
ජීව විද්‍යාත්මක පදනමින් බැහැරව වෛද්‍ය සැත්කම් මඟින් ලිංගික අනන්‍යතාව වෙනස් කර ගැනීමට ඉඩ සලසන චක්‍රලේඛ හා රාජ්‍ය වැඩසටහන් නීතිවිරෝධී බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන්, හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රිපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ සහ වත්මන් ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා ඇතුළු පාර්ශ්ව කිහිපයකට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කර තිබේ.
මෙම නියෝගය නිකුත් කර ඇත්තේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික ආබාධිත රණවිරුවකු වන ශාන්ත ජයතිලක විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලූ අවස්ථාවේදීයි.
පෙත්සම ජූලි මස 20 වැනිදා යළි සලකා බැලීමට නියමිත අතර, එතෙක් සතියක් තුළ වගඋත්තරකරුවන්ට නොතීසි යැවීමට පෙත්සම්කරුට අධිකරණය නියෝග කර ඇති බව සඳහන් වේ.
පෙත්සම්කරු පෙන්වා දෙන්නේ, ජීව විද්‍යාත්මක පදනමෙන් බැහැරව වෛද්‍ය සැත්කම් මඟින් ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කිරීමට නීතිමය හැකියාවක් නොමැති නමුත්, 2016 වසරේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ චක්‍රලේඛ හා මාර්ගෝපදේශ අනුව එවැනි ක්‍රියාවන්ට ඉඩ සලසා ඇති බවයි.
එමෙන්ම, මෙවැනි සැත්කම් සිදු කරගත් පුද්ගලයන්ට නව උප්පැන්න සහතික හා ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම ද නීතියට පටහැනි ක්‍රියාවක් බව පෙත්සම්කරු චෝදනා කරයි.
මෙවැනි ක්‍රියාමාර්ග හරහා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව සඳහන් කරන පෙත්සම්කරු, ලිංගික අනන්‍යතාව සැත්කම් මඟින් වෙනස් කර ගැනීමට අනුමැතිය ලබා දෙන සියලු චක්‍රලේඛ හා රාජ්‍ය වැඩසටහන් බලරහිත කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.
