තොරතුරු කොමිසමේ සභාපති පත් කිරීම පිළිබඳ  සිවිල් සංවිධානවල දැඩි අවධානය!

තොරතුරු දැනගැනීමේ කොමිසමේ සභාපති පත් කිරීම පිළිබඳ  සිවිල් සමාජ සංවිධානවල දැඩි අවධානය යන මැයෙන් නිකුත් වූ මාධ්‍ය නිවේදනය හා බැඳේ

– වසර 2021 දෙසැම්බර් මස 22 වැනිදින කොළඹදී

දිගුකලෙක පටන් ශ්‍රී ලාංකේය පුරවැසි සමාජය ඉමහත් අපේක්ෂාසහගතව  පසුවූ  සමාජ හා දේශපාලන ප්‍රතිසංස්කරණයක් වූයේ තොරතුරු දැනගැනීමේ පනතක් මෙරටේ නීතිගත වීමයි. එවැන්නක් මෙරටෙහි සම්මත වීම   නිසැකවම අප රටෙහි ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් හා රාජ්‍යකරණයේ නිර්දේශපාලනිකත්වය කෙරෙහි ආශක්ත පුරවැසි සමාජයේ ජයග්‍රහණයකි.

ඊට සමගාමීව ස්ථාපිත පළමු කොමිෂන් සභා සාමාජිකයන්ගේ ධූරකාලය  නිමාවීමත් සමඟ අභිනව කොමිෂන් සභාවක් පත්කොට ඇත්තේය. ඒ පසුගිය වසරේ සම්මත විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ප්‍රකාරව පිහිට වූ පාර්ලිමේන්තු සභාවේ නිරීක්‍ෂණ හා ජනාධිපතිවරයාගේ අභිලාශ පරිදිය.

එලෙස ප්‍රතිෂ්ඨාපිත දෙවැනි කොමිෂන් සභාවේ සාමාජික තෝරාගැනීම් පිළිබඳව අප වෙසෙස් අවධානයක් දක්වන ලද්දේ මෙකී සුවිශේෂී ක්‍ෂේත්‍රයෙහි දිගුකලෙක පටන් නියැළුණු හා එහි ප්‍රගතිය උදෙසා කැපවූ පිරිසක් ලෙසිණි. ඒ අනුව අප ඉහත කී මාධ්‍ය නිවේදනය හා එකඟව අස්සන් තබන ලද්දේ  අභිනව කොමිෂන් සභා සභාපතිවරයා අදාළ තනතුරට පත්කිරීම අයෝග්‍ය හා අනුචිත තීරණයක්ය යන අපගේ ස්ථාවරය තහවුරු කිරීමේ එක් පියවරක් ලෙසිණි. එකී ස්ථාවරය අද ද නොවෙනස්ව පවත්නා අතර ඉහත කී මාධ්‍ය නිවේදනයේ මුඛ්‍ය අරමුණද එයම විය. එහිලා තම වෘත්තීමය මැදිහත්වීම හමුවේ ප්‍රශ්ණගත තැනැත්තෙක් බවට පත්ව ඇති සභාපතිවරයා වෙනුවට නව සභාපතිවරයෙක් පත්කිරීම අවශ්‍යයෙන්ම සිදුවිය යුතු වෙනස්කමක් ය යන්න අවිවාදිතය.

එමෙන්ම  එකී නිවේදනයෙහි තැනෙක, සමස්ත කොමිෂන් සභාවෙහි නැවත පත්කිරීමක් පිළිබඳව සලකා බලන ලෙස ද ජනාධිපතිවරයා වෙත යෝජනා  කොට ඇත්තේය එවැනි යෝජනාවක් සඳහා පදනම්වූ  කේන්ද්‍රීය කරුණ වූයේ,  දැනටමත් එහි එක් සාමාජිකයෙකු ඉල්ලා අස්වීමෙන්  පුරප්පාඩුව පවත්නා සාමාජික ධූරය සහ රටෙහි ප්‍රධාන ජනවර්ග හා අනෙකුත් අවදානම් සහගත මෙන්ම අඩු අවස්ථාලාභී ජනප්‍රජාවන් හා කණ්ඩායම් නියෝජනයෙහිලා සුදුසු තැනැත්තෙක් ද කොමිෂන් සභාවෙහි රැඳී සිටීම වඩාත් උචිතය යන ස්ථාවරය ඔස්සේය. පෙර මාධ්‍ය නිවේදනයෙහි කොමිෂන් සභා ව්‍යුහය නැවත ස්ථාපනය කල යුතුය යනුවෙන් අදහස් කරන ලද්දේ එකී කරුණයි. යටත් පිරිසෙන් මෙවන් පත්කිරීම් අභියස  මෙරටේ ස්ථාපිත භාෂා ප්‍රතිපත්තිය කෙරෙහි යම් සාධනීය සැලකීමක් දැක්වීම රජ්‍යකරණයේදී පළකළ හැකි වටිනා ආදර්ශයක් හා යහපත් පරිචයකි. එහිලා අප දැනටමත් ප්‍රතිෂ්ථාපිත කොමිෂම සඳහා පත්කොට ඇති සෙසු සාමාජිකයන් කෙරෙහි කිසිදු විරෝධයක් පළ කොට නැති බවද අවධාරණය කිරීමට කැමැත්තෙමු.

ඒ අනුව අප පෙර එළිදැක්වූ නිවේදනයට වැඩිමනත් ලෙස මෙම අතිරේක කරුණ අප මතුකරන ලද්දේ ඉහත පැහැදිළිව සඳහන් කරන ලද පරිදි කොමිෂන් සභාව නැවත ස්ථාපනය කිරීම හා සබැඳිව සිදුකර ඇති යෝජනාව පිළිබඳව විවිධ පාර්ශව අපගේ ස්ථාවරය විමසීම වෙනුවෙන් ලබාදෙන පිළිතුරක් ලෙසය. ඒ අනුව අප ආරම්භයේ පටන් දරන ස්ථාවරය වන්නේ තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවෙහි චිර පැවැත්ම හා කීර්තිමත් කාර්යයභාරය ආරක්ෂා කරගැනීම අරඹයා  ඊට ඉහළ සමාජ පිළිගැනීමක් හා නිසි සමාජ ගෞරවයක් දිනාගත් සුපිළිපන්න තැනැත්තෙක් සභාපතිවරයා ලෙස පත්කල යුතුය යන්නයි.

අස්සන් කළේ:

පිලිප් දිසානායක – විධායක අධ්‍යක්ෂ, රයිට් ටු ලයිෆ් (Right to Life) මානව හිමිකම් මධ්‍යස්ථානය

රෝහණ හෙට්ටිආරච්චි – විධායක අධ්‍යක්ෂ, පැෆ්රල් සංවිධානය

ලයනල් ගුරුගේ – ජ්‍යෙෂ්ඨ පර්යේෂක, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය

නිශාන්ත ප්‍රීතිරාජ් – ජාතික සංවිධායක, ජාතික දේශෝදය සභාව

මංජුල ගජනායක – ජාතික සම්බන්ධීකාරක, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (CMEV)

Social Sharing
නවතම