රාජ්‍ය සහ පෞද්ගලික අංශ 25% යි,  වෙළඳ කලාපවල පමණක් සියලු දෙනා සේවයේ. – චමිලා තුෂාරි

ආර්ථිකය කඩා වැටෙන්නට නොදී රැක ගන්න නම් වෙළඳ කලාප සේවකයින් නීරෝගීමත්ව සිටිය යුතු බවත් නමුත් ඔවුන් කොවිඩ් ආසාදිත වෙද්දී නොසලකා හැරීම පිලිබඳ වහාම සෞඛ්‍ය අංශ අවධානය යොමු කරන ලෙස ඩාබිඳු සාමුහිකයේ සම්බන්ධිකාරීනී චමිලා තුෂාරි මහත්මිය ඉල්ලා සිටියි.

කොවිඩ් වසංගතයේ තෙවැනි රැල්ල ඉතාම අවධානම් සහගත ලෙස නිදහස් වෙළඳ කලාපයට බලපා ඇති නමුත් සියලුම ආයතන සුපුරුදු පරිදි නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යන බව ඇය කියා සිටියි.

මේ වන විට ආයතන 15-20 ක පමණ කම්කරුවන් කොවිඩ් ආසාදිත වී ඇති බවත් ඇතැම් ආසාදිත කම්කරුවන් සිය නේවාසිකාගාර වල රැඳි සිටින බවත් නිදසුනක් ලෙස ඇය පෙන්වා දෙන්නේ කටුනායක ප්‍රදේශයේ නිරෝධායනය වන නේවාසිකාගාර වලට අදාල නිරෝධායන කොළ ඇලවීමට පවා කටයුතු කර නොමැති අතර, ආයතනද ඔවුන් ගැන සොයා බැලීමක් සිදු නොකරන  බවය.

එකම ළිඳ, එකම වැසිකිලිය භාවිතා කිරිම නිසා මේ වන විට එකම නේවාසිකාගාරයක සිටින 10-12 ක් අතරින් අනිවාර්යෙන්ම 7-8 කු පොසිටිව් වන තත්ත්වයකට පත්ව ඇතැයිද එසේම මොවුන්ව රෝහලකට හෝ නිරෝධායන මධ්‍යස්ථානයකට රැගෙන යන්නේ දින කිහිපයක් පසු වු බවත් එසේ රැගෙන යන ඔවුන්ව නැවත දින 4-5 කින් නේවාසිකාර වලට ගෙනත් දමන බවත් පෙන්වා දෙන ඇය පවසන්නේ ඇතැම් සේවිකාවන්ට හතිය උත්සන්න වීම නිසා යළි මීගමුව රෝහලට යාමට සිදුව ඇති බවය.

දින 14 ක කාලයක් නේවාසිකාගාර වල රැඳි සිටින මේ කම්කරුවන්ට රජයෙන් ලබා දෙන රුපියල් 5000 බඩු මල්ලවත් ලැබෙන්නේ නැති බවත් සඳහන් කරන ඇය පෙන්වා දෙන්නේ අවස්ථා දෙකක අත්දැකීම් ඇති රජය තවමත් මේ කම්කරුවන් වෙනුවෙන් සහන ලබා දීමේ ප්‍රතිපත්තියක් සකසා නොමැති බවය.

එසේම මේ ආසාදිතයින්ට ආයතන මට්ටමින් නිවැරදි තොරතුරු ලබා නොදෙන අතර නිවාඩු ද අහිමි කරන බව ඇය අවධාරණය කර සිටියි.

එමෙන්ම මොවුන්ට PCR පරීක්ෂණ සිදු කිරීමද මඟ හැරෙමින් පවතින බවත් එන්නතද ලබා දුන්නේ සීමිත පිරිසකට පමණක් බවත් චමිලා තුෂාරි මහත්මිය පවසයි.

මේ වන විට කිලිනොච්චිය, වව්නියාව, මුලතිව්, පූගොඩ, බියගම, කටුනායක, තුල්හිරිය, කොක්ගල ආදි සියලුම නිදහස් වෙළඳ කලාප වල මේ වෛරසය සීඝ්‍රයෙන් පැතිර යන බව සඳහන් කරන ඇය කියා සිටින්නේ නමුත් ආයතන වසා දැමීම සම්බන්ධයෙන් තවමත් තීරණ ගෙන නොමැති බවය.

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ තැන් වල 25% ක පිරිසක් සේවයේ යොදවද්දී වෙළඳ කලාප වල පමණක් සියලු දෙනාවම සේවයේ යොදවනවානම් මේ සියලු වගකීම් ආයතනය දැරිය යුතු බවද ඇය වැඩිදුරටත් කියා සිටියි.

Social Sharing
නවතම