බදු දීම හා විකිණීම – කීර්ති ගොඩිගමුව

බදු දීම හා විකිණීම - කීර්ති ගොඩිගමුව

අපේ ජාතික සම්පත් සහ භූමිය විදේශිකයන්ට විකිණිම පිළිබඳව කතිකාවත නැවතත් කරළියට පැමිණ ඇත. මෑත කාලයේ මේ සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව සහ දැන් මේ පවතින ආණ්ඩුව ද වගඋත්තරකරුවන් වී සිටිති. මේ හරහා ගම්‍යවන එක් යථාර්ථයක් (විකිණීම) හඳුනාගැනීම වැදගත් වන හෙයින් මේ පිළිබද අපගේ ඓතිහාසික කරුණු විශ්ලේෂණය කිරීම ද වැදගත් බව පෙනී යයි. ඇත්ත වශයෙන්ම විකිණීම යන වචනය දේශපාලන අවියක් ලෙස භාවිත වුව ද මෙහි ඇත්ත තත්ත්වය මෙයට වඩා වෙනස්ය.

අපි සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේ දී යම් අවශ්‍යතාවක් පිරිමසාගැනීම සඳහා යම් යම් වටිනා දේ විකුණන අතර සමහර විට උගස් කිරීම්,  බදු දීම්, කුලියට දීම් ආදී උපක්‍රම භාවිත කරමු. ඒ ආකාරයෙන් ඒ මුදල් අවශ්‍යතාව පිරිමසා ගන්නා අප, පසු අවස්ථාවන්හී දී මේවා බේරා ගැනීමද කරනු ලැබේ.

අපගේ ඈත අතීතයේ සිට මේ දක්වා ගමන ප්‍රත්‍යාවලෝකනය කළහොත්, ඒ සඳහා උදාහරණ බොහෝ සොයාගත හැකියි. අපි සශ්‍රීකත්වය හා ජීවත්වු අනුරාධපුර හා පොළොන්නරුවේ මහ පරාක්‍රමභාහු යුගය පසුකර දකුණු දෙසට හා කඳුකරයට පැමිණීමත් සමඟ ශ්‍රීවිභූතිය කෙමෙන් අතුරුදන් වීම ද නිරීක්ෂණය කළ හැකිය. මෙහි දී මා දකින්නේ විවිධ භාහිර සතුරු උපද්‍රව හා අනෙකුත් සාධක සහ අභ්‍යන්තර අවුල් ව්‍යවුල් නිසා නිෂ්පාදනය සඳහා ගොඩනැගුණු වෙළඳාම් ආර්ථිකයෙන් ඈත්වී ක්‍රමක්‍රමයෙන් පැවැත්මට සීමාවු ස්වයං පෝෂිත ආර්ථිකයක් කරා අප යොමු වු බවයි. මේ හරහා ක්‍රි.ව.1500ය වන විට ආර්ථික අතින් පසුගාමී කුඩා රාජ්‍ය කීපයකින් සමන්විත වු යම්තරමකට හුදකලා වු තත්ත්වයකට අප තල්ලු වී සිටි බවයි. මේ ආර්ථික තත්ත්වය රටට අත්කර දී තිබූ තත්ත්වය හමුවේ එම රජවරුන්ට ආක්‍රමණිකයන් සමඟ සම්මුතිවලට යාමට හැර වෙනයම් ශක්‍යතාවක් ඉතිරිව නොතිබූ බව පෙනීයයි.

නමුත් අපගේ එම නිශ්ශබ්ද කාල පරිච්ඡේදය තුළ බටහිර ජාතීන් තාක්ෂණික, ආර්ථික හා දේශපලන වැනි ක්ෂේත්‍ර තුළ දියුණුවක් ඇතිකර ගත් අතර එමගින් ඇති වු අවශ්‍යතාවන් පිරිමසා ගැනීමට මුහුදු මාර්ග ඔස්සේ පෙරදිග බලා පැමිණියහ. ඉන් ඉක්බිතිව ගත වු අවුරුදු 450තුළ යුරෝපීය ජාතිකයන් මෙරට සම්පත් සහ භූමිය රිසිලෙස ප්‍රයෝජනයට ගත්බව නොරහසකි.

යුරෝපීයන්ගේ පැමිණීමට පෙර සහ ක්‍රි.ව.1800පමණ වන තෙක් මෙහි පැවැතියේ රජුට අයත් ඉඩම් නින්දගම් විහාරගම් හා දේවාලගම් වශයෙන් හැඳින්වුණු ඉඩම් පමණි. මහජනතාව සතු ඉඩම් නොතිබිණි. ඔවුහු මේ සඳහා රාජකාරි ක්‍රමය සැපයිය යුතු වු අතර ගොවිතැන් කරන ඉඩම් වල රජයේ භාගය බදු ලෙස අස්වැන්නෙන් ගෙවිය යුතුය. එබැවින් පුද්ගලික දේපළ තබාගැනීමට සාමාන්‍ය ජනතාවට හුරුපුරුදු දෙයක් නොවීය.

