සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියටත් ආරක්ෂක අමාත්‍යාංශය අත ගසයි!

සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය ආරක්‍ෂක අමාත්‍යාංශයට සම්බන්ධ කර ගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් දී ඇතැයි ආරක්ෂක ලේකම්වරයා ජුලි 6 සඳුදා පැවති විශේෂ රැස්වීමක් කැඳවා දැනුම් දී තිබේ.

“ආරක්‍ෂක ලේකම්වරයා පැවසුවේ සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය ආරක්‍ෂක අමාත්‍යාංශයේ විෂය පථයට අයත් නොවුනත්, මෙම අංශය වඩාත් ආදායම් උපයන අංශයක් බවට පත් කිරීමට ඵලදායී යාන්ත්‍රණයක් සකස් කිරීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයට සම්බන්ධ කර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවයි,” යනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ නිල පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

එහි දැක්වෙන පරිදි  ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකාය, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, පොලීසිය සමග එක්ව සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය (MEPA) ජුලි 07 අගහරුවාදා  සිට රට තුළ නැව් තුල ජනනය වන අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ක්‍රියාවලිය පරීක්‍ෂා කිරීමට නියමිතය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගේ උපදෙස් මත සහ ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්නගේ සහාය ඇතිව සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය විසින් මෙම විශේෂ වැඩසටහන දියත් කර තිබෙන බව ආරක්ෂක අමාත්‍යාංශයේ නිල පුවත් වෙබ් අඩවිය වැඩි දුරටත්  සදහන් කරයි.

සංචාරක කර්මාන්තය ඇතුළු සිවිල් ක්ෂේත්‍රයේ ව්‍යාපාරික කටයුතු ආරක්ෂක සේවා විසින් පවත්වාගෙන යාමෙන් ශ්‍රී ලංකාව හමුදාකරණයකට යටත් කරන බවට දේශීය හා ජාත්‍යන්තර වශයෙන් දැඩි විවේචන එල්ල වී තිබේ.

සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය උපුටා දක්වමින් ආරක්ෂක අමාත්‍යාංශය  පවසන්නේ මෙරට බලපත්‍රලත් අපද්‍රව්‍ය ප්‍රතිග්‍රහන සේවා සපයන්නන් 28කට අධික සංඛ්‍යාවක් ඇති බවයි.

රට තුළ වාර්ෂිකව සාමාන්‍යයෙන් ඉවතලන තෙල් අපද්‍රව්‍ය ප්‍රමාණය ඝන මීටර 26,904 ක් වන අතර ලැයිස්තුගත සමාගම් විසින් එකතු කරගනු ලබන කසළ ප්‍රමාණය ඝන මීටර් 7404 කි.

රටේ සාගර හා අනෙකුත් පාරිසරික කලාප දූෂණය නොකර ඕනෑම හානිකර ද්‍රව්‍යයක් හෝ වෙනත් දූෂිත ද්‍රව්‍යයක් සඳහා ප්‍රමාණවත් හා ඵලදායී ප්‍රතිග්‍රහන පහසුකම් සැපයීම සඳහා අපද්‍රව්‍ය ප්‍රතිග්‍රහන කළමනාකරණ ක්‍රියාවලිය ප්‍රතිව්‍යුහගත කිරීමට ජනාධිපති ගෝඨාභය  රාජපක්‍ෂ නියෝග ලබා දී ඇති බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න වැඩි දුරටත් පවසා තිබේ.

“පවත්නා ක්‍රමයේ යම් අඩුපාඩුකම් ඇති බව රජයට හැඟී යන බැවින්, එම ක්‍රියාවලිය අධීක්‍ෂණය කරන ලෙස ජනාධිපති රාජපක්‍ෂ මට උපදෙස් දුන්නා. බොහෝ රටවල, ඔවුන්ගේ වරායට පැමිණෙන නැව් අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා මුදල් ගෙවන නමුත් ශ්‍රී ලංකාවේදී අපි නැව්වලට ගෙවන්නේ ඔවුන්ගේ නැව් අපද්‍රව්‍ය රට තුළට ගෙන ඒම සඳහා ය,”

මේජර් ජෙනරාල් කමල්  ගුණරත්න පවසන පරිදි අපද්‍රව්‍ය ප්‍රතිග්‍රහන සේවා ආදායම් උත්පාදනය කිරීමේ ව්‍යාපාර බවට පරිවර්තනය කිරීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් පාර්ශවකරුවන්ට පහසුකම්, අධීක්‍ෂණය සහ සහාය ලබාදෙනු ඇත.

මෙම ක්‍රියාවලිය නියාමනය කිරීම සඳහා සියලු පාර්ශවකරුවන් සම්බන්ධ කර ගැනීමේ වැදගත්කම අවධාරණය කළ ආරක්‍ෂක ලේකම්වරයා කැබිනට් අනුමැතිය තුලින් සහ සියලු පාර්ශවකරුවන් ඒකාබද්ධ උත්සාහයෙන් එම ඵලදායී ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය විධිමත් කරන ලෙස සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියට උපදෙස් දී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය වැඩි දුරටත් පවසයි.

ශ්‍රී ලංකාවේ ඕනෑම වරායක් තුළ හෝ ඉන් පිටතදී අපද්‍රව්‍ය ප්‍රතිග්‍රහන සේවා ලබාගන්නා සියලුම ලැයිස්තුගත සමාගම්වල ක්‍රියාවලිය පරීක්‍ෂා කිරීම සඳහා සියලුම පාර්ශව කරුවන්ගේ ආයතන නියෝජනය කරන සාමාජිකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් නම් කර සම්බන්ධීකරණය කරන ලෙස මේජර් ජෙනරාල් කමල්  ගුණරත්න එහිදී  සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය හී සභාපති දර්ශනී ලහන්දපුරට උපදෙස් දී ඇත.

මෙම සාකච්ඡාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, රේගු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) විජිත රවීප්‍රිය, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකායේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් (විශ්‍රාමික) සමන්ත විමලතුංග, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්‍ෂ ජෙනරාල් හේමන්ත ජයසිංහ, පරිසර පොලිසියේ නියෝජ්‍ය පොලිස්පති අනිල් ප්‍රියන්ත, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හාබර් මාස්ටර් නිර්මාල් සිල්වා සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ සහ ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් සහභාගී වී තිබේ.

Social Sharing
නවතම