කඳුකරය ගැන කතා කරන විට මතකයට එන්නේ සශ්‍රීක හරිත තේ යායන්ය. එහෙත් ඒ පසුපස තිබෙන්නේ එතරම් සුන්දර කතාවක් නොවේ. තේ වල රසය ගැන කතා කරන අප, තේ වතු කම්කරුවන්ගේ ගැටලු සහ ජීවන රටාව පිළිබඳ සිතුවාද?
දෛනිකව වතු කම්කරුවන් බොහෝ ගැටලුවලට මුහුණ දෙන අතර කඳුකර ජනතාවට වසර 200කට ආසන්න ඉතිහාසයක් ඇතත්, අද දක්වාම ඔවුන්ගේ ඉඩම් අයිතිවාසිකම් ඔවුන්ට අහිමි කර ඇත. එය තීරණාත්මක ගැටලුවක් ලෙස ඉස්මතුව පවතී.
මෙම ප්‍රජාතන්ත්‍රවාදී රට තුළ, කඳුකර ජනතාවට ද රටේ පුරවැසියන් වීමේ පදනම මත ඔවුන්ට ද ඉඩම් අයිතිය අත්‍යවශ්‍ය යැයි සැලකේ. ඔවුන්ට ඉඩම් අයිතිවාසිකම් නොමැතිකම හේතුවෙන් මෙම කඳුකර ජනතාව තවමත් නිසි ආකාරව ලිපිනයක් නොමැති ප්‍රජාවක් ලෙස ජීවත් වෙති.
ඒ හා සමානව, පුරවැසියන්ගේ අභිමානය සහතික කිරීම සඳහා ද ඉඩම් හිමිකම තීරණාත්මක අවශ්‍යතාවක් ලෙස සලකනු ඇත. ඉඩම් අයිතිය නොමැති වීම හේතුකොටගෙන කඳුකර ජනතාවගේ ආර්ථිකය නඟාසිටුවීම පිළිබඳව පසුගාමීත්වයක් පෙන්නුම් කෙරේ. මන්ද නිසි ආකාරව ඉඩම් හිමිකමක් නොමැති වීම නිසා ඔවුන් නිශ්චිතව සිය ජීවනෝපායන් වැඩි දියුණු කරගැනීමට අපොහොසත් වන අතර ඔවුන් බහුතරයක් නියැළෙන වගා කටයතුවල නියැළීමට ද අපහසුතාවක් පවති.
පසුගිය කාලවල අපේ රටේ ඇති වූ වාර්ගික කෝලාහලවලින් අපගේ ප්‍රජාව බෙහෙවින් පීඩාවට පත් විය. වර්ෂ 1979, 1983 වාර්ගික කෝලාහලවලින් ද ඔවුන් දැඩි ලෙස පීඩාවට පත් විය. එසේ වුවද, දේපළ අහිමි වූ කඳුකර ජනතාවට තමන්ටම වන්දි ලබා ගැනීමට තවමත් නොහැකි වී තිබේ. මෙයට හේතුව වන්නේ ඔවුන්ට ඉඩම් අයිතිය නැති අතර දේපළ ඔවුන් සතුව ඇති බවට ඔප්පු කිරීමට කිසිදු ලියවිල්ලක් ඔවුන් සතු නොවීමයි.
අතීතයේදී වතු කළමනාකාරිත්වය විසින් කඳුකර දමිළ ජනතාව ඇතැම් වතුවලින් ඉවත් කරන ලදි. 1972 අංක 1 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනතට අනුව කඳුකර ජනතාවට ඉඩම් ලබා දීමට තීරණය කර තිබුණද, කඳුකර ජනතාවට ඉඩම් අයිතිවාසිකම් සම්පූර්ණයෙන් ලබා දී නොමැති වීම තවමත් ප්‍රශ්නාර්ථයකි. 1979 අංක 7 දරන ඉඩම් අත්පත් කර ගැනීමේ පනත යටතේ කඳුකර ජනතාව ඇතැම් වතුවලින් ඉවත් කිරීම දිගින් දිගටම සිදුවෙමින් පවතී. අද වන විට ඔවුන්ට එරෙහිව නඩු 2,000 කට වඩා පවරා ඇති අතර බොහෝ අය තමන් ඉදිකරන ලද සමහර නිවාස අතහැර දමා ඇත. එපමණක්ම නොව අධිකරණ තීන්දු ගණනාවක් මත පදනම්ව නිවාස කඩා දැමීමේ සහ පුද්ගලයින් ඉවත් කිරීමේ සිදුවීම් අඛණ්ඩව සිදුවෙමින් පවතී.