යුරෝපීයයන්ගේ පැමිණීමත් සමඟ මෙම ක්‍රමය ක්‍රමක්‍රයෙන් වෙනස් වී ධනවාදී ආර්ථික රටාව මේ රටේ භාවිතයට පැමිණියේය. ඒ යටතේ පුද්ගලික ධනය හිමිකාරිත්වය පිළිබඳ අදහස සාමාන්‍ය ජනතාවට සමීප විය. රජුගේ නීතිය වෙනුවට උසාවි ක්‍රමය ක්‍රියාත්මක වීමට පටන් ගැනිනි. කුලී ක්‍රමය යටතේ ශ්‍රමය ලබාගැනීම, වැටුප් ගෙවීම, කොන්ත්‍රාත් පදනම මත කාර්ය කරවා ගැනීම, රේන්ද ක්‍රමය හරහා ඒකාධිකාරි අංශ පාළනය කිරීම ආදි කටයුතු මහජනතාවට විවෘත කිරීම හරහා සාමාන්‍ය ජනතාව අතරට මුදල් ගලායෑම ද ධනපතියන් බිහිවීමද සිදුවිය.

වෙළඳ කෘෂිකර්මය සඳහා මෙරට භූමිය භාවිතා කිරීමට ඔවුන් කටයුතු කරන ලද නමුත් ඒවාට විරුද්ධ වීමට රජතුමාට හෝ වෙනයම් කිසි කෙනෙකුට නොපුලුවන් විය. ඉංග්‍රීසින් රට පූර්ණ වශයෙන් යටත් කර ගැනීමෙන් පසු මෙම කර්තව්‍ය ඉතා දැඩි වශයෙන් සිදු විය. එම අත්පත් කරගත් ඉඩම් ඔවුන් වාණිජ භෝග සඳහා භාවිත කළ අතර එකල තිබූ ඉහළම තාක්ෂණය සහ වෙළඳ සම්බන්ධතා හරහා වාණිජ වගාව ඉතා සාර්ථක මට්ටමකින් ගෙනයාමට ඔවුන්ට හැකි විය. නමුත් මෙම වාණිජ වගා කටයුතු සඳහා ඔවුන් රාජකාරි ක්‍රමය භාවිත කළ බවට සාක්ෂි නැත. ඔවුන් ඒ සඳහ භාවිත කළේ පුද්ගලික ව්‍යවසායකය. ඒ සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය එරටින් ගෙනා අතර ශ්‍රමිකයන් හිග වු විට රජය මැදිහත්ව දකුණු ඉන්දීය ජාතිකයන් මෙරටට ගෙන්වීමට පහසුකම් සලසන ලදි. අවශ්‍ය තාක්ෂණය ද මෙරට නොතිබූ අතර ඒ සඳහා වෙළඳපොලක් ඇති වු බැවින් විශේෂඥ දැනුම සහිත සමාගම් මේ රටේ පැලපදියම් වූහ.

එහෙත් ඔවුන් යෙදු ප්‍රාග්ධනය ඉතාමත් කාර්යක්ෂම භාවිත කිරීම හේතුවෙන් එම නිෂ්පාදන පිටරට අලෙවි කිරීම හරහා ලැබූ ලාභ හා ඒවායින් ඉපයු බදු මුදල් වලින් අවශ්‍ය යටිතල පහසුකම් විශේෂයෙන් ව්‍යාපාරවලට අවශ්‍ය වු මහා මාර්ග දුම්රිය මාර්ග පළමුවත් ඉන්පසු රෝහල්, පාසැල් හා පරිපාලනය යටිතල පහසුකම්, පොලීසි ආදිය ද ඉදිකරනු ලැබීය.

මෙහි දී අපට නිරීක්ෂණය කළ හැකි කරුණක් වන්නේ, යුරෝපීය ජාතිකයන්ගේ පැමිණීම ධනවාදී ආර්ථික ක්‍රමය යටතේ බිහිවු පුද්ගලික ව්‍යවසායන් හරහා (පෙරදිග – ඉන්දීය වෙළඳ සමාගම වැනි) රාජ්‍ය අනුග්‍රහය සහිතව මෙහි පැමිණිය බවයි. අදාළ රජවරුන් මෙහි ප්‍රධාන කොටස් කරුවා විය හැක. මෙහි දී වැදගත්ම නිරීක්ෂණය වන්නේ ඔවුන් මෙහි පැමිණ මෙරට ඉඩම් බලහත්කාරයෙන් නිෂ්පාදන කාර්යට යටත්කොට ඔවුන්ගේ ප්‍රාග්ධනය (මෙරටින් හෝ වෙනත් රටවලින් කොල්ල කෑ ධනය ද විය හැකියි) යොදවා නිෂ්පාදනය සිදුකර ඒවා අපනයනය කර ආදායම් නිපද වු බවයි.

