එදා මෙදා තුර රට පාලනය කළ සියලු දෙනාගේ තිඹිරි ගෙය එක්සත් ජාතික පක්ෂයයි!

එක්සත් ජාතික පක්ෂයේ නායකයාට අද පැවරී ඇත්තේ නැදුන්ගමුවේ රාජාගේ වගකීම බවත්  පක්ෂයත් සාදාගෙන ඉදිරියට ගමන් කළ යුතු වන්නේ සිය කරමත තබා ඇති ලක්දෙරණ නැමැති කරඬුව සුරක්ෂිතව වැඩම කිරීමට බව එක්සත් ජාතික පක්ෂයේ  සභාපති වජිර අබේගුණවර්ධන මහතා පවසයි.

අද එක්සත් ජාතික පක්ෂයත් එහි නායකත්වයත් අනුගමනය කරනුයේ එම නැදුන්ගමුවේ රාජාගේ ක්‍රියා පිළිවෙත වන අතර ඩී.එස්.සේනානායක ශ්‍රීමතුන් පක්ෂයට සිය ලකුණ ලෙස ඇත් රුව යොදාගත්තේ ඇතා සතු ගුණාංඟත්, ශක්තියත් සිය පක්ෂය තුළ තිබෙන බව ලොවට පෙන්නුම් කිරීමට බවද ඒ් මහතා කියා සිටියි.

එක්සත් ජාතික පක්ෂය මෙතෙක් ආ ගමන අභිමානවත් බවත් ඉදිරිය ද එසේ වන බවත් පවසන වජිර අබේවර්ධන මහතා මේ බව කියා සිටින්නේ එක්සත් ජාතික පක්ෂයට  වසර 75ක් සැපීරිම නිමිත්තෙන්  නිවේදනයක් නිකුත් කරමිනි.

එම නිවේදනයේ වැඩි දුරටත් මෙසේ සඳහන් වේ.

එක්සත් ජාතික පක්ෂයේ අතීතය දෙස බලන විට එදා මෙදා තුර මේ රට පාලනය කළ සියළුම පක්ෂ නායකයන් ඩී.එස් සේනානයක මැතිතුමන් බිහිකළ එක්සත් ජාතික පක්ෂයේ ගොඩනැගුණු නායකයන්ගෙන් පැවැත එන්නන් වීම සිහිපත් කළ යුතුම කාරණයකි. ඩී.එස් ගෙන් පසු රටේ නායකත්වයට පත් වූ ඩඩ්ලි, සර් ජෝන්, එස්.ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක යන තිදෙනාම ඩී.එස්.සේනානායක මැතිතුමාගේ ඇමති මණ්ඩලයේ සාමාජිකයන් විය. සිරිමා මැතිණිය ඒ ඇමති මණ්ඩලය නියෝජනය කළ බණ්ඩාරනායක මහතාගේ ප්‍රිය බිරිඳය. චන්ද්‍රිකා මැතිණිය ඩී.එස්. ගේ ඇමති මණ්ඩලයේ සිටි බණ්ඩාරනායක මහතාගේ දියණියකි.

මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යනු එක්සත් ජාතික පක්ෂය ආරම්භ කරන විට එම පක්ෂයේ ආරම්භකයෙකු වූ ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ පුතණුවරුන්ය. ඩී.බී.විජේතුංග යනු එක්සත් ජාතික පක්ෂය ආරම්භ කරන විට සිටි නායකයෙකු වූ හිටපු අමාත්‍ය ඒ.රත්නායක මහතාගේ ලේකම්වරයාය. ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන යනු ඩී.එස්. ආරම්භ කළ ගොවි ජනපද ව්‍යාපාරය තුළින් ගොවි ගෙදරකින් මතු වූ නායකයෙකි.

2019 පැවැති ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට යළි පරාජය අත් වූ අතර ඊට පසු පැවැති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් පිරිසක් කැඩී වෙන් වී වෙනම සංවිධානයක් ලෙස ඉදිරිපත් වූ නිසා පක්ෂයට අත් වූ ක්ෂණික පරාජය සියල්ලෝම දන්නා කරුණකි. එයින් පක්ෂයට මුලින් ඇති වූ අමිහිරි තත්ත්වය අද සමස්ත ශ්‍රී ලංකාවම වෙලාගෙන ඇත.

