මුතුරාජවෙල භූමියේ හෙලිකොප්ටර් අංගනයක්?

මුතුරාජවෙල තෙත් බිම සම්බන්ධයෙන් මේ වන විට ඇත්තේ අර්බුදකාරී තත්වයකි. ඒ් ගැසට් නිවේදනයක් මාර්ගයෙන් මුතුරාජවෙල පාරිසරික සංවේදී කලාපයේ ඉඩම් නීතිවිරෝධී ලෙස නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීම සම්බන්ධයෙනි.

මේ සම්බන්ධයෙන් පහුගියදා සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සහ මිගමුව ප්‍රදේශයේ පදිංචි ධීවරයකු වන කේ. එස්. එන්. ප්‍රනාන්දු මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික පෙත්සමක්ද ගොනු කර තිබුණි.

ඒ් ගැසට් නිවේදනයක් මාර්ගයෙන් මුතුරාජවෙල පාරිසරික සංවේදී කලාපයේ ඉඩම් නීතිවිරෝධී ලෙස නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීමට ගෙන තිබෙන තීරණය හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ස්ථාපිත කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවට තීන්දුවක් ලබාදෙන ලෙසට එමඟින් ඉල්ලා තිබුණි.

පහුගිය කාලය පුරාවට පරිසවේදීන්ගෙන් මෙන්ම සිවිල් සමාජ සංවිධාන වලින් පැවසුනේ මේ මුතුරාජවෙල භූමිය අනවසරයෙන් ගොඩ කෙරෙමින් පවතින බවය. නමුත් රජය එය ප්‍රතික්ෂේප කර තිබුණි.

එහෙත් ගම්පහ නගරයේ ඇති වන වැසි ජලය පවා බැස යාමට නොහැකිව ජල ගැලුම් තත්ත්වයක් හටගත්තේ මේ මුතුරාජවෙල  භූමිය විශාල වශයෙන් ගොඩකර තිබු නිසා බව ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේදි හෙළිවිය.

කෙසේ නමුදු මේ වන විට මුතුරාජවෙල  භූමිය වෙනත් කාරණයක් සඳහා යොදා ගැනීමට උත්සහ ගැනීමේ කටයුත්තක් ගැන තොරතුරු හෙළිව ඇත.

ඒ් මෙම රක්ෂිතයේ හෙලිකොප්ටර් අංගනයක් සැකසීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් තිබෙන බවටය.

මුතුරාජවෙල යනු

ශ්‍රී ලංකාවේ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් පුරන්වූ කුඹුරු යායකි. බටහිර වෙරළ තීරය දිගේ පැතිරුණු උතුරින් මීගමු කළපුවත්, දකුණින් කැලණි ගඟත්, බටහිරින් වෙරළ තීරයෙන් හා නැගෙනහිරින් කොළඹ-මීගමු ප්‍රධාන මාර්ගයෙන් ද සීමා මායිම්ව පිහිටා ඇති මුතුරාජවෙල ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය අතින් අනූන බිමකි. මීගමු කලපුවත් එක්ව ගත් කල මුතුරාජවෙල වගුරු බිම හෙක්ටයාර දස දහස් ගණනක් පුරා ව්‍යාප්තව පවතී.

මුතුරාජවෙල තෙත් බිම ඉතා ඉහළ ජෛව විවිධත්වයකින් යුක්ත පරිසර පද්ධතියකි.එබැවින් මෙහි වෙසෙන සියොතුන් අතර දේශීය මෙන් ම විදේශීය පක්ෂීන් ද වේ.මෙය කිවුල්දියට ම ආවේණික වූ කඩොලාන පරිසරයකින් ද, විවිධාකාර සියොතුන් හා උභය ජීවීන්ගෙන් ද, විවිධ කෘමිවිශේෂ හා ජලජ පැළෑටිවලින් ද ස්වයංපෝෂිත වූ තෙත් බිමකි.

මෙම තෙත් බිම බොහෝ සත්ත්ව හා ශාක වර්ග ගණනාවකට නිජබිමක්ව පවතී.කලපුව හා ඍජුව සම්බන්ධ වී නිර්මිතව ඇති බැවින් ධීවර පවුල් 3200කට පමණ ජීවනෝපාය සැලසී ඇත.ශ්‍රී ලංකාවේ නැංගුරම්ලන ධීවර යාත්‍රාවලින් 15% ක් පමණ මුතුරාජවෙල කලපු තීරය නැංගුරම්පළක් ලෙස භාවිතා කරයි.

මෙම ප්‍රදේශය මත්ස්‍යයන් හා ඉස්සන්ගේ අභිජණන මධ්‍යස්ථානයක් වන අතර එළවළු, පළතුරු , ඖෂධ හා දැව සපයන ප්‍රභවයක් ද වේ. ඉතා ම ජනාකීර්ණ ප්‍රදේශයක් වන මහ කොළඹ ප්‍රදේශයේ හරිත පෙනහළු ලෙස කටයුතු කරන මුතුරාජවෙල තෙත් බිම ස්වභාවික ගං වතුර පාලනයට ද ඍජු දායකත්වයක් ලබා දෙයි.

ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වන ධීවර කර්මාන්තයට රුකුලක්ව පවතින මුතුරාජවෙල තෙත් බිම සංචාරක ව්‍යාපාරයට ද දායකත්වයක් ලබා දෙයි. ඊට ප්‍රධාන හේතුව ප්‍රදේශය පුරා පැතිරී ඇති සොබාසෞන්දර්යයි. මුතුරාජවෙල ඔස්සේ සිය ගමන් මග සකසාගෙන ඇති ප්‍රධාන ඇල මාර්ග දෙක වන හැමිල්ටන් ඇල සහ ඕලන්ද ඇල එම සොබාසෞන්දර්යයේ මුලිකාංගයකි.