පාළන අධිකාරිය එම බදු මුදල් යොදවා ඔවුන් මෙරටේ යටිතල පහසුකම් දියුණු කළේ එම ආදායම් ඉපයු ව්‍යාපාර වල ලාභය වැඩිකර ගැනීමට ඉවහල් වන අයුරිනි. එමගින් සිදුවුයේ කාර්යක්ෂමතාව ඉහළ දැමීම හරහා නිෂ්පාදන වියදම් අඩුකර වැඩි ලාභ උපයා ගැනීමේ පරමාර්ථයෙනි. මෙයට සමාන්තර ලෙස ව්‍යවසාය සඳහා පැමිණෙන ව්‍යවසායකයින්, කළමණාකරුවන්, පරිපාලකයින් සහ විවිධ ශ්‍රේණි වල නිලධාරීන් සඳහා ඔවුන්ට මවුරටවල අත්විඳින ජීවන රටාවට සමාන හෝ වඩා හොඳ මට්ටමක් ලබාදීමට අවශ්‍ය යටිතල පහසුකම් ද ව්‍යවසායකයින් විසින් ඉදිකර පවත්වාගෙන ගිය බවයි. ඔවුන්ට අවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සැපයීම සඳහා ද අතරමැදි සමාගම් බිහි වූ බවත් පෙනී යයි.

මෙසේ කොල්ල කෑ ඉඩම් වල අධිපත්‍ය සඳහා එකල රජවරු සටන්වැදි බව අපට ඉතිහාසය පුරා දැකගත හැකිය. ඒත් ධනවාදයේ ව්‍යාප්තිය මගින් ඒ සියල්ල යටපත් කර ඇති බව නිරීක්ෂණය කළ හැකිය. ඒ හරහා යුරෝපීයයන් මෙම භූමිය ප්‍රයෝජනයට ගෙන රට ආපසු බාරදෙන විට ආසියාවේ දෙවෙනි ආර්ථික බලවතා දක්වා මෙම රට ඔසවා තැබූ බව කිව හැකිය. මෙම ඓතිහාසික කරුණු සලකාබැලීමේ දී මෙරට ඉඩම් හෝ සම්පත් පිටරැටියන් විසින් ප්‍රයෝජනයට ගැනීම රට විකිණීමක් ලෙස හුවාදැක්වීමට සමහරු උත්සාහ කළ ද එය අතීතයේ පටන් මෙරට රජවරුන්ගේ විරෝධය මැද පවා සිදුවු බව පිළිගැනීමට සිදුවේ.

මෙම ක්‍රියාවලියට පිළිතුරු ලෙස ක්‍රි.ව.1500පසු මෙම පරිවර්තනය සිදු කිරීමට අපේ රජවරුන්ට නොහැකි වුයේ ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය, සම්බන්ධතා, තාක්ෂණ දැනුම හෝ අවශ්‍යතාවක් නොතිබූ නිසා බව පිළිගන්නට සිදු වේ. එසේ නම් අද ද අප පත්වී සිටින්නේ එවැනිම තවත් අවස්ථාවකට බව තීරණය කළ නොහැකි ද? මෙම ඉදිරිගමන සඳහා අප තෝරාගැනීමක් කළ යුතුය. එය අප රජවරුන් තෝරාගත් මාර්ගය එනම් විදේශ බලපෑම ඉවත් කිරීම සඳහා භූමිය සටන් කිරීම අනුගමනය කරමින් අවහිර කිරීමේ මාර්ග තෝරාගන්නේ ද එසේත් නැත්නම් විදේශ බලවේග සමඟ තුළනයකින් යුතුව ගනුදෙනු කිරීම හරහා ඉදිරි ගමන යන්නේ ද යන්න තීරණය කළ යුතුය.

මෙම අවහිර කීරීම්, විකිණීම හා දේශප්‍රේමය යන වචන අවභාවිත කරමින් යම් කණ්ඩායමක් විසින් දේශපාලන බලය ලබාගැනීම සහ පවත්වාගෙන යාම සඳහා පාවිච්චි කරන බව නොරහසකි. බදු දීම විකිණීම ලෙසත් විදේශයන්ට ගැරහීම දේශප්‍රේමය ලෙසත් අරථ දක්වන මොවුන් වචන අවභාවිත කරමින් ඔවුන්ගේ දේශපාලන අරමුණු ඉටු කර ගනී. මෙම දේශපාලන ධාරව 2019 දී හා 2020 දී කූඨප්‍රාප්ති වීමෙන් අනතුරුව මේ වන විට අසාර්ථක තත්ත්වයට පත්ව ඇති බවත් ඔවුනට ඔවුන්ගේ ප්‍රතිපත්ති වලට අනුකූලව තවදුරටත් යා නොහැකි බවත් ප්‍රදර්ශනය කර ඇත. එබැවින් අප මේ තත්ත්වය හරිහැටි අවබෝධ කරනොගෙන අසංවේදීව තවදුරටත් සිටියහොත් එය අප දුඛිතබවේ පතුළටම ඇද දැමීමට සමත්වනු ඇත.

කීර්ති ගොඩිගමුව

Social Sharing

Related posts