර්. ජයවර්ධන යෝජනා කළ විවෘත ආර්ථික ක්‍රමය කෙරෙහි විශ්වාසය තැබූ ඡන්ද දායකයා ජේ. ආර්. ජයවර්ධනට හයෙන් පහක දැවැන්ත බලයක් ලබා දුන්නේය. නිදහස් වෙළඳපල අර්ථ ක්‍රමයක් (market economy) තුළ අපනයනාභිමුඛ (export oriented policy) ආර්ථික ප්‍රතිපත්තියක් (export oriented policy) හඳුන්වා දුන් ජයවර්ධන රජය අපනයන දිරිමත් කිරීම පිණිසත් ආනයන අධෛර්යවත් කිරීම පිණිසත් පාවෙන විනිමය ක්‍රමය (floating exchange rate system) හඳුන්වා දුන්නේය. ඒ අනුව රුපියලේ විනිමය අගය එහි ඉල්ලුම හා සැපයුම අනුව නැතහොත් වෙළඳපල බලවේග අනුව තීරණය වීමට ඉඩ හරින ලද අතර එහි ප්‍රතිඵලය ලෙස රුපියල් හතේ සීමාවේ පැවති ඩොලරය එක් රැයකින් රුපියල් 15 සීමාව ඉක්මවා ගියේය.
ඒ අනුව රුපියල අවප්‍රමාණ වී තාර්ත්වික විනිමය අගයක් තීරණය විය. එතැන් පටන් වෙළඳපල බලවේග අනුව රුපියලේ විනිමය අගය තීරණය වීමට ඉඩ හරින ලද අතර මහබැංකුව ඊට මැදිහත් වූයේ අවම ලෙස හා වක්‍රාකාරයෙන්ය. එහෙත් ජයවර්ධන ජනාධිපතිවරයාගේ පාලන කාලයෙන් පසු බලයට පත් සියලු ජනාධිපතිවරු මුදල් අමාත්‍ය ධුරය ද සියතට ගත්හ. ඒ අනුව මහබැංකුව සිය විධායක බලයට යටත් කරගැනීමට හැකිවිය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මුදල් ඇමති ධුරය භාර නොගත් නමුදු එය ඔහුගේ සහෝදරයන්ට පැවරුවේය. එක් මහබැංකු අධිපතිවරයෙකුට ටූල්ස් (financial tools) පාවිචි කොට පසු දා උදේ වන විට ප්‍රශ්නවලට විසඳුම් සොයාගෙන එන ලෙසත් එසේ කිරීමට අපොහොසත් වන්නේ නම් ජනාධිපතිවරයා සිය ටූල්ස් පාවිච්චි කරන බවටත් තර්ජනය කිරීමෙන්ම මහබැංකුව ජනාධිපතිවරයාගේ අණසක යටතේ පවතින බව ප්‍රත්‍යක්ෂ වේ.
ඉදින් මහබැංකුව දේශපාලන උපකරණයක් ලෙස භාවිත කෙරෙන අතර එහිලා ද වෙසෙසින්ම විනිමය අනුපාතිකය සම්බන්ධයෙන් දේශපාලන මැදිහත් වීම අසීමිත විය. එමගින් වෙළඳපල බලවේගවලට රුපියලේ විනිමය අගය තීරණය වීමට තිබූ ඉඩ අහුරා දමා එය දේශපාලන උවමනා එපාකම් මත තීරණය කරනු ලැබීය. අපේ රට ආහාර, පාරිභෝගික භාණ්ඩ, ඖෂධ, අන්තර් භාණ්ඩ, ප්‍රාග්ධන හා සුඛෝපභෝගී භාණ්ඩ යන සෑම භාණ්ඩයක්ම වැඩි වශයෙන් ආනයනය කරන රටක් වන බැවින් ආනයනික භාණ්ඩවල මිල ඉහළ යාම ආණ්ඩුවට දේශපාලන අවාසි ගෙනදෙන්නක් වේ. එබැවින් විනිමය අනුපාතිකයේ ආර්ථික ප්‍රතිවිපාක පසෙක ලා දේශපාලන වාසි තකා විනිමය අනුපාතයට විලංගු ලා බැඳ දැමීමට මහබැංකුවට සිදුවිය. එහි ප්‍රතිඵලය ලෙස රුපියල කෘතීම හා මායාකාරී ලෙස ශක්තිමත් මුදලක් ලෙස පවත්වාගෙන යනු ලැබීය.