මෙම ඇල මාර්ග දෙක දෙපසින් පිහිටා ඇති හරිත වර්ණයෙන් බබලන කඩොලාන තීරය ද දුටුවන් මන බදනා පාරිසරික චමත්කාරය විදහා පායි.තව ද මෙම කඩොලාන තීරය ඔබ්බෙහි පවතින “කුරුලු උයන” ප්‍රදේශයට අපූර්වත්වයක් එක් කරයි. මෙරට පක්ෂීන් මෙන්ම විදේශ රටවලින් පැමි‍ණෙන සංචාරක පක්ෂීන්ගෙන් ද මෙම උයන අසිරිමත් ව පවතීන බව අන්තර්ජාලයේ සඳහන් වේ.

මුතුරාජවෙල අභය භූමියට අයත් මුළු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 1285 කි. මෙම ඉඩම් ප්‍රමාණයෙන් කෘෂිකාර්මික කටයුතු සඳහා යෙදෙන ඉඩම්වලින් හෙක්ටයාර 543 ක් ගෙවතු වේ. පොල් ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 430 කි. හෙක්ටයාර 6 ක ප්‍රමාණයක් තණ බිම් සඳහා වෙන්ව ඇත.

මෙම වගුරුබිම් සීමාවට අයත් වන මීගමු කලපුව ද ප්‍රදේශයේ ඉතා වැදගත් ස්ථානයකි.අවට ජනතාවගේ ප්‍රධාන ජීවන වෘත්තියට උර දී ඇති මුතුරාජවෙල කලපුව ආශ්‍රිතව දිවි ගෙවන ජීවන පවුල් සංඛ්‍යාව දල වශයෙන් 3200 ක් පමණ වේ.

ද්‍රෝනී මෝය ,කරදිය ජලය අවට ගංගා වලින් එන ජලය සමග මිශ්‍ර වී කලපුවේ ජීවීන් සඳහා මනා ජල රක්ෂණයක් ලබා දෙන ස්ථානයකි. තව ද පෝෂණ ප්‍රදේශයෙන් ගලා එන ජලය තරමක් හෝ පිරිසිදු කර මුහුදට යැවීමෙන් අධික රොන් මඩ ප්‍රමාණයක් මුහුදට ගලා යාම වලකයි.

ඉස්සන් ,කකුළුවන් හා මසුන් වැනි ආර්ථික වශයෙන් ඉහළ අගයක් ඇති ජීවීන් සඳහා පරිසර පද්ධති නිර්මිතව පවතින මෙම කලපුවේ ජීවීන්ට අවශ්‍ය පෝෂක ද්‍රව්‍ය අඛන්ඩව ලැබේ. ගං වතුර අවම කිරීම සඳහා ද මෙම වගුරු බිම මැදිහත් වේ. මෙය මිනිසුන් දෙලක්ෂයකට වැඩි සංඛ්‍යාවකගේ නාගරික අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානයක් බව මුතුරාජවෙල පිලිබඳ අන්තර්ජාලයේ සඳහන්ය.

හෙලිකොප්ටර් අංගනයක්

මුතුරාජවෙල පරිසර කලාපයේ යෝධ හෙලිකොප්ටර් අංගනයක් සැදීමට අනුමැතිය ලබා දීමේ සිද්ධියක් මේ වන විට වාර්තා වී ඇත. ඒ් රජයේ ගිණුම් පිළිබද පාර්ලිමේන්තු කාරක සභාවේදිය.

මේ සම්බන්දයෙන් වහාම වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස රජයේ ගිණුම් පිළිබද පාර්ලිමේන්තු කාරක සභාව වනජීවී අධ්‍යක්‍ෂ ජෙනරාල් චන්දන සුරියබණ්ඩාර මහතාට දැනුම් දී ඇත.

මුතුරාජවෙල තෙත් කලාපයට අනවසරයෙන් ඇතුළුවී එම පරිසර පද්ධතියට සිදුකරන හානිය ද සොයා බැලීමට කොප්  කමිටුව නිර්දේශ කර ඇත. එමෙන්ම එම පරිසර පද්ධතියට අහිතකර වන සියලු ව්‍යාපෘති බලපත්‍ර අත්හිටුවන ලෙසට ද කමිටුව නියෝග කර ඇත.

මුතුරාජවෙල වගුරු බිමෙන් පර්චර්ස් 65102ක් පර්චසය රුපියල් 500 බැගින් මිලදී ගැනීමට පුද්ගලික සමාගමක් කටයුතු කර ඇති බවත් ඒ සඳහා උදව් කල ගොවිජන සේවා නිලධාරීන්ට විරුද්ධව කිසිදු පරීක්ෂණයක් පවත්වා නැති බවත් කෝප් කමිටුව පවසයි.

හෙක්ටයාර් 6232ක් එන මුතුරාජවෙල රක්ෂිතයේ හෙක්ටයාර් 3068ක් පාරිසරික වශයෙන් වැදගත් තෙත් බිම් කලාපයක් ලෙස හඳුනාගෙන ඇති බව කෝප් කමිටු වාර්තාවේ සඳහන් වේ. මුතුරාජවෙල පරිසර පද්ධතිය සම්බන්දයෙන් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සහ අදාල ආයතනවල සහභාගීත්වයෙන් කමිටුවක් පිහිටුවා එම පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙසට ද කෝප් කමිටුව උපදෙස් ලබා දී ඇත.

 

Social Sharing
නවතම