රුසියාවේ මඳ නිහඬතාවය ලොකු ප්‍රහාරයකට ද ??

එක්සත් ජනපදයේ යුද අධ්‍යන පිළිබඳ ආයතනයේ යුද විශ්ලේෂකයන් විසින් වර්තමාන රුසියානු යුක්‍රේන් අර්බුදය පිළිබඳව ඉඳිරිපත් කර ඇති කරුණු අනුව රුසියාව මේ වන විට මඳ නිහඩතාවයක් පෙන්නුම් කරමින් සිටී. විශ්ලේශකයන්ට අනුව එය යුද ව්‍යාපාරයේ ප්‍රතිසංවිධානගත වීමකි. ඔවුන් පවසන්නේ යුක්‍රේන ආරක්ෂක උපක්‍රම රුසියානු රාජ්‍ය බලාපොරොත්තු වූවාට වඩා බෙහෙවින් ශක්තිමත් වූ බැවින් ඊට එරෙහි වීමට රුසියාව ප්‍රතිසංවිධානගත වන බවයි. ඒ අනුව රුසියාව ඉදිරි පැය කිහිපය තුළ වැඩි ශක්තියකින් සිය ප්‍රහාරය නැවත අරඹනු ඇතිබව ඔවුන් ප්‍රකාශ කර සිටියා.

නමුත් රුසියාව මේ වන විටත් සිය හමුදාවන්ගෙන් 70%ක් දක්වා බට පිරිස් යුක්‍රේනයට යවා ඇති බව හමුදා විශේෂඥයන් පවසයි. එනම් ඊයේ (1) රාත්‍රියේ දී රුසියානු කාලතුවක්කු ප්‍රහාරයකින් යුක්‍රේන සොල්දාදුවන් 75 දෙනෙකු මියගිය බවට විදෙස් මාධ්‍ය වාර්තා කළහ. එමෙන්ම දකුණුදිග යුක්‍රේනයේ පරිපාලන මධ්‍යස්තානය වන කර්සෝන් නගරය මේ වන විට රුසියාවට නතු වී තිබෙන බවට බිබීසී පුවත් සේවය වාර්තා කළේය.

එසේ වූවද යුක්‍රේනයේ කියෙව් අගනුවර තවමත් යුක්‍රේන ආරක්ෂක සංවිධාන ශක්තිමත්ව පවතී. නමුත් රුසියාව දිගින් දිගටම තම ආරක්ෂක ඛන්ඩයන් යුක්‍රේනය වෙත පිටත් කර හරින්නේ නම් කියෙව් අගනුවර පාලනය ද ගිලිහී යාමට ඉඩ ඇත. රුසියානු හමුදාව මේවනවිට නිවේදනයක් නිකුත් කරමින්  කියෙව් නුවරවාසීන්ට නගරයෙන් ඉවත්වන්න යැයි කියා ඇත. එනමුත් රුසියාව අගනුවර පාලනය ලබා ගනීමට දරණ වෑයම ඉතාම මිළ අධික එකක් වියහැකි බව විශ්ලේෂකයෝ පවසති.

ආරංචි මාර්ග පවසන අන්දමට හාර්කිව් හි සිටින රුසියානු හමුදා මේ වන විට ටියුබ් සහ රොකට් කාලතුවක්කු මෙන්ම තහනම් ආයුධ (තාපජ අවි සහ රික්ත බෝම්බ්) භාවිත කරමින් හාර්කිව් හි වැසියන් දුසිම් ගනණක් ඝාතනය කර ඇත. කෙසේ නමුත් තම සන්නද්ධ හමුදාවන්ට ගෙවීම් සිඳු කිරීමට යුද බැඳුම්කර විකිණිමට සැලසුම්කර ඇතිබව යුක්‍රේන රජය පවසයි. එමෙන්ම එරට ජනපති සෙලෙන්ස්කි තම රට හරහා පියාසර කිරීම තහනම් කලාපයක් නිවේදනය කරන ලෙසත් රුසියාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකත්වයෙන් ඉවත් කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලා ඇත. තව ද යුක්‍රේනය යුරෝපා සංගමයට බැඳීම සඳහා නිල වශයෙන් කළ ඉදිරිපත් කිරීමට මේ වන විට සාමාජිකත්වය දරණ රටවල් 8ක් සහයෝගය පළ කර ඇත.

එමෙන්ම ඊලෝන් මස්ක් විසින් යුක්‍රේනයේ අන්තර්ජාල පද්ධතිය ශක්තිමත් කිරීමට අන්තර්ජාලය හා සම්බන්ධවිය හැකි චන්ද්‍රිකා (ස්ටාර්ලින්ක්) තොගයක් එරටට යවා ඇති බව යුක්‍රේන උප අගමැතිගේ ට්විටර් ගිණුමෙහි සඳහන් කර තිබුණි. එසේම යුක්‍රේනයට තම මව්බිම ආරක්ෂා කර ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 50ක් ලබා දෙන බවට ඕස්ට්‍රේලියාව විසින් ප්‍රකාශයක් නිකුත් කර ඇති බවට විදෙස් ආරංචි මාර්ග වාර්තා කර තිබුණි.

තවද රුසියාවෙහි ප්‍රධාන තෙල් ආනයනකරුවා වන කැනඩාව තම ආනයන තහනම් කර ඇත. එය රුසියාවේ ආර්ථිකයට දැඩි ලෙස බලපාන බව ආර්ථික විශ්ලේෂකයන් පවසයි. මේ වන විට රුසියාවට එරෙහි පනවා ඇති විවිධ සම්බාදක හේතුවෙන් එරට සාමන්‍ය ජනතාව මහත් පීඩාවට පත්ව ඇති බව වාර්තා වේ.

හේෂානි කරුණාරත්න

Social Sharing
නවතම විදෙස්