රුපියල කෘතීම ලෙස අතිප්‍රමාන කරගෙන ආණ්ඩුවේ ශක්තිය පෙන්වීමට යාමෙන් ලද ප්‍රතිවිපාක දරුණුය. මේ නිසා ඩොලරයට ලැබෙන රුපියල් ගණන අඩුවූ බැවින් අපනයන කර්මාන්තවල රුපියල් ඉපයුම අඩු විය. එමෙන්ම විදේශ රැකියා නියුක්තිකයන් වසරකට සංක්‍රාම ලෙස ලංකාවට එවූ ඩොලර් බිලියන 6ක් පමණ මුදලකට දිගු කලක් නිසි රුපියල් අගයක් නොලැබිණි. ඩොලරයට ගෙවන රුපියල් ගණන කෘතීම ලෙස අඩු මට්ටමක පවත්වා ගැනීමෙන් මේ දෙඅංශයම අධික ලෙස අපයෝජනය විය. විදෙස් ශ්‍රමිකයන්ගෙන් හා අපනයනවලින් ලද සෑම ඩොලරයකින්ම සැලකිය යුතු රුපියල් ගණනක් ඒ අනුව ඔවුන්ට අහිමි විය. අපනයන ලෙස ගැනෙන තේ, පොල්, රබර්, මැණික්, මිනිරන්, ඇඟලුම් වැනි භාණ්ඩ නිෂ්පාදනයේ නිරතව සිටින්නේ ද මැදපෙරදිග රැකියාවල යෙදෙන්නේද සමාජයේ අඩු වරප්‍රසාද හිමි දුප්පතුන් යැයි සැලකෙන ශ්‍රමිකයන් කොට්ටාසයකි.
අපනයනවලට නිසි රුපියල් වටිනාකමක් ලබා ගැනීමට හැකි වී නම් එම අපනයනකරුවන්ගේ ලාභය වැඩි වී ශ්‍රමිකයන්ගේ වැටුප් ද වැඩි කිරීමට ඉඩ තිබුණි. කුඩා වතු හිමියන්ගේ රුපියල් ආදායම ඉහළ යාමට ඉඩ තිබුණි. ඩොලරයට නිසි රුපියල් වටිනාකම ලැබුණි නම් වතු කම්කරු වැටුප් වැඩි කිරීමට සමාගම්වලට හැකියාව තිබුණි. වැවිලිකරුවන්ට එය කළ නොහැකි වී ගියෙන් අවසානයේ එය ද දේශපාලන පොරොන්දුවක් බවට පත්වුණේ මහබැංකුව විසින් රුපියල අතිප්‍රමාන කොට පවත්වාගෙන ගිය නිසාය. මහබැංකුව කළ මේ වරද නිසා විදේශ ශ්‍රමිකයන් මෙන්ම අපනයන කර්මාන්තවල නියුතු සේවකයන්ගේ ද ක්‍රය ශක්තිය දැඩි ලෙස බිද වැටුණු බව මෙයින් පැහැදිලි වේ. උපයන සෑම ඩොලරයකටම නිසි රුපියල් වටිනාකමක් ලැබුණේ වී නම් දස ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ ඉපයුම ඉහළ යන්නට ඉඩ තිබුණු අතර ඒ අනුව දේශීය පරිභෝජනය හා ජීවන මට්ටම ද ඉහළ යාමට ඉඩ තිබුණි. එමගින් ආර්ථික වර්ධන ප්‍රතිවිපාකයක් ද හටගනී.
