‘ඔබ හිතන් ඉන්නා හීන ලෝකය ඔයාකාර වුණත්, පයගහන් ඉන්න වෙන්නේ මේ ලෝකේ’

ප්‍රගීත් රත්නායකගේ චිත්‍ර ප්‍රදර්ශනයේ තිබූ චිත්‍ර ආකාර දෙකකි. එකක් නම්, ගුණදාස අමරසේකරගේ ‘භාව ගීත’ සිහි කරවන, ‘හදබස’ට අමතන, සිහින ලොවෙන් ගෙනත් අතෑරියා සේ පෙනෙන, සොබාදහම සමඟ වෙසෙන එයින් පලා නොයන, දිදුලන බිඳිති, මල් වැසි,  වැටුණු පත් සහිත, අලු, සුදු, ක්‍රීම්, රෝස, ලා නිල්, ලා දම් වැනි නෙතට ප්‍රිය ලා වර්ණ සහ ඒවායේ ප්‍රභේධ සහිත සිතුවම් ය. ඊට විශය වූයේ, සොබාදහමෙන් නොමිදුණු මිනිස් වාසයයි. නැත්නම්, කොන්ක්‍රීට් වනන්තරයක වෙසෙන මිනිසුන්ට දැනෙන හරිත පරිසර ඉම් සොයා යන ආසාවයි. සාම්ප්‍රදායික චිත්‍ර රටා මෝස්තර, සීගිරි සිතුවම්වල නැතිනම් අජන්තා සිතුවම්වල එන කාන්තා මුහුණුවල සමීප රූප, ගස් වැල්, බොකු බඩවැල් ලෙසින් මතුවූ ශාඛා, නිරුවත් පුරුෂ කායන්, කාන්තා මුහුණු, ත්‍රිකෝණ, වලාකුළු, දුමාරය, වැස්ස, ගල් පතුරු මේවායේ වෙයි.

දෙවනි වර්ගය නම්, අඳුරු පැහැ වර්ණවල ප්‍රභේද පෙන්වන, කාර්‍යබහුල මිනිස් වාසය පෙන්නුම් කරන සිත්තම් ය. නොඑසේ නම්, පරිසරයෙන් වියුක්ත වීම නිසා දක්වන වෙහෙස, අරගලය පෙන්වන දේ ය. මේවායේ ඇත්තේ  අර කී සිහිනය, ආසාව නොව තිත්ත සැබෑවය. මේ චිත්‍රවල පෙනෙන්නේ තාප්ප, ගඩොල්, පඩිපේළි, ඔලුගෙඩි, දුමාරය, අතරින් වැලක් ගහක් මතුවෙන වස්තුය. එසේ ම, උත්සාහීව වුවමනාවෙන් යෙදූවේ යැයි සිතෙන විශයානුබද්ධ වචන, අකුරු, සංකේත ය. මේ දෙවනි ආකාරය ගත් සිතුවම්, සුජිත් රත්නායක මෑතක පැවැත්වූ චිත්‍ර ප්‍රදර්ශනයේ සිතුවම්  සිහිකෙරවීය.  යතාර්ථයට වඩා අප ආසා කරන්නේ, නොලැබුණු හීන ලෝකේ ඉන්නට නිසාදෝ මේ දෙවනි ආකාරයේ චිත්‍ර තිබූ පැත්තේ වැඩි පිරිසක් ගැවසෙනු නොදුටීමි.

මේ ආකාර දෙකේ චිත්‍ර ශාලාවේ එල්ලා තිබූ නැතිනම් ස්ථානගත කර තිබූ ස්වභාවය මෙසේය. පෙර කී ‘ආශාවේ චිත්‍ර’  එල්ලා තිබුණේ ශාලාවේ දකුණු පසට වන්නටය. නොඑසේ නම්, ශාලාවට පැමිණිවිට ම සැවොම යන කොටසේ ය. දෙවනි ආකාරයේ ‘යතාර්ථයේ චිත්‍ර’ තිබුණේ, ශාලාවේ වම් පසට වන්නට තිබූ චිත්‍ර අතර ය. හුදකලාවේ හැංගිලා ය. ඇතැම් ඒවා ශාලාවේ දොර පැත්තේ කොණේය.  මේ චිත්‍ර ආකාර දෙක එල්ලා තිබූ තැන වෙන් කරන රේඛාව බවට වූයේ, අර කෙලින් සිට වූ මිනිසාගේ අනුරුව ය.

දියසායම් ඔහේ වැටෙන්නට සැලැස්වීමෙන්, එක ම තැන බලි ගොඩක් ඇදීමෙන්, මුලින් ගෑ වර්ණ විනාස නොවන සේ රන්, රිදී, කලු, සුදු පෑන්වලින් අවැසි තැන්වල රේඛා මතුකිරීමෙන් මේ චිත්‍ර නිමවා තිබිණි.

මීට පෙර ප්‍රගීත් පැවැත්වූ ‘එකලස් රූප’ ප්‍රදර්ශනයේ දී, එක ළඟ ළඟ ම සිටින නමුත් කොටු කොටු බිල්ඩිම්වල ජනෙල් මුහුණතින් පෙනෙන රූ සේ දුර වූ මිනිස් මුහුණු විය. ‘Humanscape’ ප්‍රදර්ශනයේ දී, එක් එක් කෙනා කරා සමීපයට ගිය විට පෙනෙන පුද්ගල රූත්, තමන් වෙත ආපිට හැරුණු විට පෙනෙන තම පිළිරුවත් (තමන්ගේ ම මුහුණ පැහැදිලිව පෙනෙන චිත්‍ර  5ක් පමණ) සිත්තම් කර තිබිණි.

මේ දෙආකාරයේ ම චිත්‍රවල, අහස උඩ, කඳු උඩ, පර්වතවලට ඉහළින් රවුමක් තුළ ‘රට’ යන්නක් ලියා ඇඳ තිබිණි. මෙය බොහෝ චිත්‍රවල දක්නට ලැබුණත්, මුද්‍රාවක් සේ හැම චිත්‍රයට ම යෙදීම අවශ්‍ය නැති බව අපගේ අදහසයි. සැබෑ ලොව සම්මුඛ වන නෙලුම් කුලුණ, ඔටුනු පලන් කපුටා ආදිය, අර ආසාව දනවන මුලදී ම කිවූ සොබා චිත්‍ර මැදට ද ගෙනත් අතැර තිබීමෙන්, චිත්‍ර නරඹන්නාගේ ‘නරඹන ආස්වාදය’ සමඟ ද සිත්තරා සෙල්ලම් කර ඇත්තේ, ‘ඔබ හිතන් ඉන්නා හීන ලෝකය ඔයාකාර වුවත්, පයගහන් ඉන්න වෙන්නේ නම් මේ ලෝකේ ය’ යි කියන්නා සේ ය. වෙනත් ලෙසකින් කියන්නේ නම්, මේ ස්වභා දෙකේ ම චිත්‍ර එක ම තැනක තියන්නට ඇත්තේ, ‘දකුණු පැත්තෙ තියෙන හීන ලෝකෙට ගිහින් ආසා වස්තුව බලල, වම් පැත්‍තට ඇවිත් ඔය නැගපු අහසින් බිමට වැටිල ටිකක් බලන්නකො’ යි කියන්නට විය යුතුය.

ඩිල්ෂානී චතුරිකා දාබරේ
Social Sharing

නවතම විශේෂාංග