දිට්වා කුණාටුවෙන් තෙමසකට පසු: ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කෙසේද? රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය

 

ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ පෙර නොවූ විරූ තරම් විනාශයක් සිදු කල ‘දිට්වා’ සුළි කුණාටුවට ශ්‍රී ලංකාව මුහුණ දී මේ වන විට මාස තුනක් පසුවී තිබේ. දිස්ත්‍රික්ක 25ට බලපෑ මෙම කුණාටුව හේතුවෙන් සැලකිය යුතු ජීවිත ප්‍රමාණයක් රටට අහිමි වූ අතර, විශාල දේපළ ප්‍රමාණයක් විනාශ විය. ලෝක බැංකු ඇස්තමේන්තුවට අනුව දිට්වා සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට සිදුව ඇති හානිය ඇමෙරිකානු ඩොලර් බිලියන 4.1ක් බව වාර්තා වී තිබේ.

දිට්වා සුළි කුණාටුවෙන් මාස 3කට පසුව ඇතිව ඇති තත්ත්වය පිළිබදව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය ප්‍රකාශයක් නිකුත්කර තිබේ. පහත පළවෙන්නේ එම ප්‍රකාශයයි.

දිට්වා කුණාටුවෙන් තෙමසකට පසු: ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කෙසේද? රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය

2025 නොවැම්බර් මස අගභාගයේදී ‘දිට්වා’ සුළි කුණාටුව ශ්‍රී ලංකාව හරහා හමා ගොස් මේ වන විට මාස තුනක් පසු වී ඇත. පුවත් සිරස්තලවල අවධානය වෙනත් මාතෘකා වෙත යොමුවී තිබුණද, වින්දිතයන්ගේ සැබෑ අරගලය තවමත් නිමාවී නොමැත. දිට්වා යනු හුදෙක් දරුණු කාලගුණික සිදුවීමක් පමණක් නොව, අපගේ පද්ධතිවල සහ ආයතනවල ඔරොත්තු දීමේ හැකියාව පරීක්ෂා කළ තීරණාත්මක අවස්ථාවකි. මෙම ලිපිය මගින් මාස තුනකට පසු හානියේ තරම, රජයේ ප්‍රතිචාරය සහ වින්දිතයන් අත්විඳින සැබෑ යථාර්ථය විශ්ලේෂණය කෙරේ.

ඉතිහාසය සහ හානියේ සංඛ්‍යානමය පසුබිම

දශක ගණනාවකට පසු රට මුහුණ දුන් දරුණුතම දේශගුණික විපත වන දිට්වා සුළි කුණාටුව දිස්ත්‍රික්ක 25ටම බලපෑම් එල්ල කළ අතර, මිලියන 2.2කට අධික ජනතාවකගේ ජීවිත සහ ජීවනෝපායන් අඩාල කළේය. මෙහි බලපෑම වඩාත්ම තදින් දැනුණේ රටේ ආහාර සුරක්ෂිතතාවයේ කොඳු නාරටිය බඳු වූ සුළු පරිමාණ ගොවීන්ට සහ ධීවරයින්ටය.

  • කෘෂිකාර්මික හානිය: ගොවි පවුල් 227,000කට වැඩි පිරිසකට බලපෑම් එල්ල කරමින් කෘෂිකාර්මික ඉඩම් හෙක්ටයාර් 129,000කට වැඩි ප්‍රමාණයක් ජලයෙන් යට විය.
  • බෝග විනාශය: රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව වී වගා හෙක්ටයාර 108,000ක්, අනෙකුත් ක්ෂේත්‍ර බෝග හෙක්ටයාර 11,000ක් සහ බඩඉරිඟු හෙක්ටයාර 6,600ක් සම්පූර්ණයෙන්ම විනාශ විය.
  • සත්ව හා ධීවර අංශ: ගවයන් සහ මී ගවයන් 37,000කට වැඩි සංඛ්‍යාවක්, එළුවන් සහ බැටළුවන් 16,000කට ආසන්න ප්‍රමාණයක් මෙන්ම කුකුළු සතුන් 475,000ක් අහිමි වූ අතර, ධීවර අංශයේ හානිය ඇමරිකානු ඩොලර් මිලියන 70ක් පමණ යයි ආහාර හා කෘෂිකර්ම සංවිධානය ඇස්තමේන්තු කර තිබිණි.
  • ආහාර අනාරක්ෂිතතාව: මෙම තත්ත්වය හමුවේ මිලියන 1.1කට අධික ජනතාවකගේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ගැටලුවක් පැනනැගී තිබේ.

