රටේ අභ්‍යන්තර ආරක්ෂාව ගැන වැඩි අවධානයක් යොමු කරන ලෙස පොලිසියට උපදෙස් !

කොවිඩ් වසංගත රාජකාරී කළද ඒ් හා සමානව රටේ අභ්‍යන්තර ආරක්ෂාව ගැනද අවධානයෙන් කටයුතු කළ යුතුව ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පොලිස් නිලධාරීන්ට දන්වා සිටියි.

ජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිතතාවය වෙනුවෙන් කටයුතු කළ පොලිස් නිලධාරීන් 11,700 ක් මේ වන විට කොවිඩ් ආසාදනයට ලක්ව ඇතැයිද ඉන් 28 කු මිය ගොස් ඇතැයිද අමාත්‍යවරයා පවසයි.

එල්ටීටීඊ සංවිධානය යනු ත්‍රස්තවාදී සංවිධානයක් වන අතර එය පහසුවෙන් හඳුනා ගැනීමට හැකියාව තිබූ අතර isis යනු සංවිධානයක් නොව මතවාදයක් වන අතර එය හඳුනාගැනීම පහසු කරුණක් නොවන බවත් අමාත්‍යවරයා කියා සිටියි.

මෙවැනි ක්‍රියාකාරකම් වල යෙදෙන පුද්ගලයන් පළමුව හුදෙකලා වන අතර ඉන්පසු අන්තවාදයට ත්‍රස්තවාදයට ගමන් කළ හැකි බව සඳහන් කළ අතර ඒ පිළිබඳව විධිමත් අවධානයෙන් සිටින ලෙස අමාත්‍යවරයා පොලිසියට උපදෙස් ලබා දුන්නේය.

අපරාධ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ විශේෂ විමර්ශන කණ්ඩායම් දෙකක් පිහිට වන අතර ඉන් එක් කණ්ඩායමක් කප්පම් සහ පාතාලය සම්බන්ධව ද අනෙක් කණ්ඩායම කුඩු ජාවාරම සම්බන්ධ මෙහෙයුම් සඳහා ද පත් කරන බවද අමාත්‍යවරයා කියා සිටියි.

ඔහු මේ සම්බන්ධව කියා සිටියේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල ජගත් අල්විස් පොලිස්පති චන්දන වික්‍රමරත්න සහ ජෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු සහ නියෝජ්‍ය පොලිස්පතිවරු සමඟ zoom තාක්ෂණය ඔස්සේ රැස්වීමකට සහභාගි වෙමිනි.

ශානි

Social Sharing
නවතම