කොවිඩ් නිසා රැකියා අහිමි වු නිදහස් වෙළඳ කලාප සේවක සංඛ්‍යාව ඉහළට !

මේ ගෙවෙමින් යන්නේ කොවිඩ් වසංගතයේ තෙවැනි රැල්ලය. කොවිඩ් වසංගතය  ආරම්භ වු 2020 මුල සිටම ඊට පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් රැසක් ගොදුරු විය.

විශේෂයෙන්ම කොවිඩ් දෙවන රැල්ල ආරම්භ වුයේද මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලකිනි. කොවිඩ් වසංගතය ආරම්භයේ සිටම මේ දක්වාම නිදහස් වෙළඳ කලාප සේවක සේවිකාවන් නම් පත්ව ඇත්තේ ගැටලු රැසකටය.

විශේෂයෙන්ම ඔවුන්ගේ රැකියා අහිමි වීම ඒ් අතර ප්‍රධාන වේ. වැටුප් කප්පාදු කිරිම්, අතිකාල සේවා අහිමි කිරිම් ආදි බොහෝ වරප්‍රසාද කර්මාන්තශාලා වලින් අඩු කරනු ලැබුයේ කොවිඩ් වසංගතය පෙරට දමමිනි.

මෙහිදි ස්ථිර සේවකයින්ටත් වඩා අපහසුතාවයට පත් වුයේ කොන්ත්‍රාත් පදනම මත සිටින අය හා මෑන් පවර් සේවක සේවිකාවන්ය.

මේ ගතවු කොවිඩ් වසංගත කාලය තුල අපනයන ඇඟලුම් ක්ෂේත්‍රයට සම්බන්ධ සේවක සේවිකාවන් එක්ලක්ෂ පනස්දාහකට පමණ රැකියා අහිමි වී ඇති බව මේ වන විට හෙළිව ඇත.

නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් පවසන ආකාරයට වසංගතයට පෙර අපනයන ඇඟලුම් ක්ෂේත්‍රයේ සේවක සේවිකාවන් ලක්ෂ පහක් සේවයේ යෙදී ඇති අතර මේ වන විට සේවයේ නියුතුව ඇත්තේ තුන්ලක්ෂ පනස්දාහක් පමණි. මේ  බව ඇඟලුම් සංවිධාන ඒකාබද්ධ සංසදයේ සංඛ්‍යාලේඛන පෙන්වා දී ඇත.

කොවිඩ් වසංගත සමයේ කිසිදු සේවකයෙකුගේ රැකියා අහිමිවීමක් සිදු නොකරන බවට රජය ප්‍රකාශ කර තිබුණි. නමුත් එය මේ වන විට සිදු නොවන බව පෙන්වා දෙන ඇන්ටන් මාක්ස් මහතා පවසන්නේ ජාත්‍යන්තර ගැනුම්කරුවන් සහ හාම්පුතුන් සේවක වරප්‍රසාද කප්පාදු කරමින් රැකියා අහිමි වීමේ තත්ත්වය දක්වා දුරදිග ගොස් ඇති බවය.

මේ වන විට ලැබෙන ඇණවුම් අවම සේවක පිරිසකගේ ශ්‍රමය මඟින් සපුරා ගන්නා බවද ඔහු චෝදනා කර සිටියි.

 

Social Sharing
නවතම