ප්‍රතිසංස්කරණ සඳහා රජයේ ක්‍රියාමාර්ග සහ ‘Rebuilding Sri Lanka’ අරමුදලේ යථාර්ථය

ආපදාවෙන් පසු රට යළි ගොඩනැගීම සඳහා රජය විසින් “Rebuilding Sri Lanka” නමින් ජාතික වැඩපිළිවෙළක් සහ අරමුදලක් ජනවාරි 13 වන දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී. පෙබරවාරි 10 වන විට මෙම අරමුදලට රු. බිලියන 6.072ක් සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 10.29ක් එක්රැස් වී තිබිණි.

එහෙත්, තොරතුරු දැනගැනීමේ පනත (RTI) යටතේ සිදුකළ විමසීම් සහ පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේදී අනාවරණය වූ කරුණු අනුව, මෙම අරමුදලේ නීත්‍යනුකූලභාවය සහ විනිවිදභාවය පිළිබඳව බරපතල ගැටලු මතුව තිබේ:

  • නීතිමය රාමුවක් නොමැතිකම: අරමුදල ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටුවීමට තවමත් ‘කටයුතු සිදු කෙරෙමින් පවතින’ අතර, අදාළ පනත් කෙටුම්පත තවමත් සකස් කරමින් පවතී.
  • මුදල් කළමනාකරණය: එක්රැස් වූ සියලුම මුදල් නීත්‍යනුකූල නව අරමුදලක නොව, නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයා යටතේ මහ බැංකු ගිණුමක තැන්පත්ව පවතී.
  • කළමනාකරණ කමිටුවේ සීමාවන්: පත්කර ඇති කමිටුවට අරමුදල් නිකුත් කිරීමේ සෘජු බලයක් නොමැති අතර, ඔවුන්ගේ කාර්යභාරය හුදෙක් මහජන සම්බන්ධතා සහ උපායමාර්ගික මගපෙන්වීමට පමණක් සීමා වී ඇත.

2005 වසරේ සිට ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ පනත යටතේ මෙවැනි කටයුතු සඳහා නීත්‍යනුකූල අරමුදලක් පවතින පසුබිමක, විධිමත් නීතිමය රාමුවකින් තොරව නව අරමුදලක් වෙත මුදල් එක්රැස් කිරීම ආයතනික ක්‍රියාපටිපාටි පිළිබඳව සැක මතු කරයි.

මාස තුනකට පසු තත්ත්වය වින්දිතයන්ගේ දෘෂ්ටිකෝණයෙන්

ප්‍රතිපත්ති සම්පාදකයින් අරමුදල් සහ කමිටු පිළිබඳව සාකච්ඡා කරද්දී, බිම් මට්ටමේ වින්දිතයන්ගේ යථාර්ථය ඉතා කටුකය.

