සත්සර නිමේෂ්ගේ මරණයට අදාළ සාක්ෂි විභාගය මැයි මස 16 ඇරඹේ.

පොලිස් අත්අඩංගුවේ සිටිය දී පහර කෑමෙන් මියගිය බව පවසන සත්සර නිමේෂ් නැමැති තරුණයාගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විභාගය මැයි මස 16 වනදා ආරම්භ කිරීමට කෙළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (30) නියම කර තිබේ.

අදාළ පරීක්ෂණයේදී සාක්ෂි දීම සඳහා සාක්ෂිකරුවන් පස් දෙනෙකුට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් මීට පෙර අධිකරණය විසින් නිකුත් කළ නියෝගයකට අනුව මියගිය තරුණයාගේ දේහය ඉකුත් 23 වන දා යළි ගොඩගත් බව සඳහන් කළ අතර ඒ අනුව ත්‍රිපුද්ගල වෛද්‍ය මණ්ඩලයක් විසින් එම දේහය යළි පශ්චාත් මරණ පරීක්ෂණයකට භාජනය කළ බවත් එහි මූලික වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා සිටියේ ය.

මෙම පශ්චාත් මරණ පරීක්ෂණයේදී මරණකරුගේ දේහයෙන් ලබාගන්නා ඇතැම් කොටස් ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට යොමු කර තිබෙන බවත් පොලිසිය පවසා සිටි අතර ඒ අනුව මෙම මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී සාක්ෂිකරුවන් විසි දෙදෙනකුගෙන් සාක්ෂි සටහන් කර ගැනීමට අපේක්ෂා කෙරේ. එම සාක්ෂිකරුවන් පස්දෙනෙකුට මීළඟ දින අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිට ඇත. එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම සාක්ෂිකරුවන්ට ලබන 16 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් නියම කර ඇත.

Social Sharing
අවකාශය පුවත්