අනෙක් අතට, රුපියලට විලංගු දා තැබීමෙන් වාසි අත්වූ පිරිස වන්නේ ආණ්ඩුව හා ඉහළ ආදායම් ලාභීන්ය. ආණ්ඩුවට වාසි සැලසෙන්නේ ආනයනික භාණ්ඩ මිල පහල මට්ටමක පවත්වා ගැනීමෙන් හා එම භාණ්ඩ සුලභ වීමෙන් ආණ්ඩුවට කීර්තිනාමයක් ලැබෙන බැවිනි. අනෙක් පිරිස වන ඉහළ ආදායම් ලාභීන් ආනයනික භාණ්ඩ පරිභෝජනයට වැඩි දායකතත්වයක් දක්වන පිරිසකි. අධි සුඛෝපභෝගී රථ වාහන, විදුලි හා විද්‍යුත් උපකරණ, සන්නම් භාණ්ඩ, පළතුරු, මස් මාංශ, චීස්, බටර්, මද්‍යසාර, විසිතුරු භාණ්ඩ, සුවඳ විලවුන්, ගෘහ භාණ්ඩ හා ගෘහස්ථ සවිකිරීම් මෙන්ම විදේශ සංචාර යනාදිය ඔවුන්ගේ ජනප්‍රිය පරිභෝග භාණ්ඩ වේ. රුපියල අතිප්‍රමාන වන විට මේ භාණ්ඩවල රුපියල් මිල අඩු අගයක් ගනී. එය ඔවුන්ගේ පරිභෝජන කටයුතු වැඩි වැඩියෙන් කරගෙන යාමට අනුබලයකි. සුඛෝපභෝගී රථ, ජංගම විද්‍යුත් උපකරණ, පුළුල්තිර ස්මාර්ට් රූපවාහිනී යන්ත්‍ර ඇතුළු බොහෝ දෙනෙකු නොදන්නා භාණ්ඩ හා විදෙස් සංචාර යනාදිය ද ප්‍රචලිත වූයේ ඒ අතිප්‍රමාන රුපියලේ වාසිය නිසාය. එහෙත් විනිමය උපයන්නන් ලංකාවට එවන විදේශ විනිමයට නිසි මිලක් නොලැබ ක්‍රය ශක්තිය පිරිහුණු දරිද්‍රයන් පිරිසක් බවට පත්විය. මෙයින් සිදුවූයේ එක් පිරිසකගේ ආනයනික භාණ්ඩ පරිභෝජනය වෙනුවෙන් තවත් පිරිසක් වන්දි ගෙවිය යුතු වීමය.
මෙම අපයෝජනය තේරුම් යාමත් සමග විදෙස් ශ්‍රමිකයන් හෙවත් “රට විරුවන්” කළු කඩ ක්‍රමයට සිය විනිමය ඉපයුම් හුවමාරු කිරීමට පෙළඹුණේය. උන්ඩියල් හා හවාලා වැනි විනිමය කළුකඩ මගින් ඔවුන් උපයන විදේශ විනිමයට නිසි මිලක් ලබාගත හැකි විය. මහබැංකු විනිමය අනුපාතයත් කළුකඩ විනිමය අනුපාතයත් අතර පරතරය දිනෙන් දින වර්ධනය වූ බැවින් මහබැංකුව නියම කළ මිලට විනිමය හුවමාරු කිරීමට උපයන්නන් මැලි විය. සංක්‍රාමවලට අමතර රුපියල් 10ක් ලබා දීමට මහබැංකුව ක්‍රියාකිරීමෙන්ම රජයේ විනිමය අපයෝජනය නීතිගත විය. කුණුකොල්ලෙට විනිමය මිල දී ගැනීමට ගත් මහබැංකු තැත ව්‍යර්ථ වූයෙන් ලංකාවට ලැබෙන සංක්‍රාම හිඳී ගියේය. අනෙක් අතට අපනයනකරුවන් ද සිය විනිමය ඉපයුම්වලින් අධිකතර කොටසක් ලංකාවට ප්‍රේෂණය කිරීමෙන් වැලකී සිටියේය.
විදේශ විනිමය ගෙන්වා ගැනීමට නම් ඩොලරයේ සත්‍ය වටිනාකම් ස්ථාපිත කළ යුතු බව මහබැංකුවට හැඟුනේ කල් පමා වූ පසුය. යළිත් රුපියල පාකිරීමට ගත් තීරණයත් සමග ඩොලරයට රුපියල් 285ක විනිමය අගයක් තීරණය විය. ඩොලරයට එතෙක් දෙන ලද රුපියල් 202+10 වෙනුවට දැන් රුපියල් 285ක් ලැබේ. අද තත්වය අනුව නම් මහබැංකුව සෑම ඩොලරයකින්ම රුපියල් 73ක් අපයෝජනය කළ බව පැහැදිලිය. මෙම අපයෝජනයෙහි ප්‍රතිඵලයක් ලෙස ආහාර හා ඖෂධ මිල අඩු මට්ටමක තබාගැනීමෙන් දිළින්දන්ට යම් සහනයක් වූ බව සැබෑ වුවත් එමගින් පොහොසතුන්ට “සුදි” කිරීමට ලැබුණු අනුබලය ඉමහත්ය. මෙම විනිමය අපයෝජනය කරනකොට ගෙන උද්ගතව ඇති ව්‍යසනයට මහබැංකුවේ මුදල් මණ්ඩලය සහ දේශපාලන අධිකාරිය වන්දි ගෙවිය යුතු වුවද අභාග්‍ය වන්නේ ඊට පොදු මහජනයාට වන්දි ගෙවීමට සිදුවීමයි!
– මිල්ටන් රාජරත්න