  • වන්දි ලබාදීමේ අතිශය මන්දගාමී බව: ලංකාදීප පුවත්පතේ වාර්තාවලට අනුව, පූර්ණ නිවාස හානි සිදුවූ 6,079ක් අතුරින් පෙබරවාරි 17 වන විටත් වන්දි ලබාදී ඇත්තේ 210කට පමණි. අර්ධ නිවාස හානි 118,838න් මුදල් ලැබී ඇත්තේ 3,095කට පමණය. මරණ 676කින් වන්දි ගෙවා ඇත්තේ 323කට පමණක් වන අතර, තවමත් පුද්ගලයින් 4,129ක් කඳවුරුවල දිවි ගෙවති.
  • ජීවනෝපාය සහ ද්‍රවශීලතා අර්බුදය: ආපදාවකින් පසු යථා තත්ත්වයට පත්වීම තීරණය වන්නේ ඉක්මනින් මූල්‍ය ද්‍රවශීලතාව (Liquidity) ඇති කිරීම මතය. එසේ නොමැති නම් සිදු වන්නේ වින්දිතයන් දිගුකාලීන දිළිඳුකමට ගොදුරු වීමයි. එහෙත් ජීවනෝපාය අහිමිවීමේ වන්දි සඳහා සුදුසුකම් ලැබූ 1,384න් 1,077කටම මාස තුනක් ආසන්න වන විට එම මුදල් ලැබී නොතිබුණි.
  • ජාත්‍යන්තර ආධාරවල හිඟය: එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් ඇමරිකානු ඩොලර් මිලියන 16.5ක ආධාරයක් ඉල්ලා නිකුත් කරන ලද ලිපියක සඳහන් කර තිබුණු පරිදි, ඒ් වන විට ලැබී තිබුණේ ඩොලර් 400,000ක් පමණි (එය 97.6%ක අරමුදල් පරතරයකි). පශ්චාත් ආපදා ගොඩනැගීම් සඳහා ජාත්‍යන්තර ආධාර සමුළුවක් කැඳවන බව රජය පැවසුවද, එය ක්‍රියාත්මක වූයේ නැත. මේ වන විට ලෝක අවධානය වෙනත් කාරණා වෙත යොමු වී ඇති නිසා දැන් එය පවත්වන්නට ද බැරිය.
  • කෘෂිකාර්මික අනාගතය අවදානමේ: හදිසි සහාය හෝ රජයේ ප්‍රමාණවත් මැදිහත්වීමක් නොමැතිකම හේතුවෙන්, ලක්ෂ සංඛ්‍යාත පවුල්වලට සම්පූර්ණ වගා කන්නයක් මග හැරීමේ අවදානමක් දක්නට ලැබිණි.

නිගමනය

දිට්වා කුණාටුවෙන් ශ්‍රී ලංකාව එක් පාඩමක් පමණක් ඉගෙන ගන්නේ නම්, එය මෙසේ විය යුතුය: යථා තත්ත්වයට පත්වීම සඳහා වියදම් කිරීම (Recovery spending) මගින් පමණක් ඔරොත්තු දීමේ හැකියාව නිර්මාණය කරන්නේ නැත.

වින්දිතයන්ගේ දෘෂ්ටිකෝණයෙන් බලන කල, ඔවුන්ට අවශ්‍ය වන්නේ පරණ චක්‍රයම නොවේ. ඔවුන්ට අවශ්‍ය වන්නේ පද්ධතිමය වෙනසකි. එකතු වූ අරමුදල් කඩිනමින් සහ විනිවිදභාවයෙන් යුතුව වින්දිතයන් අතට පත් වීම, පූර්ව අනතුරු ඇඟවීම් ප්‍රායෝගික ක්‍රියාමාර්ග බවට පත්වීම සහ අවදානම රජය සහ වෙළඳපොළ සමඟ සාධාරණව බෙදාගන්නා ක්‍රමවේදයක් ඔවුහු අපේක්ෂා කරති. ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය හුදෙක් දේශපාලනික ව්‍යාපෘතියක් නොවී, වින්දිතයන් කේන්ද්‍ර කරගත්, ඔවුන් තුළ සැබෑ ඔරොත්තු දීමේ හැකියාවක් ගොඩනගන න්‍යාය පත්‍රයක් බවට පත්වීම අද දවසේ ප්‍රමුඛතම අවශ්‍යතාවයි.

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් සිදුකළ ප්‍රතිපත්තිමය පත්‍රිකාව පහත ලින්කුවෙන්

Climate Justice

 

Social Sharing
අවකාශය නවතම පුවත්