මේ අවස්ථාවේදී ලක්දරණී තලයත්, එහි වෙසෙන ජනතාවත්, සතා සිව්පාවත්, ගහ කොළ පරිසරයත්, ඇළ දොළ ගංගාත් ඇතුළු සියළු සම්පත් ආරක්ෂා කර අනාගත පරපුරට පැවරීමේ මහා භාරදූර වගකීම එක්සත් ජාතික පක්ෂයේ කර උර මත තිබෙන බව අද මුළු මහත් ශ්‍රී ලංකාවම වටහා ගෙන ඇත. එබැවින් මේ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ වගකීම හා ඉදිරි කාර්යය භාර්යය අපි මනාව අවබෝධ කරගනිමින් යළිත් මේ රට තුළ ධර්මද්වීපයක්, ධාන්‍යාගාරක්, ස්වයංපෝෂිත දේශයක් බිහි කර පෙරදිග මුතු ඇටය, මුතු ඇටයක්ම බවට පත් කරන්නට අපි අධිෂ්ඨාන කරගෙන සිටිමු. ආ ගමන අභිමානවත්ය. ඉදිරිය ද එසේ වනු නොඅනුමානය.

මේ වන විට එක්සත් ජාතික පක්ෂය යළිත් රටට උවමනා වෙමින් පවතී. එක්සත් ජාතික පක්ෂයේ 75 වන සංත්වසරය හෙවත් වජ්‍ර ජයන්තිය සමරන මේ මොහොතේ රටටත්, ජාතියටත් නායකත්වය දිය හැකි දේශපාලන බලවේගය බවට යළිත් එක්සත් ජාතික පක්ෂය පත්වෙමින් සිටී.

මෙවර දළදා මාළිගයේ දළදා පෙරහැරේ කරඬුව වැඩමවූ නැදුන්ගමුවේ ඇත් රාජයා එළියට පා ඔසවන විට ඔහුට යාමට දමා තිබූ පාවාඩය හරියාකාරව නොතිබුණු හෙයින් රාජා හස්තියා සියළුදෙනාගේ සිතත්, ඇසත් තත්පරයෙන් තෙත් කරමින් බුද්ධාලම්බන ප්‍රීතිය වඩවමින් සිදු කළේ තම සොඬෙන් පාවාඩය සකසාගෙන පියවර තබා ගමන් ඇරඹීමය. එක්සත් ජාතික පක්ෂයේ නායකයාට අද පැවරී ඇත්තේ නැදුන්ගමුවේ රාජාගේ එම වගකීමය.

එක්සත් ජාතික පක්ෂය මෙරටට උරුම කරදුන් අතීත ශ්‍රී විභූතියත්, පක්ෂය තුළ අතීතයේ තිබුණු අයෝමය ශක්තියත් 75 වන සංවත්සරය සමරමින් යළි ඉස්මතු කරගෙන ඉදිරියට යා යුතු බව පක්ෂයත් එහි නායකත්වයත් නිලධාරිනුත් වටහාගෙන සිටී. එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි දර්ශනය වනුයේ බුදුදහම පදනම් කරගනිමින් මේ රට පාලනය කිරීමට අවශ්‍ය පරිසරය ගොඩ නැගීමය. ඒ අනුව කුමන රජයක් බලයට පත්වුවත් එක පිට එක පවත්වාගෙන යන “රන් ප්‍රතිපත්තියක්“ ගොඩ නැගීමට රත්තරන් සේ සවිමත්, එසේම වටිනා, එසේම සුරක්ෂිත කරගත යුතු ප්‍රතිපත්තියක් ගොඩ නැගීමට පියවර ගනිමින් මෙවර සංවත්සරය සමරනුයේ මහත් අභිමානයෙනි.

Social Sharing
නවතම