දොස්තර සංගමයත් සටන් මගට!

දීර්ඝ කාලයක් වෘත්තීය ක්‍රියාමාර්ග වලින් ඈත් ව සිටි දිවයිනේ ප්‍රධානතම වෛද්‍ය සංගමය සිය ආණ්ඩු හිතවාදී  සභාපතිවරයාගේ නිල නායකත්වයට තහනමක් වැටීමෙන් පසු වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් සටනට බැස තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසන්නේ දෙසැම්බර් 20 වැනි සදුදා උදෑසන 8 සිට පැය 24ක කාලයක් දිවයිනේ දිස්ත්‍රික්ක පහක  සියලුම රෝහල් හා සෞඛ්‍ය වෛද්‍ය ආයතනවල එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි.

ඒ, පශ්චාත් සීමාවාසික පත්වීම් ලබාදීමේ අර්බුදයක් මුල් කරගනිමිනි. මෙම වර්ජනය GMOA විසින් වර්තමාන ආණ්ඩුවට වෘත්තීය ක්‍රියාමාර්ගයකින්  අභියෝග කරන ලද පළමු අවස්ථාව ලෙස සැලකේ. වර්ජනය දියත් කෙරුනේ රාජපක්ෂ පාලනය බලයට පත් කිරීමට වෙහෙසුනු දොස්තර අනුරුද්ධ පාදෙනියට සංගමයේ සභාපති ලෙස කටයුතු කිරීම අධිකරණය විසින් වලක්වනු ලැබීමෙන් අනතුරුවය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති වෛද්‍ය චන්දික එපිටකඩුව පෙන්වා දෙන්නේ පශ්චාත් සීමාවාසික පත්වීම් ලැබීම සඳහා සුදුසුකම් ලැබූ වෛද්‍ය කණ්ඩායම් 02 ක වෛද්‍යවරුන් 1500 ක් පමණ මේවනවිට පත්වීම් ලබා ගැනීමට නියමිතව සිටින බවයි.

එම වෛද්‍යවරුන් දුෂ්කර ප්‍රදේශ, පර්යන්ත, රෝහල් සහ කොවිඩ් ඇතුළු විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත නිවැරදිව අනියුක්ත කිරීම තුලින් එම රෝහල්වල පවතින වෛද්‍යවරුන්ගේ හිගයට විසඳුම් ලැබෙන නමුත්

සෞඛ්‍ය බලධාරීන් අත්තනෝමතික ලෙස පශ්චාත් සීමාවාසික ලැයිස්තු සැකසීම හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක් උද්ගතවී ඇතැයි ඔහු සදහන් කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු පවසන පරිදි පශ්චාත් සීමාවාසික පත්වීම් ලබාදීමේ දී සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළකරමින් මන්නාරම, ත්‍රිකුණාමලය, රත්නපුර, නුවරඑළිය සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල වැඩ වර්ජනය ක්‍රියාත්මක කෙරේ.

ඔහු වැඩි දුරටත්  මාධ්‍ය  වෙත පවසා ඇත්තේ රෝගීන් අපහසුතාවයට පත් වන්නේ සිය වර්ජනය නිසා නොව සෞඛ්‍ය ලේකම්වරයාගේ ක්‍රියාකලාපය නිසා බවයි.

“මේ සෞඛ්‍ය ලේකම්වරයාගේ ක්‍රියාකලාපය නිසා රෝගීන් අපහසුතාවයට පත්වෙන්නේ මේ වෛද්‍ය වර්ජනය නිසා නෙමෙයි. සෞඛ්‍ය ලේකම්වරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපයි. නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වන වෛද්‍ය විජේසූරිය මහතාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය නිසා රෝගීන් අපහසුතාවයට පත්වෙන්නේ.”

පාදෙනියට තහනමක්

විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වරයා ලෙස පෙනී සිටීම තහනම් කරමින් අධිකරණ පසුගියදා  නියෝගයක් නිකුත් කර තිබුනි.

මොරටුව දිසා අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ එම සංගමයේ විධායක සභාවේ ක්‍රියාකාරීත්වය ද නැවත නිලවරණයක් පවත්වන තුරු අත්හිටුවමිනි.

එමෙන්ම එම පිරිසට සාමාජික මුදල් රැස් කිරීම, නීති ගාස්තු අයකිරීම, ශාඛා සමිති නිලවරණ පැවැත්වීම, නිල නාමය භාවිතා කිරීම හෝ සංගමය නමින් පෙනී සිටීම ද තහනම් කර ඇති බව ජනමාධ්‍ය වාර්තා කර ඇත.

Social Sharing
නවතම