වැල යන අතට මැස්ස ගසනවාද?…කොන්දක් තිබෙන බව පෙන්වනවා ද?

විශාල මඩ ඡන්ද සටනකින් පසුව ජනාධිපති නීතීඥ සාලිය පීරිස් ජයගෙන ඇත. ඔහුගේ ප්‍රතිවාදියා රාජපක්ෂවරුන්ගේ නීතීඥයෙක් සේ ප්‍රකට කුවේර ද සොයිසා ය. කුවේර ද සොයිසා ලබාගෙන ඇත්තේ පරතරයට ආසන්න ඡන්ද ප්‍රමානයක් ය. එයත් සැලකිය යුතුය. පීරිස් මහතාට ඡන්ද 5,162ක් ද සොයිසා මහතාට ඡන්ද 2,807ක්ද හිමිවී තිබුණි.

2021 – 2022 වර්ෂය සඳහා නව සභාපතිවරයකු පත්කර ගැනීමට පැවැති මෙම නිලවරණයේදී දිවයින පුරා පිහිටි නීතිඥ සංගම් මධ්‍යස්ථාන 85 කදී නීතීඥයින් 17000 පමණ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් සපුරා තිබුණ බව දැනගන්නට ඇත.

මෙම ඡන්දය හෝ එහි ප්‍රථිපලය කිසිදු වැදගැම්මකට නැති බව පොහොට්ටු ලෝලීන්ගේ මතයයි. එහිදී ඔවුන් සමූපාකාර ඡන්ද ජයග්‍රහනය ගැන පවා තමන් බොහෝ සේ කතා කළ බව අමතක කරයි. රාජපක්ෂවරුන්ගේ නොමද අනුග්‍රහය සමග සහ පොහොට්ටුවට සළුපිළි අමතක කර කඩේගිය බොහෝ නමගිය නීතීඥයන්ගේ සහාය සොයිසාට ලැබෙන විට සමස්ත ඡන්ද සටනම මඩ ගොහොරුවක ගිලී යනු අපට දකින්නට හැකි විය. පැලෝපීය නාල ගැටගැසීම්, වඳකොත්තු, වඳ යටඇඳුම්මය පසුගිය මැතිවරණ අතීතය සිහියට ගෙනා මේ නිළවරණයේ බැලූ බැල්මට දිනුම සොයිසාට විය. එයට එක හේතුවක් වුණේ වළව්වේ කෙළි අප දන්න නිසා ය. අනෙක වෙහෙර විහාර ගිළපු උන්ට අග්ගලය මොන කජ්ජක් දැයි අපේ කියමනක් තිබෙන නිසා ය. වෛද්‍යවරුන් වාගේම පසුගාමි ජාතිවාදී වර්ගවාදී චින්තනයක් සපිරි ටයිකෝට්කාරයින් පිරිසක් ලෙස නීතීඥයා දෙසද මිනිසුන් බලන්නට පෙලබී සිටි නිසා සොයිසා ලෙහෙසියෙන් දිනනු ඇතැයි බොහෝ දෙනෙක් සිතුවෝය. එහෙත් ඒ සියල්ලම බොරුකරමින් සාලිය පීරිස් ජයගෙන ඇත. ඒ විශාල පතරයක් ද සහිතවය. මෙම පසුබිම තුළ මේ ජය වැදගත් වන්නේ කොහොමද? සිතා බැලීම වැදගත් ය.

මගේ මතකයට අනුව මෑත ඉතිහාසයේ දී මෙම තනතුර බලවන්නට කටයුතු කළ දෙදෙනෙකි විජේදාස රාජපක්ෂ සහ උපුල් ජයසූරිය. මේ දෙදෙනා අතරින්ද මේ තනතුරේ ගෞරවය වෙනුවෙන් බොහෝ දේ කළේ උපුල් ජයසූරිය බව මගේ හැඟීමයි. මේ පුටුවේ වැදගත්කම සමාජයට වැටහෙන්නේ ද ඔවුන් ගත් සමහර තීන්දු තීරණ නිසා ය. හිට ගැනීම් නිසා ය. මෙම චිත්‍රය තුළ ද මෙම ජයග්‍රහනය ඉතාමත් වැදගත් ය. මෙම ජයග්‍රහනය මගින් නීතීඥ ප්‍රජාව රටට දෙන පණිවිඩය ද වැදගත් ය.

දේශපාලන පළිගැනීම් ගැන සොයන්නට ජනාධිපතිවරයා පත් කළ කොමිසම තම වාර්තාව ජනාධිපතිවරයාට භාර දෙමින් අධිකරණයට ලොකුම අපහාසය කර ඇත. එම කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කළහොත් එතනින් එහාට ලංකාවේ අධිකරණය කියා දෙයක් නොපවතිනු ඇත. ඉන්පසුව පවතිනු ඇත්තේ වළව්වේ මිදුලේ හිඳවා දඬුකඳේ ගහන ක්‍රමයක් ය. නැතිනම් උලමත හිඳවීම වැනි දෙයක් වෙන්නටත් පුළුවන් ය. ඒ වාගේම පසුගිය දා අධිකරණය තමන්ගේම නඩුවක් අසා තමන්ට අපහාසයක් කළ බවට නිගමනය කර රංජන් රාමනායක මන්ත්‍රීවරයා සිරදඩුවමකට යටත් කළේ ය. මෙම සිදුවීම් දෙක ලංකාවේ අධිකරණය වර්තමානයේ ගිලී සිටින අර්බූදයේ දෙකොන පෙන්වයි. ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හට තම ධුරයේ කටයුතු කරන්නට වන්නේ මෙම අර්බූදය තුළ ය.

20 වැනි සංශෝධනය පාස් කළ අධිකරණය තමන්ගේ ගෙල සිඳින්නට මාන බලාගෙන සිටින රෙජීමයකට ඒ සඳහා පාදයක් පෙරට තබන්නට අවස්ථාවක් දුන්නේ ය. මෙවැනි අධිකරණ පරිසරයක් තුළ සාලිය පීරිස් කෙළෙසක කටයුතු කරනු ඇතිද? නීතියේ ආධිපත්‍යය, නීතියේ පාලනය රැකගැනීම සඳහා ඔහු මෙම ධුරය කොතරම් පරිමාවකින් පාවිච්චි කරනු ඇතිද? රටට වාගේම අධිකරණයට ද පැමිණෙමින් තිබෙන්නේ දුෂ්කර කාලයක් ය. මෙම කාලය තුළ වැල යන අතට මැස්ස ගසන්නේ නැතුව සාලිය පීරිස් කොතරම් කාලයක් කොන්ද කෙළින් තබාගෙන කටයුතු කරනු ඇතැයිද යන්න මත සාලිය පීරිස් වැඩකරුවෙක් ද නැද්ද යන්න තීරණය කරනු ඇත. කෙසේ උනත් මෙම ජය රාජපක්ෂවරුන්ගේ ස්ථිර පරාජයක සලකුණු සටහන් කරන බව කිවයුතුය. බහුතර නීතීඥ ප්‍රජාවද වළව්ව වෙනුවට අලුත්කඩේ තෝරාගෙන ඇත. එනිසා දඬුකඳේ චින්තනයෙන් අධිකරණය මුදාගන්නට, එමගින් නව දියුනු අධිකරණයක් සඳහා පෙරමුණ ගන්නට සාලිය පීරිස් හට හැකිවේවා යැයි පතමු.

-කේ. සංජීව-

Social Sharing
නවතම