ඇමතිවරියටත් ඉහළින් තීන්දු තීරණ ගන්නා රටක සෞඛ්‍යයේ හෙට දවස?

රටක සෞඛ්‍ය අමාත්‍යාංශය යනු වැදගත් සුවිශේෂි අංශයකි. රටේ සියලුම සෞඛ්‍ය කටයුතු තීරණය වන ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට නම් මේ වන විට ඇමතිවරු සිව්දෙනෙක් පත් කර ඇත.

ඒ අතරින් කොවිඩ් රෝග පාලන පිලිබඳ කටයුතු මේ වන විට භාරව සිටින්නේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමැති සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මියය.

නමුත් ඇයට අදාල කටයුතු සිදුකිරීම සඳහා නිදහසක් නොමැති බව මේ වන විට තොරතුරු අනාවරණය වෙමින් තිබේ.

ඇය ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබුණේ  සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් කොවිඩ් එන්නත්කරණ වැඩසටහන අවුල් ජාලයක් වී ඇති බවය.

කොවිඩ් එන්නත්කරණය මේ වන විට අවුල් ජාලාවක් වී ඇති බව රටම දන්නා කරුණකි. පළමු අදියරේදී තෝරාගත් අංශ කිහිපයකට පමණක්  ලබා දුන් එන්නත දැන් විවිධ අල්ලස් වලින් බොහෝ දෙනෙකු ලබා ගෙන ඇති බව පහුගියදා මාධ්‍ය රැසකින් හෙළි කර තිබුණි.

ඒ අතර ධම්මික පැණියේ හිමිකරු, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසුරිය ද විය. මොවුන්ට එන්නත් ලබා දිමේදී ප්‍රමුඛතා ලැයිස්තුගත වූයේ කෙසේද කියා සමාජය ප්‍රශ්න කර සිටියදි ඉහළ නිලධාරින් නිදහසට කරුණු රැසක් කියා තිබුණි.

මේ අතර නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසා තිබුණේද ඇතැම් පාර්ශ්ව විවිධ බලපෑම් කරමින් කොවිඩ් එන්නත ලබාගන්නා බවට තොරතුරු ලැබී ඇති බවය.  ඔහු කියා තිබුණේ තමන්ගේ අවස්ථාව ලැබෙන තෙක් සියලු දෙනාම ඉවසිල්ලෙන් සිටිය යුතු බවකි.

නමුත් කොවිඩ් පාලනය පිළිබඳ අමාත්‍යවරිය ලෙස එහි වගකීම සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙත පවරා ඇතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවත්වන ඇතැම් රැස්වීම් වලට ඇයව සහභාගී කර නොගැනීමට තරම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් ක්‍රියාකිරීම පිලිබඳ ඇත්තේ නම් බලවත් සැකයකි.

එහිදී  ගන්නා තීන්දු තීරණ පිළිබඳව ඇය නොදන්නා තත්වයක් උද්ගතව ඇති බව ඇය ඊයේ පවසා තිබුණේ දැඩි කළකිරීමෙනි.

“ඇත්තටම තාක්ෂණික කමිටුවෙන් තීන්දු කරපු දේවල් තියෙනවා. ජනාධිපති කාර්ය සාධක බලකායට අතිගරු ජනාධිපතිතුමා දීපු උපදෙස් තියෙනවා. ඒවා තියෙද්දි සමහරවිට රෑට කතා කරලා කියනවා හෙට වැක්සිනේශන් පටන් ගන්න කියලා….

එහෙම එන්නත්කරණය කරන්න බැහැ. හදිසියේ කෝල් එකකින් සමහර තීන්දු වෙනස් වෙලා තියෙනවා. එන්නත්කරණය පිළිබඳව මාර්ගෝපදේශයක් දෙන්න ඕනා. දැන් එහෙම තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය මෙච්චර කල් දේවල් කෙරුවෙ. හැබැයි දැන් අපි එහෙම ඒවා දකින්නෙ නැහැ. හදිසියේ වයස් කාණ්ඩය වෙනස් වෙනවා. ඉතින් එතන ගැටළුවක් තියෙනවා”

“එන්නත්කරණය වෙනුවෙන් සෞඛ්‍ය නිලධාරීන්ට උපදේශන මාලාවක් නිකුත් කරන්න ඕන. මේ දක්වා එහෙම උපදේශන මාලාවක් නිකුත් කරලා නැහැ. එන්නත්කරණය සිදුකරන ප්‍රදේශ හෝ ග්‍රාම නිලධාරී වසම්වල සිටින සෞඛ්‍ය බලධාරීන්ට ඒ ගැන දැනුවත් කරලා ඔවුන්ව ඊට සුදානම් සිදුකරන්න ඕන. ඒ ඒ ප්‍රදේශවල සිටින ජනතාවට දැනුම් දෙන්න අවශ්‍යයි එන්නත ලබා ගන්න එන්න කියලා. ස්ථාන වෙන් කරන්න අවශ්‍යයි. ඒ වගේම එන්නත ලබාදුන්නාට පස්සේ ඔවුන්ට සංකුලතා ඇති වනවාද කියා සොයා බලන්න අවශ්‍යයි.

මහජන සෞඛ්‍ය ගැන අවබෝධයක් නැති සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගේ ක්‍රියා කළාපය මේකට හේතුවක්. සන්නිවේදන ගැටළු නිසා යම් පැටලිලි ස්වභාවයක් දක්නට ලැබෙනවා. ඒවා වෙනස් කර ගන්න අවශ්‍යයි” යැයි ඇය ඊයේ වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

සෞඛ්‍ය අමාත්‍යාංශය තුලම මෙවන් කඹ ඇඳිමේ තත්ත්වයක් ඇතිනම් රටේ සාමාන්‍ය ජනතාවගේ සෞඛ්‍ය ගැන කවර කථාද කියා සිතෙන්නේ මෙවන් අවස්ථා වලදීය.

-ශානි-

Social Sharing
නවතම